ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විෂයයෙහි අතිශය පෙරළිකාර භූමිකාවක් නියෝජනය කළ වික්ටර් අයිවන්ගේ සමුගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවල බොහෝ අදහස් පළ විය. රාවය කර්තෘ ලෙස ඔහු අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ඉටු කළ මෙහෙවර පිළිබඳව සහ මාධ්‍යවේදීන්ගේ පන්හිඳට දුන් ජවය පිළිබඳව මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින සියල්ලන්ගේ ගෞරවය හිමි විය යුතුය.
වික්ටර් අයිවන්ගේ දේශපාලන භූමිකාව එකකි; මාධ්‍ය මෙහෙවර තවත් එකකි. මේ ක්ෂේත්‍ර දෙක අතර පැහැදිලි බෙදුම් ඉරක් තිබේ. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඔහු පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරමින් මුල් පෙළේ ධනපති දේශපාලන පක්ෂ දෙකේම අතකොළුවක් ලෙස ක්‍රියා කිරීමය.
කෙසේ වෙතත් ඔහු චන්ද්‍රිකාට අතට අත දෙමින්ම, ජනපතිනි චන්ද්‍රිකාගේ අග විනිසුරුවරයාගේ අනීතික ක්‍රියාවලට නිර්දය ලෙස පහර දෙන්නට තරම් එඩිතර විය.
අසාධාරණයට විරුද්ධ වෙමින්, අවසන් මොහොත දක්වාම ස්වකීය ඉලක්කය වෙහෙස නොබලා ලුහුබැඳීම අයිවන්ගෙන් නූතන මාධ්‍යවේදීන්ට ඉගෙනගන්නට තිබෙන හොඳම පාඩම වන්නේය.
හික්කඩුව ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක තරුණයකු වූ වික්ටර් අයිවන්ට දේශපාලනයේ අයනු-ආයනු කියා, විප්ලවකාරි මාක්ස්වාදී දේශපාලනයට ඔහු කැටුව එනු ලැබුවේ රෝහණ විජේවීර විසිනි. නිර්ධන පන්තියට තමන්ගේම වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමෙන් තොර විමුක්තියක් අපේක්ෂා කළ නොහැකි බැව් විජේවීර ඔහුට වටහා දුන්නේය. එසේ භද්‍ර යෞවනයේදීම වික්ටර් අයිවන් විප්ලවකාරයකු කළේ රෝහණ විජේවීර.
රාවයේදී ‘වික්ටර් අයිවන්’ නමින් හඳුනාගන්නට ප්‍රථම ඔහු ජවිපෙ විසින් ‘පොඩි අතුල’ නමින් හඳුන්වා දෙනු ලැබීය. එදා ඔහු නිර්ධන පන්තියේ විප්ලවවාදි පක්ෂය ගොඩනැඟීම සඳහා ඉහළින්ම කැප වී ක්‍රියා කළේය.
‘සුළු ධනේශ්වර පන්තිය කුළු හරකකු මෙන් අරගලයට අවතීර්ණ වන බවත්, මර්දනය ඉදිරියේ මී පැටියකු මෙන් හීලෑ වන බවත්’ මාවෝ සේතුං උගන්නවා තිබේ. 1971 ජනතා නැඟිටීමෙන් පසු ‘පොඩි අතුල’ වෙතින් විද්‍යමාන වූයේ ඒ වැහැරුණු දේශපාලනික ස්වභාවයයි.
1971 අප්‍රේල් මාසයේ මර්දනය ක්‍රියාත්මක වන අවස්ථාවේ කඳානේ මැසනඩ් විදුහල අසල නිවෙසේ ඔහු පොලීසිය පැමිණෙන තුරු රැඳී සිටියේය. අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව රහස් පොලීසියේ හතරවැනි තට්ටුවේදී ඔහු පහසුවෙන්ම ‘ආණ්ඩුවේ සාක්කිකාරයකු’ බවට පත් විය.
