Home » එකම වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වසති

එකම වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වසති

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ජනතාව 76 වසරක් ‘වම-දකුණ’ පටලවා ගත්තෝය. දේශපාලන සාහිත්‍යයෙහි ‘වම’ හා ‘දකුණ’ වශයෙන් බෙදීම ප්‍රථමයෙන් සඳහන් වන්නේ ්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය උපත ලැබූ ග්‍රීසියෙනි. ග්‍රීක පෞර නගර රාජ්‍යයන්හි ජන සභාවල ගොවියන්ගේ, කම්කරුවන්ගේ, දිළින්දන්ගේ ප්‍රශ්න කතා කළ නියෝජිතයන් බොහෝ විට අසුන්ගෙන සිටියේ වම් පැත්තේය. රදලයන්ගේ, ඉඩම් හිමියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි ප්‍රභූ පෙළැන්තිය අසුන් ගෙන සිටියේ දකුණු පැත්තේය. දිළින්දන්ගේ ප්‍රශ්න කතා කළ පිරිස වාමාංශිකයෝ වූහ. ප්‍රභූ පෙළැන්තියේ ප්‍රශ්න කතා කළ පිරිස දක්ෂිණාංශිකයෝ වූහ. ‘වම’ සහ ‘දකුණ’ දේශපාලන සාහිත්‍යයට එකතු වූයේ එසේය.

ම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආණ්ඩුවක් උදෙසා කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් විසින් එංගල්ස් ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනය ලියන ලද්දේ 1848දීය. මහා බ්‍රිතාන්‍යයේ කම්කරු පන්ති ව්‍යාපාරයේ නැඟිටීමත් සමඟ 1920දී බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂය බිහි විය. ලංකාවේ දක්ෂිණාංශය නියෝජනය කළ ප්‍රභූ පෙළැන්තිය විසින් 1919දී ‘ලංකා ජාතික සංගමය’ පිහිටුවා ගන්නා ලදි. මෙරට වාමාංශික ව්‍යාපාරයේ ප්‍රථම දේශපාලන පක්ෂය ලෙස ‘ලංකා සම සමාජ පක්ෂය’ 1935දී පිහිටුවා ගන්නා ලද්දේද බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ ප්‍රභූ පෙළැන්තියේම නියෝජිතයන් විසිනි. දෙවැනි ලෝක යුද්ධයත් සමඟ ලසසපය න්‍යායික වශයෙන් බෙදී ගිය අතර, ‘ලංකා කොමියුනිස්ට් පක්ෂය’ 1943 දී බිහි විය.

ඩී.එස්. සේනානායක ප්‍රමුඛ ‘ලංකා ජාතික සංගමය’ වටා සිටි ප්‍රභූ පෙළැන්තියේ නායකයෝ 1947දී ‘එක්සත් ජාතික පක්ෂය’ පිහිටුවා ගත්හ. දක්ෂිණාංශිකයන් මෙරට ‘වම’ අල්ලා ගැනීම වසර 76ක් ප්‍රභූ පෙළැන්තියේ පාලනය පවත්වා ගැනීමට ඉන්තේරුවෙන්ම ඉවහල් විය.

ඉතිහාසය පුරා අපට දක්නට ලැබුණේ හැම විටම ‘වම-දකුණ’ නියෝජනය කළ අන්දමය. ලංකාවේ ‘වම’ ඉතිහාසය පුරා වමෙන් ඇවිත්, දකුණට සිග්නල් දැමුවේය. වමේ නායකයන්ට හැමදාමත් ‘වම-දකුණ’ පැටලී තිබිණි. මේ පැටලිල්ල නිසා නිදහසින් පසු පරම්පරා කිහිපයකට අභාග්‍යසම්පන්න ජීවිත උරුම විය.

2024 වසරේ සුවිශේෂ සංසිද්ධිය වන්නේ ඉතිහාසය ප්‍රථම වරට දකුණෙන් විතැන් වූ නිර්ධන පන්තියේ ‘සැබෑ වම’ ආණ්ඩු බලය සියතට ගැනීමය.

ජවිපෙ සහ ජාතික ජන බලවේගය විසින් නියෝජනය කරන ලද්දේ මේ රටේ වාමාංශික ව්‍යාපාරය බවත්, ඔවුන් ලැබූ ජයග්‍රහණය සුවිශේෂ බවත් වාසුදේව නානායක්කාර පසුගිය මහමැතිවරණයෙන් පසු ප්‍රකාශ කර තිබිණි. වාසු එය තේරුම් ගෙන තිබෙන්නේ 86 වැනි වියේදීය. උපන් ගෙයි සිටම වම පින්තාරු කරමින් දකුණ නියෝජනය කළ ලසසප, කොප නායකයන් එය තවම තේරුම් ගෙන නැති අතර, කිසි දිනෙක එය තේරුම් නොගන්නවා ඇත. ඔවුන් මේ මොහොතේත් ඇදෙන්නේ පන්ති සහයෝගිතාවාදය දෙසටය. මොවුහු කොම්ප්‍රදෝරු ධනපතියන්ගේ ලේ ඥාතීහු වෙති.

