Home » ඊශ්‍රායල – හමාස් සටන් විරාමය හා ගාසාවේ අනාගතය

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය හා ගාසාවේ අනාගතය

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

ලෝකයේ ඇතැම් කලාප ලෝක සාම දර්ශකයේ සාමය ස්ථාපිත කරගැනීම අබියස දිගින් දිගටම ඉහළම ස්ථානවල එකලෙසම පවතිද්දී, ලෝකයේ තවත් කලාපවලට සාමය ළඟාවීම අතිදුෂ්කර කාර්යයක් වී ඇත. කැරිබියන් කලාපයේ හයිටි රාජ්‍යය, අග්නිදිග ආසියානු කලාපයේ මියන්මාර රාජ්‍යය ලොව අභ්‍යන්තරික සන්නද්ධ අරගල අබියස දශක ගණනාවක පටන්ම පීඩා විඳින රාජ්‍යයයි. මේ විෂයපථය තුළට ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කර කලාපයක් වන මැදපෙරදිග කලාපය නැති නම් ගාසා තීරය කවර පැතිකඩ ඔස්සේ විග්‍රහ කළද, අවසන් ප්‍රකාශය වන්නේ මේ කලාපය දශක ගණනාවකින් ආපස්සට ගිය ලෝකයේ දරුණුතම සමූල ඝාතන කලාපයක් වූ බවයි.

කිසිදු රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමකට, මැදිහත්කරණයකට සුබවාදි ප්‍රවේශයක් නොතබා නිරන්තර යුදගිනි දැල් පමණක් දැල්වෙන මැදපෙරදිග ගාසා තීරය පිළිබඳ යම්ආකාර අස්වැසිල්ලක් ළඟා වූයේ “ගාසා තීරයට සටන් විරාමයක්” යන පුවත කන වැකීමකත සමඟයි. ඊජිප්තු අරාබි ජනරජය, කටාර් රාජ්‍යය හා අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශයට පත් කළේ, ගාසා ගැටුමට සම්බන්ධ පාර්ශ්ව සටන්විරාමය උදෙසා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි. ප්‍රාණ ඇපකරුවන්, සිරකරුවන් හුවමාරු කරගැනීම පිළිබඳ තිරසර ප්‍රවේශයකට එළඹී, අවසානයේ දෙපාර්ශ්වය අතර ස්ථිර සාමයක් උදා කරගැනීමට හැකි ආකාරයෙන් කටයුතු කිරීමට එකඟවීම, ලොව රාජ්‍යතාන්ත්‍රික පිරිස හා දේශපාලන විශේෂඥයන් විසින් අතිශය පැසසුම් කටයුත්තක් ලෙස විස්තර කරනු ලැබ ඇත.

ඊශ්‍රායල-හමාස් සටන් විරාමය තුළ දේශපාලනික විග්‍රහය

2023 ඔක්තෝබර් 7 දා ඇරඹි ඊශ්‍රායල-හමාස් වත්මන් ගැටුමේ ස්වරූපය මේ වන විට සක්‍රියව පවතින සටන් විරාමය ඔස්සේ නව ආකාර ශුභවාදි ගමන් මඟකට එළඹීමට බොහෝ ඉඩකඩක් ඇති බව ගෝලීය රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ප්‍රකාශයයි. මේ සටන් විරාමය අභිමුඛ ඊශ්‍රායල ආරක්ෂක අංශවල මෙන්ම හමාස් සංවිධානයේ දේශපාලන අංශයේද යම් යම් පැතිකඩ පිළිබඳ විවේචනාත්මක විමසුමට ලක් වී තිබීම ඉතා සුපරීක්ෂාකාරි විය යුතු කරුණකි.

මේ වන විටත් ලැබුණු නවතම වාර්තාවකට අනුව ඊශ්‍රායල හමුදා ප්‍රධානි 2023, ඔක්තෝබර් ප්‍රහාරය වැළැක්වීමට හා එයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වීමේ වගකීම පෙන්වා දෙමින් ඔහු ස්වකීය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ. ඊශ්‍රායල පුරවැසියන්ගේ සුරක්ෂිතභාවය සහතික කරනු වස් තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු නොවීම මේ ඉල්ලා අස්වීමට හේතු වී ඇත.

වත්මන් සටන් විරාමය තුළ හවුතීන් ඔවුන්ගේ රතු මුහුද ආශ්‍රිත නාවික යුද උපායමාර්ගය තුළ ඊශ්‍රායල නැව් අරබයා ස්වකීය ප්‍රහාර ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ සටන් විරාමය ස්ථාවර එකක් වුව හොත් රතු මුහුදු ආශ්‍රිත මේ අස්ථාවර තත්ත්වය සමනය වී ගෝලීය තෙල් මිල ගණන් වැඩි වීමේ අර්බුදයටද නාවික ගමන් වියදම නිසා පැනනඟන ගැටලුවලටද යහපත් විසඳුම් සොයාගත හැකි වනු ඇත.

