Home » භාෂා සාහිත්‍ය පරිශීලනයෙන් ඈත් වන පරපුරක පරිහානිය

භාෂා සාහිත්‍ය පරිශීලනයෙන් ඈත් වන පරපුරක පරිහානිය

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

මහාචාර්ය ජයන්ත අමරසිංහ 
රුහුණ විශ්වවිද්‍යාලය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොත් ගුලෙහි ඉහළ මාලයේ නවසිය තිස් ගණන්වල පළ වූ සිළුමිණ ශාස්ත්‍රීය අතිරේක එකතුවක් තිබිණ. මා දුටු පෞද්ගලික පුස්තකාලය කිහිපයක ම මේ ශාස්ත්‍රීය අතිරේක ගොනු කොට බැ‍‍ඳ තබා තිබුණු බව මගේ මතකයෙහි පවතී. එහි බොහෝ සාරගර්භ ලිපි පළ වී තිබුණු අතර, එහි වූ ධම්පියා අටුවා ගැටපදය ගැන මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි ලියූ ලිපි මාලාව පිළිබ‍ඳ විශේෂ මතකයක් මා සතු වන්නේ මා ඒවා දැඩි උනන්දුවකින් පරිශීලනය කළ බැවිනි.

නවසිය අසූව දශකයේ මුල් භාගයේදීත් සිළුමිණ පුවත්පතෙහි ආරම්භක අවධියේ පැවති ආකාරයට වෙන් කර තබා ගත හැකි ලෙස මුද්‍රණය කළ පිටු දෙකක ශාස්ත්‍රීය අතිරේකයක් පළ වුණු අතර, මෙරට විසූ ප්‍රමුඛ විද්වතුන්ගේ සාරගර්භ ලිපිවලින් ඒ අතිරේකය සාරවත් විය. භාෂාව, සාහිත්‍යය, සංස්කෘතිය, ග්‍රන්ථ විචාර වැනි විවිධ ‌තේමාවලින් සමන්විත ඒ අතිරේකය වෙන් කොට එක්රැස් කර තබා ගැනීම ශාස්ත්‍ර ගවේෂකයන්ගේ පුරුද්දක් ව පැවතිණ.

ඒ ශාස්ත්‍රීය අතිරේක කලාප කිහිපයක මහාචාර්ය ආනන්ද කුලසූරිය හා මහාචාර්ය ආරිය රාජකරුණා සමඟ මා කළ සම්මුඛ සාකච්ඡා දෙකක් පළ වුණු අතර, මහාචාර්ය ආනන්ද කුලසූරිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවෙහි මැය ‘භාෂා සාහිත්‍ය සේවනයෙන් ඈත් වන පරපුරක ශෝකාන්තය’ යනුවෙන් නම් කර තිබුණු බව මතක ය. මහාචාර්ය කුලසූරිය අනාගත පරිහානිය ගැන එහිදී තම අදහස් පවසන්න ඇත්තේ ඒ වන විට හැඩ ගැසෙමින් පැවති සමාජ සංස්කෘතික පරිසරය සැලකිල්ලට ගනිමින් විය යුතු ය. මහාචාර්ය රාජකරුණා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලින් පාඨමාලා සඳහා නිර්දේශ කෙරුණු කොටස් මිස සම්පූර්ණ ග්‍රන්ථ පරිශීලනය නොකළ උපාධිධාරීන් අනාගතයේ බිහි වන බව පැවසිණි. එදා ඒ ශාස්ත්‍රඥයන් දෙපළ පළ කළ අනාවැකි සැබෑ වීමට දශක දෙකක් වත් ගත නො විණ. බොහෝ පුවත්පත්වල ශාස්ත්‍රීය අතිරේක ගිලිහිණ. ඒ තැන පුරවන ලද්දේ හොල්මන් කතා, දේශපාලන ඕපාදූප හා ජනයා මිථ්‍යාවට ඇද බැඳ තබන ජ්‍යෝතිෂ හා ව්‍යාජ විද්‍යා ආදිය පිළිබඳ ලියවුණු ලිපිවලිනි.

සාහිත්‍යය, භාෂා අධ්‍යයනය, ඉතිහාසය, පුරාවිද්‍යාව, සංස්කෘතිය, මානව විද්‍යාව, දර්ශනවාද, ආගම් පිළිබඳ තුලනාත්මක අධ්‍යයන ආදියෙන් මානවයා ශික්ෂණය කරනු ලබන්නේ එදිනෙදා සිල්ලර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නො වේ. එවැනි එදිනෙදා අවශ්‍යතා සඳහා ඕනෑ තරම් වෘත්තීන් අභිමුඛ කොට ගත් පාඨමාලා තිබේ. අධ්‍යාපනයේ පුළුල් අරමුණ විවිධ ජීවන වෘත්තීන් සඳහා පුරවැසියන් පුහුණු කිරීම නො වේ. යට කී විෂයයන් සමාජයට අවශ්‍ය වන්නේ සමාජ සංවිධානය, සමාජ යහපැවැත්ම, සමාජ සහජීවනය සුරක්ෂිත කිරීම හා ආධ්‍යාත්මික ආඪ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන්ගෙන් සමන්විත විචාරශීලි පුරවැසි සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා ය. ඒවාට තිබෙන්නේ දීර්ඝ කාලීන වටිනාකම් ය.

