Home » මද්දට බිලි වන සංචාරක දියමන්තිය

මද්දට බිලි වන සංචාරක දියමන්තිය

by Mahesh Lakehouse
January 25, 2025 12:31 am 0 comment

ස්වාභාවික වනයක් තුළ කොටියන් පහසුවෙන් දැකිය හැකි සංචාරක ගමන්නාන්ත ලොව ඇත්තේ නම්, එහිලා ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාව බව පැවසිය යුතුමය. ඒ ලොවට උරුම වූ ප්‍රධාන කොටි උප විශේෂ 9න් එකක් වූ Panthera padus kotiya නම් අගනා දියමන්තිය ශ්‍රී ලාංකික නිජබිම තුළ පමණක් සිටින බැවිනි. ශ්‍රී ලංකාවේ කොටින් දැකගැනීමට පමණක් ඩොලර් ගණනින් වැය කරමින් අප රටට පැමිණෙන විදේශිකයෝද බොහෝය. යාල, විල්පත්තු, කුමන පමණක් නොව; මනස්කාන්ත පරිසරයකට උරුම්කම් කියන සුන්දර හෝර්ටන් තැන්නද අද කොටින් සියැසින්ම දකින්නට හැකි අපූරු ජෛව විවිධත්වයෙන් යුතු තෝතැනි බවට පත්ව හමාරය.

ශ්‍රී ලංකාවේ ජීවත් වන අංක එකේ ක්ෂීරපායි විලෝපිකයා (Predator) වන්නේ කොටියාය. ඉහළ සංචාරක ආකර්ෂණය දිනාගත් සත්ත්වයකු වශයෙන් කොටියා දැඩි ලෙස සංරක්ෂණයට ලක් කළ යුතු සතකු වුවද වර්තමානයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යෑමේ තර්ජනයට නතුව ඇති සත්ත්වයෙක්ද වෙයි. සෑම වසරකම අගෝස්තු පළමුවැනිදාට ශ්‍රී ලංකාවේ කොටියා වෙනුවෙන්ම දිනයක් වෙන් වන්නේද ඒ අවදානමට තිත තබන්නටය. කොටියා තර්ජනයට ලක් වන්නේ අද ඊයේ සිට නොවේ. IUCN දත්ත වාර්තාවන්ට අනුව කොටියා රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වන්නේ 2008 වසරේදීය. අද වන විට වසර 17ක් ගෙවී යෑමට ආසන්න වුවද තවමත් වඳ වී යෑමේ දැඩි අවදානමට ලක් වූ (Vulnerable) සත්ත්ව විශේෂයෙන් කොටියා ඉවත් කිරීමට හැකියාව ලැබී නැත. ගෙවුණු වසර කිහිපය හා සංසන්දනයේදි කොටි මරණවල සුළු අඩුවීමක් පෙන්නුම් කළද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන බොහෝ කොටි මරණ සුළුවෙන් තැකිය හැකි නොවේ. 2020දී කොටි මරණ 9 ක්ද, 2021දී කොටි මරණ 8ක්ද, 2022දී කොටි මරණ 7ක්ද, 2023දී කොටි මරණ 7ක්ද, 2024දී කොටි මරණ 5ක්ද ආදි වශයෙන් සිදුව ඇති බව වනජීවි දෙපාර්තමේන්තු දත්ත පවසයි. එහෙත් ඒ වාර්තාගත දත්ත පමණි. ප්‍රසිද්ධියේ වාර්තා නොවන දත්ත මීට ඇතුළත් වන්නේ නැත.  