ගාසාවේ අනාගතය

ස්වකීය නිවෙස, අධ්‍යාපනය, රැකියාව, සෞඛ්‍යය, ව්‍යාපාර, වත්කම් මේ සියලු දේ අහිමිව, ඇඳිවත පමණක් හිමි වූ ගාසා වැසියන් තවමත් පසුවන්නේ “යුද බිය පමණක් මඳකට නතර වූවා” යන තෘප්තිමත්භාවය පෙරදැරි කොටගෙනයි. පලස්තීන වැසියන් 47000ක් පමණ මියගිය ළමා අයිතීන් කඩවීම, කාන්තාවන් අසරණභාවයට පත්වීම, කුසගින්න, සාගතය, පැතිරීම තුළ ඉහළම පීඩනයක් වාර්තා කළ ගාසා කලාපය ලොව දරුණුතම අයුරින් මානුෂීය ආධාර අවශ්‍ය කලාපය බවට පත් විය. ගාසාවේ සිවිල් වැසියන් මෙන්ම ඊශ්‍රායල සිවිල් වැසියන්ද ඇතුළුව සන්නද්ධ අරගලයකදී ලොව පීඩාවට පත් වන ප්‍රමුඛතම ස්තරය වන්නේ සිවිල් වැසියෝය. අන්තර්ජාතික මානුෂීයවාදි නීතිය, අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ගාසා තීරයේ ඇති වූ යුද ආතතිය තුළ මේ ප්‍රඥප්ති මුළුමනින්ම කඩකිරීමක් බව දිස් විය.

අන්තර්ජාතික ගැටුම්, අභ්‍යන්තරික සන්නද්ධ අරගල උදෙසා රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම්, ජාත්‍යන්තර සබඳතා පර්යාය තුළ එක් අවධියක ඉතා සුවිශේෂ ආකාරයකින් ප්‍රගතශීලි, සාධනීය බලපෑමක් එල්ල කළ යුගයක් ලෝකයේ පැවතිණි. 1960, 1970 දශකයන් මීට නිදසුන් වන අතර, ඒ අවධියේදී කවර ආකාරයකින් හෝ ලෝක බල තුලනය ස්ථාවර රඳා පැවැත්මක් ගත්තේය. සීතල යුද්ධ අවධියෙන් පසු ලෝකය දිගුකාලීන සාමයක් උදෙසා පෙළ ගැසුණද ජාතික රාජ්‍යයන්ගේ ස්වෛරී අභිලාෂයන් තෙක් විහිදී යෑමක් සමඟ තවදුරටත් බලතුලනය පිළිබඳ සංකල්පය ප්‍රායෝගික භාවිතයේදී ඉතා ගැටුම්කාරි වන්නට පටන්ගැනිණි. ඇත්ත වශයෙන්ම මැදපෙරදිග කලාපයේ බල තුලනය විපර්යාසාත්මක වීමට 2010 මුල් භාගයේ පමණ හටගත් අරාබි වසන්තය බොහෝ ලෙසම බලපෑ බව ගෝලීය දේශපාලන විචාරකයන්ගේ ස්ථිර ප්‍රකාශයයි. අරාබි ලෝකය පුරා රාජ්‍ය විරෝධි නැඟීම්, නව සන්නද්ධ, කැරලිකාරි කණ්ඩායම්වල බිහි වීම්, රාජ්‍ය නොවන පාත්‍රවර්ගවල නැඟීම ඔස්සේ අප අද අත්විඳින ආකාරයේ ඉහළ ආතතිමය සන්නද්ධ ගැටුම්වලට මඟපෑදුනු බව පැවසුව හොත් ඔබ මා සමඟ එකඟ වනු ඇත.

අදියර 3කින් යුතු සටන්විරාම ගිවිසුම

නොබෝදා එකඟතාවකට පත් සටන් විරාමය දිගුකාලීන ඊශ්‍රායල-හමාස් අර්බුදය තුළ ඉතා තීරණාත්මක එකක් වන අතරම, අදියර තුනකින් හෙබි සටන් විරාම ගිවිසුම ඉතා පැහැදිලි, විස්තරාත්මක එකක් ලෙස වාර්තා වේ. නිසැකයෙන්ම ගැටුමට සම්බන්ධ පාර්ශ්ව ඉතා දුෂ්කර පරිශ්‍රමයකින් එකඟතාවකට එළඹි සටන්විරාමය හමුවේ කිසිදු අවස්ථාවක එය කඩ නොකිරීමට වගබලාගැනීම කලාපීය වශයෙන් නොව, ගෝලීය වශයෙන්ද බලපාන ආචාරධාර්මික පිළිවෙතක් ලෙස විග්‍රහ කළ හැකිය. සටන් විරාමය, මහා පරිමාණ යුද්ධයට ස්ථිර විසඳුමක් නොවන අතර, තාවකාලික ලෙස තත්ත්වය සමනය කර, විශේෂයෙන්ම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව හා පැවැත්ම තහවුරු කිරීමකි.

සටන් විරාමය පවතින අතරතුරයේදීත්, ගාසාවේ බටහිර ඉවුරට ප්‍රහාරයක් එල්ල වීම කිසි සේත් පිළිගත නොහැකි ප්‍රචණ්ඩත්වයකි. මෙහි වගකීම කවුරුන් විසින් ගනු ලබයිද? සටන් විරාම ගිවිසුමේ පළමු අදියරයට අනුව ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන සිරකරුවන් හුවමාරු කිරීමක් සිදු විය යුතු වන අතර, ඊශ්‍රායල බළඇණි ගාසාහි යුද මුක්ත කලාපයෙන් (ෆිලඩෙල්ෆි කොරිඩෝව) ක්‍රමයෙන් ඉවත් විය යුතු බව සඳහන් කර ඇත. ඇත්ත වශයෙන්ම සටන් විරාම ගිවිසුමේ පසු අවධියේදී ඉතා සැලකිලිමත් විය යුතු කරුණ නම්, ඊශ්‍රායලය තමන්ගේ බළඇණි ගාසාවෙන් ඉවත් කර, ගාසාවට නව පාලන අධිකාරියක් පිහිටුවාගැනීමට අවශ්‍ය පරිසරය සලසාදීම ලෙස වාර්තා වී තිබිණි.

පී.ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division