Home » බන්ධගාරවල රෝගී රැඳවුවන් වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්

බන්ධගාරවල රෝගී රැඳවුවන් වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්

by yasara
January 30, 2025 2:49 pm 0 comment

බන්ධගාරවල සිටින රෝගී රැඳවුවන්ට ප්‍රතිකාර කිරීමේදී විෂමතා පවතින බවත් එම විෂමතා ඉවත් කර බන්ධනාගාර රෝහල තුළ සිරකරුවන්ට ප්‍රතිකාර කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙසත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නියෝජිතයන්සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නියෝජිතයන් පසුගියදා (28) සෞඛ්‍ය අමාත්‍යංශයේදී ,සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහත්වරුන් හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කර තිබේ.

බන්ධනාගාර තුළ සිටින රෝගී සිරකරුවන්ට කිසිඳු දේශපාලන භේදයකින් තොරව ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට අවශ්‍ය වී ඇති බවත් අදාළ සිරකරුවන් ගේ වත්පොහොසත්කම්,දේශපාලන උස්පහත්කම් ආදී වශයෙන් වෙන් වෙන් වශයෙන් නොසලකමින් සියලුම ‍රෝගී සිරකරුවන්ට එකසේ ප්‍රතිකාර ලබාදීමට බන්ධනාගාර රෝහල් තුළ කටයුතු සලසන්නැයිද එහිදී ඇමැතිවරයාගෙන් තම කමිටුව ඉල්ලීමක් කළබව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතීඥ සේනක පෙරේරා මහතා කියයි.

බන්ධනාගාර පද්ධතිය තුළම පවතින විශාල ගැටලුවක් වන තදබදය බන්ධනාගාර රෝහල් සඳහාද විශාල ගැටලුවක්ව පවතින බවත් එහි තදබදය අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බවත් මෙහිදී අවධාරණය කර ඇත.

බන්ධනාගාර රෝහල ආශ්‍රිතව පවතින තවත් ගැටලු බොහොමයක්ද සාකච්ඡාවේදී අවධානය යොමුවූ අතර සිරකරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව වගවීමේ උවමනාවක් අමාත්‍යංශයට පවතින බවත් ඒ සඳහා ඔවුන් උපරිම උනන්දුවෙන් යුතුව කටයුතු කරන බවටත් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රතිඥා දුන් බවද නීතීඥ සේනක පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

මෙම කරුණු සඳහා පිළිතුරු සෙවීමේ මූලික පියවරක් ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා ඉක්මනින්ම නිරීක්ෂණ චාරිකාවක් සිදුකිරීමට නියමිත බවද ප්‍රකාශ කළ නීතීඥ සේනක පෙරේරා මහතා අවධාරණය කළේ මෙම ගැටලු වලට විසඳුම් සෙවීමේ විධිමත් සහ කාර්යක්ෂම යාන්ත්‍රණයක් ගොඩනගන බව ඇමැතිවරයා මෙම සාකච්ඡාවේදී පැවැසු බවයි.

මෙම සාකච්ඡාව සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති සුදේශ් නන්දිමාල්, විධායක අධ්‍යක්ෂ නීතීඥ සේනක පෙරේරා, රසික ගුණවර්ධන සහ බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, විශ්‍රාමික බන්ධනාගාර හෙද නිළධාරී මහින්ද කෝදාගොඩ මහත්වරුද පිරිස ද එක්වූහ.

 

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division