ශ්‍රී ලංකාවේ වනජීවි පරිසර පද්ධති තුළ කොටියකු දැකගැන්මට බොහෝ දෙනා ප්‍රිය කළද එය තරමක් පහසු කටයුත්තක් නොවේ. එහෙයින් වනජීවී සංචාරයට ප්‍රිය කරන සංචාරකයන්ට කොටියා දැකීම බෝනස් දිනුමක් ඇදුණා සේය. එහෙත් අපේ දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව අමතක කරන තවත් කරුණක් වන්නේ කොටියාට තමන්ගේ නිජ භූමිය උරුම කර නොදීමේ පාපකර්මයට ඔවුන් මේ වන විටත් මුහුණ දෙමින් පවතින බවයි. Living with Leopards හෙවත් කොටින් සමඟ ජීවත් වීමේ ක්‍රමයට මහජනතාව අනුගත නොවීමේ පාපකර්මයට ගොදුරුව ඇත්තේද ශ්‍රී ලාංකික කොටියාය. කොටියකු දැකගැන්මට ආසා කළද දුටු විට ඌ සතුරකු සේ දකින්නට අප පුරුදු වී සිටීම ජාතියේම අභාග්‍යයකි. මන්ද යත්: ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් කොටි සමඟ නිදැල්ලේ සැරි සරන ආකාරය අන්තර්ජාලය පිරික්සීමෙන් සොයාගැනීම අපහසු නැත. එවන් වූ සිතිවිල්ලක් අපට ඇති කරගත නොහැක්කේ මන්දැයි පැනයකි. කොටින්ට ඔවුන්ගේ සීමාවේ තබා අප අපේ සීමාව දැන ජීවත් වුවහොත් කොටින් සමඟ ජීවත් වන ආකාරය අමුතුවෙන් කියා දෙන්නට ඇවැසි නැත.

සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි කොටි සංගණනයක් සිදුව ඇත්තේ 2015 වසරේදී වන අතර, ඒ සංගණනයට අනුව මෙරට වනජීවි කලාප තුළ කොටි 700 – 950ත් අතර සිටින බවට අනුමාන කෙරේ. මේ කරුණ තවදුරටත් සනාථ කරමින් අපේ පරිසර සංරක්ෂකයෝ පවසන්නේ වැඩුණු කොටි 800- 1000ක් වර්තමානයේදිද වනජිවි කලාප තුළ සිටින බවය. ශ්‍රී ලංකාවේ යාල හා විල්පත්තු ජාතික අභය භූමින් තුළ ලංකාවේ විශාලතම කොටි ගහනය වාර්තා වෙයි. එසේම ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය කොටින් නැරඹීම සඳහා සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. කොටි සම්බන්ධ සමීක්ෂණ ලංකාවේ සිදු වන්නේ ඒ ඒ කලාප පදනම් කරගනිමිනි. 2022 වසර පර්යේෂණයන්ට අනුව යාල බ්ලොක් 1 ජාතික උද්‍යානයේ වර්ග කිලෝ මීටර 100කට කොටි 54ක්ද, 2018 වසරේ හෝර්ටන් තැන්නේ වර්ග කිලෝ මීටර 100කට කොටි 15ක්ද, 2018 වසරේ විල්පත්තු වර්ග කිලෝ මීටර 100කට කොටි 18ක්ද වශයෙන් සිට ඇති බවට පැවසෙයි. එසේම 2017 වසරේ සිංහරාජයේ සිදු කළ පර්යේෂණයකට අනුව වැඩහිටි කොටින් 23 දෙනෙක් හඳුනා ගනු ලැබූහ.

වර්තාමානයේ යාල සෆාරියට බොහෝ දෙනා එක් වන්නේ කොටි දකින්නටය. යාල කොටියකු දැකීම අපහසුම කරුණක් නොවේ. සමහර විට කිසිදු කොටියකු දැකගත නොහැකිව ආපසු හැරී යන්නට සිදු වන අවස්ථා ඕනෑ තරම්ය. යාල සුවිශේෂ අවස්ථාවක් සටහන් කරමින් පසුගිය දිනක ජඹුරාගල පාරේදී කළු කොටියකු දකින්නට ලැබිණි. කොටින්ට ප්‍රසිද්ධ යාල අවසන් සංගණනයක් සිදු කරන්නේ 2021 වසරේ මාර්තු 31 වැනිදාය. ඒ අනුව යාල බ්ලොක් 1 කොටසේ කොටි ගහනය 77- 80ක් බව හඳුනාගෙන ඇත.