1971 ජූනි මාසයේ විජේවීරගෙන් ප්‍රශ්න කිරීම සඳහා යාපනය බන්ධනාගාරයට ගිය ටිරල් ගුණතිලක, සර්නි විජේසූරිය ඇතුළු රහස් පොලිස් කණ්ඩායම ප්‍රශ්න කිරීමේදී විජේවීරගේ කට ඇරීම සඳහා හෙලිකොප්ටර් යානයකින් යතුරු කිහිපයක් ගෙන ගියේය. පොඩි අතුල එයින් එක් යතුරකි. සතුරා හමුවේ දණනැවූ කැරැල්ලේ තවත් නායකයෝ කිහිප දෙනෙක්ද ඒ අතර වූහ.
මේ සම්බන්ධ සිදුවීම විස්තර කරමින් රෝහණ විජේවීර අප සමඟ පසුව පැවසුවේ යාපනයේ පාළු ගොඩනැඟිල්ලක ප්‍රශ්න කිරීම ආරම්භ කරන අවස්ථාවේ ලොකු අතුල කෙසේ වෙතත් පොඩි අතුල තම මතය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි තමා විශ්වාස කළ නමුත්, ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නට ප්‍රථම සර්නි විජේසූරිය පොඩි අතුලට සිගරැට් පැකට්ටුව දික්කොට ඔහු මුවට ගත් සිගරැට්ටුවට සර්නි විජේසූරියගේ ලයිටරයෙන් ගිනි හුවමාරු කරගත් අන්දම දැකීමෙන් තමා තුළ පැවති අදහස බිඳවැටුණු බවයි.
අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව හමුවේ පැවති අප්‍රේල් මහ නඩුවේදී ඔහු ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු සිටියේද විජේවීර එල්ලා මරාදැමිය යුතුය කියන ස්ථාවරයේය. නැවත ඉතිහාසයේ කිසිම දිනක ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ බලයට පැමිණීමට අවකාශයක් නොදෙන බව සපථ කොට සිටි කිහිප දෙනා අතර පොඩි අතුලද විය.
ඔහුගේ මේ ගතික ලක්ෂණය ජීවිත කාලය පුරා පවත්වාගැනීමට ඔහු සමත් විය. චන්ද්‍රිකා බලයට ගෙන ඒමට ක්‍රියා කළ ඔහු, පසුව චන්ද්‍රිකා ‘චෞර රැජින’ ලෙස බවුතීස්ම කළේය.
ජනතාව සාම්ප්‍රදායික දේශපාලනයෙන් විතැන් වෙමින්, රට තුළ පරිවර්තනයක් සඳහා ඉඩ සැලසෙන රික්තයක් නිර්මාණය වෙමින් තිබෙන බවට පෙර දැක්මක් වික්ටර් අයිවන්ට තිබිණි. ඔහු ඒ හිදැස පුරවාදැමීම සඳහා ‘පුනරුදය’ නමින් ව්‍යාපාරයක් ගොඩනැඟීමට අසාර්ථක උත්සාහයක යෙදුණේය. ගාන්ධිවාදියකු ලෙස පෙනී සිටි හෙතෙම රිළවුන්, දඬුලේනුන් හා මොනරුන් මරාදැමිය යුතු බවට මතයක් සමාජගත කළේය. අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවිචාරවත් පාලනය පිටුපස සිටි උපදේශකයා වූයේද ‘පොඩි අතුල’ නොහොත් ‘වික්ටර් අයිවන්’ ය.
වික්ටර් අයිවන් අනුගමනය කරන වර්තමානිකයන් ‘කළු’ හා ‘සුදු’ වෙන් කොට හඳුනා ගන්නට සමත් වෙතොත්, ඔවුන්ගෙන් අනාගතයට සරු අස්වැන්නක් අපේක්ෂා කළ හැකිය.
lඋදේනි