එක්සත් ජාතික පක්ෂය 1947දී ආරම්භ කරන ලද්දේ ඩී.එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ආදි ප්‍රභූන් විසිනි. 1951 දී බණ්ඩාරනායක එජාපයෙන් ඉවත් වූයේ ඩී.එස්ගේ ඇවෑමෙන් පක්ෂයේ නායකත්වය ඩී.එස්. පුත් ඩඩ්ලි සේනානායකට පිරිනැමීමට සැලසුම් කර ඇති බව දැනගැනීමෙන් පසුවය. ඩඩ්ලි සේනානායකට අගමැති ධුරය දෙන ලෙස ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලකට ඩී.එස්. සේනානායක දන්වා තිබූ බව ප්‍රකටය. බණ්ඩාරනායක සහ ඩී.ඇස්. සේනානායක අතර ප්‍රතිපත්තිමය වෙනසක් තිබුණේ නැත. එහෙත් බණ්ඩාරනායක ඔහු ආරම්භ කළ ශ්‍රී ලනිපයට දේශප්‍රේමී මුහුණුවරක් පින්තාරු කළේය.

ලාංකික ධනපති පන්තියේ මේ ඊනියා බෙදීම අතිශය සාර්ථක විය. රටේ පීඩිත පන්ති ජනයා අතර නයි-පොළොං වෛරයක් ඇති කරන්නට ඔවුහු සමත් වූහ. තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු මාරු වන විට ජනතාව ගහමරා ගත්තා පමණක් නොව, ප්‍රතිවාදීන්ගේ ගේ-දොරද ගිනි තබනු ලැබීය. එහෙත් සෑම තීරණාත්මක අවස්ථාවකදීම ප්‍රභූ පෙළැන්තිය එක්ව පෙනී සිටියෝය.

‘එකම වර්ගයේ කුරුල්ලන් එකම අත්තේ වසනවා’ යැයි කතාවක් තිබේ. ධනපති ක්‍රමයට තීරණාත්මක අභියෝගයක් එල්ල වූ විට ප්‍රධාන පක්ෂ දෙක හැමදාමත් එකම පෙරමුණක පෙනී සිටියහ. තිරය පිටුපස සිටි ‘වම’ දක්ෂිණාංශික පාලනයට තීරණාත්මක තර්ජනයක් එල්ල වන විට පන්තියේ ආරක්ෂාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි බවට ඉතිහාසය දෙස්‌ දෙයි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලසසප ඇන්.ඇම්. පෙරේරාට අගමැතිකම ලැබෙනවාට විරුද්ධ වූ අතර, බණ්ඩාරනායක අගමැති වෙනුවෙන් පෙනී සිටියේය.

පැරණි වමේ ව්‍යාපාරයේ තීරණාත්මක කඩඉම සටහන් වූයේ 1964 වාමාංශික එක්සත් පෙරමුණ පිහිටුවීමෙනි. ලාංකික කම්කරු පන්තිය මේ එකතුවෙන් අමන්දානන්දයට පත් විය. දීර්ඝ කාලයක් බෙදී සිටි වමේ නායකයන් වූ කොප ඇස්.ඒ. වික්‍රමසිංහ, ලසසප ඇන්.එම්. පෙරේරා සහ මහජන එක්සත් පෙරමුණේ පිලිප් ගුණවර්ධන එදා වාමාංශික එක්සත් පෙරමුණට අත්සන් තැබූ නායකයෝ වූහ. වම එය හැඳින්වූයේ සම සමාජ වැලි, කොමියුනිස්ට් ගල්, මහජන එක්සත් පෙනුණේ සිමෙන්ති මිශ්‍ර වූ ශක්තිමත් කොන්ක්‍රීට් එකක් ලෙසය.

කොන්ක්‍රීට් එක පැවතියේ මාස කිහිපයකි. උණුසුම් බලාපොරොත්තු ඇතිව සිටි කම්කරු පන්තිය අතරමං කරමින්, 1964 අප්‍රේල් මාසයේදී ලසසපය වාමාංශික එක්සත් පෙරමුණ ශ්‍රීලනිප සිරිමා බණ්ඩාරනායකට පාවා දුන්නේ ඇමැතිකම් එකයි බාග දෙකකටය.

නුවරඑළියේ අප්‍රේල් සැණකෙළියට ගොස් සිටියදී සිරිමා සමඟ රහසේ කුමන්ත්‍රණයක් කළ ඇන්.ඇම්. වාමාංශික එක්සත් පෙරමුණ පාවා දී ඇති බව දැනගත් කම්කරු පන්තිය වම ගැන තිබූ අවසන් බලාපොරොත්තුවත් අත්හළේය. ලාංකික කම්කරු පන්තියට තමන්ගේම වූ සැබෑ වමේ ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතු බවට රෝහණ විජේවීර ඇතුළු වාමාංශික තරුණ කණ්ඩායම් විසින් තීරණය කරන ලද්දේ මේ ඓතිහාසික පසුබැසීම නිවැරදිව අර්ථකථනය කරගත් නිසාය.