‘අධ්‍යාපනය යනු සාර්ථක ජීවන වෘත්තියක් අත් කර ගැනීමට තිබෙන ඒකායන මාර්ගය ය,’ යන අදහස මුල් බැස ගත් සමාජයක සිදු විය හැකි බරපතළ වරද නම් ඉගෙනීම මාරාන්තික ධාවන තරගයක් බවට පත් වීම ය. ඒ තරගයේදී වැඩි වටිනාකම් හිමි වන්නේ වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය වැනි ඉහළ ආදායම් ඉපයිය හැකි යැයි විශ්වාස කෙරෙන, ඒ නිසා ම ඉහළ සමාජ වටිනාකම් හිමි වී තිබෙන වෘත්තීය ක්ෂේත්‍රවලට පිවිසීමට ඉඩ විවර වන විෂය ධාරාවන්ට ය. මේ පරිසරයෙහි භාෂා සාහිත්‍ය අධ්‍යයන අයත් වන මානව ශාස්ත්‍ර අධ්‍යාපනයට ලැබෙන්නේ නොවැදගත් ම ස්ථානයකි. වර්තමානයේ සිංහල භාෂා-සාහිත්‍ය අධ්‍යයනයට හිමි වී තිබෙන්නේ ඒ අතුරින් ද පහළ ම ස්ථානයයි. වර්මානය වන විට සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යාපනය සටහන් කටපාඩම් කිරීමට පිරිහෙළී ඇති පසුබිමක, නිරවුල් වැකියක් ලිවීමට නොහැකි උපාධිධාරීන් විශාල පිරිසක් ගුරු වෘත්තියට, විශ්වවිද්‍යාලයවල සිංහල අධ්‍යයනාංශවලට හා පොදුවේ සමාජයට පිවිසීම බරපතළ සමාජ උවදුරක් බවට පත් ව හමාර ය. උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට නියමිත පාඨ ග්‍රන්ථ සම්පූර්ණයෙන් එක් වරක් වත් නොකියවූ පාසල් සිසුන් සිංහල විෂයය සමත් ව විශ්වවිද්‍යාලයවලට පිවිසෙන අතර, ඔවුන් විශ්වවිද්‍යාලයේදී ද එකදු ග්‍රන්ථයක් වත් විචාරශීලි ව පරිශීලනය නො කර පාඨමාලා නිම කර උපාධි ලැබ සමාජයට පිවිසීම පිළිබඳ වගකීම භාර ගන්නෝ කවරහු ද?

මෙවන් පරිහානිගත තත්ත්වයකට සිංහල භාෂා – සාහිත්‍ය අධ්‍යයනය පිරිහෙළුණේ කෙසේ ද? ඕනෑ ම භාෂාවක් විවිධ කාලවකවානුවල දී වර්ධනයට මෙන් ම පරිහානියට පත් වීම යුග ධර්මතාවකි. වර්ධනය හා පරිහානිය යන දෙක ම සිදු වන්නේ භාෂාව විවිධ සමාජ – ආර්ථික දේශපාලන සංසිද්ධි සහ රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ අත්‍යන්තයෙන් ම බද්ධ ව පවත්නා බැවිනි. ආසන්න බලවත් රාජ්‍ය මඟින් ඇති කෙරෙන දේශපාලන සංස්කෘතික බලපෑම, භාෂාව සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍යය ඒ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දක්වන උනන්දුව හෝ නොතකා හැරීම, භාෂා ප්‍රවර්ධනය සඳහා ස්ථාපනය කර තිබෙන ආයතන කටයුතු කරන ආකාරය, ඒ ආයතන මෙහෙයවීම සඳහා සුදුසු පුද්ගලයන් පත් කිරීම හෝ නුසුදුසු පුද්ගලයන් පත් කිරීම වැනි කරුණු ඍජු සහ වක්‍ර අයුරින් භාෂාවේ වර්ධනයට හෝ පරිහානියට බල පෑ අයුරු පසුගිය අඩ සියවසක කාලය ඇතුළත ලංකාවේ සිදු වූ ආකාරය අප අත්දැක තිබේ. අනවධානය හෝ නොතකා හැරීම හෝ හේතු කොට ගෙන බසට වැද ගන්නා විකෘත වචන, පද සාධන විධි, සාවද්‍ය වාක්‍ය රටා මෙන් ම අප ව්‍යවහාර බස් රථවල අනවශ්‍ය උපාංග ගලවා ඉවත් කරන්නා සේ දිනකින් දෙකකින් ඉවත් කළ නොහැකි ය.

