Home » එක දිගටම අහිංසක චරිත ලැබුණම බය හිතුණා ඒ රාමුව ඇතුළෙ කොටු වේවිද කියලා

එක දිගටම අහිංසක චරිත ලැබුණම බය හිතුණා ඒ රාමුව ඇතුළෙ කොටු වේවිද කියලා

කාංචනා ඛාන්

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment
නාමලී ගමගේ

– ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් යටතේ චිත්‍රපට තුනක රඟපාන්න ලැබෙනවා කියන්නෙම වාසනාවක්
– මං කලාවෙත් පෞද්ගලික ජීවිතෙත් හරිම නිදහසේ හෙමින් ගමනක් යන කෙනෙක්

නිහතමානීකමයි දක්ෂතාවයි දෙකම එක්තැන් වුණු තැන යා හැකි දුර බොහොමයි. ක්ෂේත්‍රයේ සෙමින් ගමනක් යන ඇයත් එවන් ශිල්පිනියකි. ක්ෂේත්‍රයේ ආදරණීය චරිතයක් වන ඇය නමින් කාංචනා ඛාන්ය. පසුගිය දිනවල විකාශය වුණු බිම්මල් ටෙලි චිත්‍රපටය නිසා ඇය බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ බවත් අමතක කළ නොහැක. එමෙන්ම ඉදිරියේ දී තිරගත වීමට නියමිත සිනමාපට ත්‍රිත්වයකින් ඇය රිදී තිරයේ දැකගත හැකි වීමත් විශේෂත්වයකි. ඔස්කාර්, මොනර කිරිල්ලී සහ අමුතු ගුරුකම සිනමාපටයන්හි එකිනෙකට වෙනස් භූමිකාවන් ඔස්සේ ඔබ හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින කාංචනා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ටෙලි තිරය ඔස්සේය.

ටෙලි චිත්‍රපටයක් නිසා බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා කියන්නෙත් එක්තරා වාසනාවක්. ඔබත් එවන් වාසනාවන්තියක්?

ඇත්තටම ඔව්. බිම්මල් කියන ටෙලි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඇංජලා කුරුප්පු. වලව්වක් පාලනය කරන කුසුමා කියන වැඩකාරියගේ චරිතය. ඒක ප්‍රධාන චරිතය. වලව්වේ හාමුලා මිය යන්නේ කුසුමට ඔවුන්ගේ දරුවා පවරලා. නෑදෑයන් සමඟ රණ්ඩු කර ගනිමින් දරුවා හදාගන්න ඇය ලොකු වෙහෙසක් දරනවා. ඒක කොටස් දෙකකට විකාශය වුණු ටෙලි චිත්‍රපටයක්. මේ දවස්වල තවත් අලුත් ටෙලි නිර්මාණයකට සූදානම් වෙනවා. ඒකත් වලව්වක හාමු මහත්තයත් එක්ක එන දඩබ්බර ගැමි තරුණියක්. ඒකත් වෙනස් අත්දැකීමක් වේවි කියලා හිතනවා.

ඔබ රංගනයෙන් දායක වුණු සිනමාපට ත්‍රිත්වයක් තිරගත වීමට නියමිතයි. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මං හරිම වාසනාවන්තයි කියලා හිතෙනවා. ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් යටතේ ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ චිත්‍රපට තුනක රඟපාන්න ලැබෙනවා කියන්නෙම වාසනාවක්. මාව තෝරාගැනීම සම්බන්ධයෙන් මං ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. එකිනෙකට වෙනස් චරිත ත්‍රිත්වයක් වගේම අත්දැකීම් රාශියක් එකතු කරගත් නිර්මාණ ත්‍රිත්වයක් කිව්වත් හරි. එකක් එරංග සේනාරත්නගේ ඔස්කාර්. ඒක ඔස්කාර් සම්මානය ගන්න බලාගෙන රඟපාන නිළියකගේ චරිතයක්. ගාමිණී හේවාවිතාරණගේ මොනර කිරිල්ලී කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඒක පාතාල කතාවක්. පාතාලේ නදීකා කියන චරිතය මට ලැබුණේ. මේක මංකොල්ලකන, මිනී මරණ, හොරකම් කරන අන්තිමට හිරේ යන ගෑනු ළමයි තුන්දෙනෙකුගේ කතාවක්. සුනිල් ප්‍රේමරත්නගේ අමුතු ගුරුකම කියන්නේ හාස්‍යජනක චිත්‍රපටයක්. ඒකෙ සාමාන්‍ය මවකගේ චරිතයක්.

එකිනෙකට වෙනස් චරිත ලැබෙද්දී මිහිරි අමිහිරි දෙපැත්තෙම අත්දැකීම් ඇති?