විශාල ජීවිත පරිත්‍යාගයක යෙදෙමින් ඉතා කටුක සහ දුෂ්කර කාලපරිච්ඡේදයක් පසු කළ ජනතා විමුක්ති පෙරමුණ ‘ජාතික ජන බලවේගය’ නිර්මාණය කර, ඊනියා ‘වම’ සහ ‘දකුණ’ ඉතිහාසයේ කුණු බඳුනට ඇද දමන්නට සමත් විය.

දැන් නැවතත් සන්ධාන කතා කරළියට පැමිණ තිබේ. ජේආර්-ප්‍රේමදාස, රනිල්-සජිත් කිසිවකු අතර ප්‍රතිපත්තිමය පරස්පරයක් තිබුණේ නැත. තිබුණා නම් තිබුණේ නායකත්ව අර්බුදයක් පමණි. සිරිමා බණ්ඩාරනායක සහ ජයවර්ධන අතර තිබුණේ ධනේශ්වර පන්තියේ හා රදල වැඩවසම් පෙළැන්තිය අතර වූ නොපෑහෙන ගතිය පමණි.

ලංකාවේ ධනේශ්වර ක්‍රමය තීරණාත්මක අර්බුදයන්ට මුහුණ පෑ සෑම අවස්ථාවකදීම ඔවුහු එකෙක් අනෙකා වෙනුවෙන් පෙනී සිටියහ. 1971 තරුණ නැඟිටීම මර්දනය කරන්නට ජේආර්, ශ්‍රීලනිපයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට උදවු කළේය. 1983දී ජනාධිපති ජයවර්ධන විසින් වමේ පක්ෂ තහනම් කරන විට ධනපති පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියේ නැත.

1988-89 ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා තරුණ ජනයා නැඟී සිටි විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවලින් ඔබ්බට ගොස් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස තරුණයන් දඩයම් කරන විට ධනපති පක්ෂ මෙන්ම ඊනියා වමේ පක්ෂද ඔහු සමඟ අත්වැල් බැඳගත්තේය. රනිල් සහ සජිත් අතර පැවතියේ මිත්‍ර ප්‍රතිවිරෝධයකි. එක්තරා ආකාරයකට එය ධනපති ක්‍රමය රැකීම සඳහා එකෙක් අනෙකා පරයා නැඟෙන්න කළ වෑයමකි.

එජාපයෙන් සජබ වෙන් කළේ මහින්ද රාජපක්ෂ විසිනි. එය සජබ ඕනෑ-එපාකම් අනුව සිදු වූවක් නොවේ. නායකත්වය ගැනීම සඳහා රනිල්ට එරෙහිව සජිත් එජාපයේ දීර්ඝ කාලයක් කැරලි ගැසුවේය. එහෙත් කිසිදු ප්‍රතිඵලයක් අත් කරගත නොහැකි විය. ආරක්ෂාව සඳහා පක්ෂයක් ලියාපදිංචි කර තැබීමට සජිත්ගේ කණ්ඩායමට ඔපීනියන් දුන්නේ රනිල්ය. එය පිටුපස සිටියේ වෙනින් කවුරුත් නොව, මහින්ද රාජපක්ෂය. තනි ‘ඒෆෝ’ කොළයකින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ සජබ ඉල්ලුම්පත්‍රය මත, කිසිදු ලිපිගොනුවක් නැතිව ලියාපදිංචි කරන්න අනුමැතිය දුන්නේ ඒ වන විට නේපාලයේ චාරිකාවක නිරතව සිටි මහින්ද දේශප්‍රියයි.

ඒ සමඟම රනිල් වික්‍රමසිංහ මාධ්‍යයට ප්‍රකාශ කළේ ‘දැන් සජිත් ප්‍රේමදාසගේ ප්‍රශ්නය ඉවරයි, ඔවුන් එජාපයෙන් අයින් වී වෙනත් පක්ෂයක් පිහිටුවාගත්තා’ කියාය. එතැන් සිට සජබ කණ්ඩායම එජාපයට එරෙහිව දිගින් දිගටම පහර එල්ල කළේය.

ජාතික ජන බලවේගය වේදිකාවට අවතීර්ණ වීමත් සමඟ එජාපයටත්, සජබයටත් යන-එන මං නැති විය. දේශපාලන වැහැරී යෑම නිසාම නැවත එකිනෙකා එකතු වෙනවා මිස, මේ දෙපක්ෂයටම වෙනත් විකල්පයක් නැත.

දේශපාලන ලියුම්කරු විසිනි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division