සිංහල භාෂාවේ මෑත කාලයට සම්බන්ධ පුනරුත්ථානය සිදු වූයේ වැලිවිට සරණංකර සඟරජ හිමියන්ගේ පුරෝගාමිත්වයෙනි. නවසිය අසූව දශකය පමණ වන තෙක් – එනම්: සියවස් තුනක තරම් කාලයක් – සරණංකර හිමියන් විසින් දල්වන ලද භාෂා ප්‍රදීපය නොනිවී දැල්වෙමින් පැවතිණි. මේ භාෂා ප්‍රදීපය දල්වනු වස් කාය ජීවිත නිරපේක්ෂ ව අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ පැවිදි ගිහි උතුමන් සියයකගේ පමණ නාමාවලියක් ඉතිහාසයේ සලකුණු වී තිබේ. සා පිපාසා විඳ දරා ගනිමින්, රෝ රකුසාගේ රුදු ග්‍රහණයට නතු ව සිටිමින්, විවිධ කුමන්ත්‍රණවලට මුහුණ දෙමින් අපගේ පුරා පුරුෂයන් විසින් භාෂා ප්‍රවර්ධනය උදෙසා එතරම් කැප කිරීම් කරන ලද්දේ භාෂාව ජාතියක චින්තනයේ මධ්‍ය ස්නායුව බව විශ්වාස කළ නිසා ය.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් උරුම වූ පුවත්පත හා සඟරාව සියවස් තුනක් සම්බන්ධ කරමින් ශ්‍රී ලාංකේය සමාජයේ වර්ධනය වූ ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් සේ හැ‍ඳින්විය හැකි ය. එහි ආයු කාලයෙන් අඩකටත් වඩා සිංහල භාෂාවේ අභිවෘද්ධිය විෂයයෙහි ලා පුවත්පත් සඟරාවලින් ඉටු වූයේ අනල්ප මෙහෙයකි. එහෙත් දැනට දශක දෙකක පමණ සිට පුවත්පත් සඟරා සිය අතීත මෙහෙයට සපුරා ප්‍රතිවිරුද්ධ කාර්යයක – එනම්: භාෂා නාශක ප්‍රතිපත්තියක – පිහිටා කටයුතු කරනු දක්නට ලැබීම කනගාටු දායක ය. ගෙවුණු සියවසේ අවසාන දශක දෙකෙහි ආරම්භ වූ විදත් දෘශ්‍ය මාධ්‍යය ද මේ ගමනට එක් වී තිබේ. ශිෂ්ට භාෂා ප්‍රයෝග නො තකා අපව්‍යවහාර සමාජයෙහි ව්‍යාප්ත කිරීමේ මුද්‍රිත හා විදත් මාධ්‍ය ඔවුන්ගේ අයිතියක් හා වගකීමක් සේ සලකන අයුරක් දක්නට් ලැබේ. අපගේ පාසල් අවධියෙහි ගුරුවරුන්ගෙන් උපදෙස් ලැබුණේ පුවත්පත් කතුවැකි කියවීමට ය; ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශවලට සවන් දීමට ය. එදා ව්‍යවහාර සිංහලය පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීමට පරපුරකට මඟ පෙන්වූ ඒ මාධ්‍ය දෙක ම අද බස වැනසීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇති බව පැහැදිලි ව ම පෙනෙයි.

