Home » විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් නාහෙන් ඇඬීම

විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් නාහෙන් ඇඬීම

by Mahesh Lakehouse
January 25, 2025 1:00 am 0 comment

පට අඬනවා නම් අඬන්න ඕනෑ තරම් කරුණු තිබේ. විශ්‍රාමික ජනාධිපතිවරුන් ගැන අඬන්න නම් අපේ ඇස්වල කඳුළු නැත. ඒ අන් කිසිවක් නිසා නොව, ඔවුන් විසින් අපේ මුළු ජීවිතය ම කඳුළු සාගරයක් කරනු ලැබ ඇති නිසා ය.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම ජනතාව හමුවේ තැබූ පොරොන්දු අතර උණුසුම් මාතෘකාවක් වී තිබුණේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැති-ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම ය. ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශ්‍රාමික විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරිණි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ මැති-ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම වර්තමාන ආණ්ඩුවේ ජනවරමට අදාළ වැදගත් පොරොන්දුවකි.

පසුගිය ආණ්ඩුවල ඇමැතිකම් දැරූ බොහෝ දෙනකු ඇමැති ධුරය අහෝසි වීමෙන් පසුවත් දීර්ඝ කාලයක් නිල නිවාසවල රැඳී සිටි අතර, ඔවුන් නිල නිවාසවලින් ඉවත් කර ගැනීම සඳහා ආණ්ඩුවට නඩු මඟට බසින්න ද සිදු විය. 1977 එජාප ආණ්ඩුවේ ඇමැති ධුරයක් හිමි කර ගත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇමැතිවරයකු තමා භාවිත කළ රජයේ නිල නිවාසය ආපසු භාර දුන්නේ මීට දින කිහිපයකට පෙර ය. ඔහු ඇමැති ධුරයක් හෝ මන්ත්‍රී ධුරයක් නැති ව අවුරුදු 47ක් ඒ නිල නිවෙසේ පදිංචි ව සිට ඇත.

විශ්‍රාමික ජනාධිපතිවරුන් පිළිබඳ ව ජනතාවගේ ක්‍රෝධයක් ගොඩනැඟුණේ ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අසීමිත වරප්‍රසාද භුක්ති විඳිමින්, මහජන දේපළ කාබාසිනියා කරන්න වූ නිසා ය.

නීතිය වල්වැදී තිබූ රටක ආණ්ඩුව ප්‍රථමයෙන් කළ යුත්තේ නීතිය මත පිහිටා ක්‍රියා කිරීම ය. ජනාධිපතිවරයා අවස්ථා කීපයක දී පැහැදිලි කළේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතක් තිබෙන බව හා තමා ඒ පනතට අනුකූල ව ක්‍රියා කරන බව ය. හිටපු ජනාධිපතිවරුන්ට හිමි විය යුතු වරප්‍රසාද සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණ ගන්නේ 1988 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පනතට අනුකූල ව ය. තමා ඒ මත පිහිටා ක්‍රියා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

වරප්‍රසාද පනතේ අංක 02 වගන්තියට අනුව සෑම හිටපු ජනාධිපතිවරයකුට ම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹු බිරියකට ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය කිරීම සඳහා උචිත නිවාසයක් සැපයිය යුතු ය. යම් හෙයකින් නිවාසයක් නොසපයන අවස්ථාවක, ඔහුට හෝ ඇයට හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් ගෙවිය යුතු ය. එකී තීරණය ඉතා සාධාරණ යුක්ති සහගත එකක් බව පැහැදිලි ය.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් නාහෙන් අඬන්නන් විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක බැලූ බැල්මට පෙනෙන තරම් අහිංසක නැත. අදාළ තැනැත්තන් විසින් ස්වකීය ධුර කාලයේ උපයා ගෙන තිබෙන ධනය ගැන සලකා බලන විට ඔවුන් මීට වඩා සහකම්පනයකින් රටේ අහිංසක ජනතාව ගැන සිතිය යුතු ය. මේ ප්‍රශ්නය ගැටලුවක් වී තිබෙන්නේ බලය සහ වරප්‍රසාද අත්හැර, සාමාන්‍ය ජීවිතයට පිවිසීමට ඔවුන්ට තිබෙන නොහැකියාව නිසා ය.

අප දන්නා තරමින් යුරෝපා රටවල හිටපු අගමැතිවරු සහ ජනාධිපතිවරු ධුරය අත්හැරීමෙන් පසු සාමාන්‍ය පුරවැසියන් මෙන් සමාජ ජීවිතයට අන්තර්ග්‍රහණය වී, සාමාන්‍ය ජනයා සමඟ දුම්රියේ, බස් රියේ ගමන් කරති; සාමාන්‍ය ජනයා සමඟ උද්‍යානවල සැඳෑ සුව විඳිති.

මරණ මංචකයට යන මොහොත දක්වා දුප්පත් මිනිසුන්ගේ මහජන මුදලින් යැපෙන්න සිතන විශ්‍රාමික ජනාධිපතිවරුන් සිටින්නේ ශ්‍රී ලංකාවේ පමණි. වැටී තිබෙන රට ගොඩගැනීමට ජනතාව පරිත්‍යාග කරනවා මෙන් පාලකයන් ද පරිත්‍යාග කළ යුතු ය. බලයෙන් පහ වූ ප්‍රභූ පෙළැන්තියේ හීනමානය දුරු කළ හැක්කේ ආණ්ඩුව ජනතාවගේ පැත්තේ සිට ගන්නා මෙවැනි එඩිතර තීන්දුවලින් පමණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division