මොනර කිරිල්ලී චිත්‍රපටය පාතාලෙට සම්බන්ධ ගෑනු ළමයි තුන්දෙනෙක්ගේ කතාවක්. මම, නයෝමි තක්ෂිලා එක්ක තවත් නවක රංගන ශිල්පිනියක් හිටියේ. මත්පැන් බීලා බීච් එකේ නටන්න, කොල්ලොත් එක්ක ගහගන්න, හොරකම් කරන්න, මිනී මරන්න, හිරේ යන්න මේ හැම අත්දැකීමක්ම තිබුණා. එක තැනක කැබ් එකේ එන රොෂාන් අයියව නවත්තලා කොලරයෙන් ඇදලා අරන් ගහන්න තියෙන දර්ශනයක් තිබුණා. මටයි ගහන්න තියෙන්නේ. මං කැබ් එක නවත්තලා රොෂාන් අයියව කොලරයෙන් අල්ලලා ඇදල අරන් ගහන්න යද්දි මට කලින් අර නවක රංගන ශිල්පිනිය පැනලා ගැහුවා. එයාගෙ ඩෙක් ෂූස් එකේ දාරයක් මගේ දකුණු කකුලේ නහරයකට වැදිලා ගොඩක් ඩැමේජ් වුණා. කොහොමහරි මාසයක් විතර වෙදකම් කරන්න වුණා.

ඒ වගේම අමුතු ගුරුකම චිත්‍රපටය රූගත කළේ නාවලපිටියේ. කුමාර අයියයි. මිහිර අයියයි, ප්‍රියන්ත අයියයි අපේ ගමට ට්‍රිප් එකක් එන දර්ශනයක් තිබුණා. එයාලා හොඳටම බීලා එන්නේ. මම පුංචි දුවත් එක්ක පාර පනිද්දි ඇක්සිඩන්ට් වෙන දර්ශනය තමයි ගන්න තිබුණේ. මාත් ඉතින් ළඟටම එනකන් ඉඳලා දරුවත් ඇදගෙන පැන්නා. තව නූලෙන් හැප්පෙනවා. අධ්‍යක්ෂවරයාත් කෑගැහුවා ඇයි නංගි රිස්ක් එකක් ගත්තෙ කියලා. මිහිර අයියගෙ කකුල් පණ නැති වෙලා. ඊළඟට තිබුණේ ඇක්සිඩන්ට් වෙලා දරුවා අයි. සී. යූ. ඉන්න දසුනක්. ඒ හැඟීම මට මාර විදිහට දැනුණා. ග්ලිසරීන් දාන්නෙත් නැතුව මං ඒ දර්ශනය කළේ. අයියලා තුන්දෙනා මට ලොකු සහායක් දුන්නා. එයාලා එක්ක ඉද්දි චිත්‍රපටය විතරක් නෙවෙයි ගතකරපු කාලයම හාස්‍යජනක අත්දැකීමක් වුණා.

කාන්තා මැර කල්ලි දකින්නෙම නැති තරම්. ඇත්තටම සටන් කරන්න වුණා ද ?

ඔව්. සටන් අධ්‍යක්ෂවරයෙක් ඇවිත් අපට සටන් පුහුණු කළා. ඉතාම කෙටි කාලෙකින් අපි පුරුදු වුණා. එක දවසින් මං කැබ් එක පදින්නත් පුරුදු වුණා.

අද මැර වැඩ කළාට ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහිංසකාවියක් විදිහට?

ඒක හරි. රොෂාන් කුරුප්පු අයියගේ නිරාවරණය ටෙලි නිර්මාණයේ වත්සලා කියන්නේ හරිම අහිංසක චරිතයක්. මට එක දිගටම ලැබුණේ අහිංසක චරිත නිසා මට බය හිතුණා මං ඒ රාමුව ඇතුළෙ කොටු වේවි කියලා. ඒත් මේ වෙද්දි එකිනෙකට වෙනස් චරිතවලට දායක වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

කාංචනා කියන්නේ හැමෝගෙම ආදරය දිනාගෙන පාඩුවේ ගමනක් යන රංගන ශිල්පිනියක් කිව්වොත්?

මම කලාවෙත් හෙමින් ගමනක් යන කෙනෙක්. පෞද්ගලික ජීවිතෙත් හරිම නිදහසේ ගමනක් යන කෙනෙක්. මං ඒ දෙක පටලව ගන්නෙ නෑ. මං අවබෝධයෙන් බොහොම හෙමින් නිරවුල්ව ඒ දෙකම සමබරව ගෙනියනවා. මං ආසයි ඉදිරියටත් ඒ වගේ ලස්සනට හෙමින් ගමනක් යන්න.‍

ඡායාරූප- සුරේෂ් අවරාද්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division