කිසියම් බසකට හිමි වන්නේ හුදු සන්නිවේදන කාර්යභාරයක් පමණක් ම නොවේ. මිනිසාගේ සකල විධ ආධ්‍යාත්මික උරුමය අඛණ්ඩ ව පවත්වාගෙන යමින් එය ඊ ළඟ පරපුරට පැවරීමේ වගකීම පැවරී තිබෙන්නේ ද බසට ය. එනයින් ම භාෂාව සංස්කෘතියේ නියෝජිතයා මෙන් ම සංස්කෘතියේ ප්‍රවාහකයා ද වෙයි. එබැවින් භාෂාවක සම්මත ශිෂ්ට ප්‍රයෝග, රීති නොතකා කටයුතු කිරීම මෙන් ම තනි පුද්ගල මතයකට අනුව භාෂාව සැලසුම් කිරීම ද අතිශය හානිකර ය. වෙනත් භාෂාවක උපකාරයකින් තොර ව සිංහල භාෂාවෙන් පමණක් නිරවුල් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බව වගකිව යුත්තන් සිතන තත්ත්වයට භාෂාව පිරිහී තිබේ. බොහෝ රූපවාහිනී නාළිකාවල සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භයේ තිරයේ දිස් වන සියලු වචන යොදා තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. විදත් මාධ්‍ය වැඩසටහන්වලට යොදා තිබෙන්නේ ‘ඉංග්‍රීසි යෙදුම් ය. වර්තමාන නිවේදකයන් වැඩිපුර භාවිත කරන්නේ ඉංග්‍රීසි සිංහල මිශ්‍ර කර ගත් දෙමුහුන් බසකි. විශේෂයෙන් ම වෙළෙඳ දැන්වීම් සඳහා වියරණ දොස් බහුල දෙමුහුන් භාෂාව නිරන්තරයෙන් සවන වැකෙන, නෙත ගැටෙන ළමා පරපුර ඒ යෙදුම් ව්‍යවහාර කිරීමට පෙලඹෙන බැවින් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම දැනටමත් ප්‍රමාද වැඩි බව අපගේ හැඟීමයි. පාසල් සිසුන් මෙන් ම ගුරුවරුන් ද එමෙන් ම විශ්වවිද්‍යාලයවල සිසුන් ද වර්තමානයේ වාචික සන්නිවේදන කටයුතුවල දී බහුල ව අනුකරණය කරන්නේ විදත් මාධ්‍ය සන්නිවේදකයන් විසින් බහු ප්‍රචලිත කරන ලද පද දෝෂ, වාක්‍ය දෝෂ, ව්‍යාකරණ දෝෂ බහුල දෙමුහුන් සිංහලයයි.

වර්තමානයේ මෙසේ අපයෝජනයට ලක් වන්නේ පරාධීනත්වයේ ගැලී සිට ස්වාධීන ව නැඟී සිටීමට උත්සාහ කළ ජාතියකට අවශ්‍ය මානසික උත්තේජනය සැපයීමට පසු ගිය සියවසේ විසූ භාෂා ශාස්ත්‍රඥයන් විසින් අප්‍රමාණ වෙහෙසක් දරා සකස් කර ගන්නා ලද භාෂා උරුමයක් බව මේ භාෂා නාශකයන් නොදන්නවා විය හැකි ය.

ශ්‍රී චාල්ස් ද සිල්වා සිය පැරකුම්බා සිරිත සංස්කරණයේ හැඳින්වීමෙහි ලා උපුටා දක්වා තිබුණු ජෝන් මිල්ටන් කවියාගේ ප්‍රකාශයකින් මේ සටහන නිම කිරීමට අදහස් කරමි: “මවු බස නීරෝගි ද, රෝගි ද, එය යෝග්‍ය ලෙස සාමාන්‍යයෙන් ව්‍යවහෘත ද යන ප්‍රශ්න ගැන සැබැවින් සැලකිලිමත් වීම සුළු කරුණෙක් නො වේ. ඇඳුම් පැලැඳුම් සිරිත් විරිත් ආදියෙහි සම්පූර්ණ විපර්යාසය ජාතියෙකැ විනාශයෙහි පෙරනිමිත්තෙකැ යනු ප්ලාතො මතයයි. එහෙත් භාෂාවෙකැ විශේෂ නිරවද්‍යභාවය නොසැලැකිල්ලට ගොදුරු වීම එ මැ බස වහරන ජාතියේ පරිහානියටත්, එහි මහිමයේ ග්ලානියටත් හේතු වේ මැ යැ යනු මගේ අදහස යි. වදන් මිල බාල වී, ලාබ වී, එහි ඇඳි රුවත්, කළ සටහනත් මැකී මතක නැති වී ගිය සඳැ, එ මැ බස වහරන යම් කිසි හීන දීන ශක්තිවිරහිත මිනිස් රැසෙක් වේ ද ඔවුන්ගේ සිත් එක්තරා පරාධීන භාවයකට මැ සුදුසු වන බව සක් සුදක් සේ නො පැහැදිලි ද? එහෙත් ස්වභාෂාවෙහි නිරවද්‍යභාවයත් නිර්මලත්වයත් කෙරෙහි තමන්ගේ උද්‍යෝගය පැවති තෙක් කිසි මැ රටක් හෝ අදිරජයක් හෝ මඳ විසින් වත් නොබැබැළුණු බවක් කිසි කලෙක වත් අපි නො ඇසූමු.”

කැළි කසළින් දූෂිත, අපිරිසුදු, දුගඳ හමන පරිසරයක විසීමට මිනිසා අකැමැති වුව ද පරිසරය අපිරිසුදු කරන්නේ ද මිනිසා ම ය. පරිසරය යම් සේ ද බස ද එසේ ම ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division