ප්රධාන මාර්ගයේ සිටම නැරඹිය හැකි දිය ඇලි මෙරට ඇත්තේ සීමිත ප්රමාණයකි. එයින් බදුල්ල දිස්ත්රික්කයේ ඇත්තේ දිය ඇලි 3ක් පමණකි. එයින් එක් අලංකාර දිය ඇල්ලක් ලෙස හඳුන්වා දිය හැක්කේ වේවැස්ස දිය ඇල්ලයි. වැඩි උසකින් යුක්ත නොවූවත් අලංකාරත්වයෙන් නම් එහි අඩුවක් නැත. මහාමාර්ගයේ සිටම නැත්නම් වාහනයක යන ගමන්ම මේ දිය ඇල්ල නැරඹීමට හැකිවීම ආකර්ෂණය ඇද ගැන්මට හේතු වී තිබේ.
බදුල්ල – පස්සර මාර්ගයේ බදුල්ලේ සිට කිලෝමීටර් 8ක් (5 කණුව) ගමන් කළ විට මාර්ගයේ දකුණු පසින් මේ අලංකාර දිය ඇල්ල දැකගත හැකිය.
බතුලු ඔය හෙවත් බතුලු ගඟ මේ දිය ඇල්ලේ ආරම්භය වන අතර වනාන්තර ගණනාවක් පසුකර එන මේ දිය ඇල්ලේ ගමන් මඟට මේ වන විට ඇති බාධාවන් බොහෝය.
අතීතයේ වසර පුරා මේ දිය ඇල්ල දැකගැන්මට හැකි වූ නමුත්, මේ වන විට දිය ඇල්ල දැකගත හැක්කේ වර්ෂා කාලවලදී පමණි. එයට හේතු වී ඇත්තෙ වනාන්තර විනාශයත්, නීති විරෝධි ලෙස සිදු කරන්නා වූ ඉදිකිරීම් හා දැව කැපීමයි. මේ නිසා පොළොවට අධික ජලයක් උරාගැනීම හේතුවෙන් දිය ඇල්ල කරා ඒමේදී ජලය ක්රමයෙන් අඩු වන තත්ත්වයක් වර්ෂාව නොවැටෙන කාලයේදී දක්නට ඇති අතර, වියළි කාලගුණය පවතිද්දී දිය ඇල්ල සිඳී යනු ඇත. එය යළි පණ ලබන්නේ වර්ෂා කාලයේදී පමණි.
ඒ තත්ත්වය ඇති කර ඇත්තේ ද අප විසිනි.
මීටර් 22ක උසින් යුක්ත වේවැස්ස ඇල්ල, බදුල්ල පස්සර මාර්ගයට දිස්වන්නේ කොටස් දෙකක් ලෙසිනි. එහෙත් එහි ප්රධාන දිය ඇල්ල වේගයෙන් ඇදහැලෙන අතර, එය දියලුම ඇල්ල මෙන් අලංකාරවත් ලෙස ජල කඳ පහළට ඇදහැලේ. කුඩා ඇල්ල ඒ අසලින්ම ඇදහැලෙන අතර, ඇලි දෙකම එකතු වී මාර්ගය යටින් අනෙක් පසට ගලා යයි. දිය ඇල්ලට ආසන්නයේදීම මේ ඇලි දෙක වෙන් වන අතර පසුව එකතු වී මාර්ගය යටින් ගමන් කරයි.
වේවැස්ස තේ වත්තේ මෙය ඇති නිසා ඒ නමින්ම මේ දිය ඇල්ල හඳුන්වනු ලබන අතර, දිය ඇල්ලට නුදුරින් පෙනෙන්නේ නමුනුකුළ කඳු පන්තියට ආසන්න කඳු කිහිපයකි. මීදුම පවතිද්දී නම් දිය ඇල්ල පමණක් නැරඹිය හැකි අතර අවට සෞන්දර්යය නැරඹිය නොහැකිය. සෙසු දිනවල නම් මේ දිය ඇල්ල අසලත්, අවටත් මඳ වේලාවක් හෝ රැඳී සිට යා හැකිය. පාසල් නිවාඩු දිනවලට මෙන්ම පාසල් වාර විභාග අවසන් වන දිනවලදී සිසු සිසුවියෝ බහුලව මෙහි ඇදී එති.
බදුල්ලේ සිට විනාඩි 20කටත් අඩුකාලයකින් ගමන් කළ හැකි හෙයින් බදුල්ලේ සංචාරය කරන්නේ නම් අනිවාර්යෙන්ම වේවැස්ස ඇල්ල නැරඹීමට යා යුතුය. එහෙත් වර්ෂා කාලයකදී පමණක් මේ දිය ඇල්ල ගලා හැලෙන බව සිහි තබාගත යුතුය.
ඡායාරූප – විමල් කරුණාතිලක
තාරක වික්රමසේකර