යාල කොටින් හඳුන්වන්නේ උන්ටම ආවේණික වූ නාමකරණයන් මඟිනි. ලූකස්, මයිකල්, ලාන්ස් … ආදි වශයෙන් නම් කෙරී ඇති යාල කොටියන්ගේ හැසිරීම් පහසුවෙන් අධ්‍යයනයට ලක් කළ හැකි බව පර්යේෂකයෝ පවසති. මුලින් යාල කොටි සම්බන්ධ හඳුනාගැනීම් සිදු කළේ කොටින්ගේ මුහුණේ වූ පුල්ලි රටාවන්ට අනුවය. එහෙත් මේ වන විට ලොව කොටි හඳුනාගැනීම් සිදු කරන්නේ බහු ලක්ෂණ ක්‍රමවේදයක් මඟිනි. එය මුලින්ම සිදුකළේ යාල වනෝද්‍යානයේ වූ කොටින් සම්බන්ධයෙනි. එසේම ලොව කොටි සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නන්ට තොරතුරු මධ්‍යස්ථානයක් ඇත්තේද යාල වනෝද්‍යාන පිවිසුමේ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. යාල පිරිමි කොටියා හඳුන්වන්නේ YM නමිනි. ගැහැනු කොටියා හඳුන්වන්නේ YF නමිනි. ඉන්පසුව ඒ ඒ කොටියාට හිමි නිශ්චිත ඉලක්කමකින් සංකේතවත් වෙයි. යාලටම ප්‍රසිද්ධ වූ කොටි අතර සේරා හඳුන්වා ඇත්තේ YF11 ලෙසය. සුබ හඳුන්වා දී ඇත්තේ YM 57 ලෙසය. නිරන්තරයෙන් දැකිය හැකි ලූකස් හඳුන්වා ඇත්තේ YM 16 වශයෙනි.

ශ්‍රී ලංකාවේ සැලකිය යුතු කොටි ගහනයක් තිබුණද අවධානයට නතු කළ යුතු කරුණක් වන්නේ කොටියන්ට ඇති ජීවිත අවදානමය. කොටි මරණ දිනෙන් දිනම වැඩි වෙමින් පවතින නිසා සංරක්ෂණ ක්‍රියාමාර්ගයන්ට අනුගත නොවුණහොත් ඉදිරියේදී කොටි ගහනයේ අඩු වීමක් ඇති වීම පැහැදිලිය. බොහෝ පරිසරවේදීන් පවසන්නේ කොටියා පරිසර පද්ධතිය රැකගැන්මට අත්‍යවශ්‍ය ප්‍රධාන විලෝපිකයකු නිසා කොටියා හා මිනිසා අතර සහජීවනයක් පැවතිය යුතු බවයි. කොටියන් පිළිබඳ පර්යේෂණවල නිරත විශේෂඥයන් පවසන්නේ හිංසාකාරි සත්ත්වයෙක්ය යන සිතිවිල්ල කොටියාට විනාශය ළඟා කරවන බවයි. වර්තමානය වන විට කොටියාගේ වාසස්ථාන මිනිසා විසින් ආක්‍රමණය කිරීම, කොටියා ගම් වැදීම, අවසානයේ මදුවලට හසු වීම බොහෝ කොටි මරණවලට හේතුවන බවයි.

වනජීවි උද්‍යානවලින් බැහැර වූ පරිසර පද්ධතිවල කොටි ගහනය බහුලය. ශ්‍රී ලංකාවේ කොටි මරණ ගැන සඳහන් වීමේදී භයානක ඉරණමකට මුහුණ දෙන්නේ කඳුකර කොටියාය. කඳුකර කොටි හෙවත් Highland leopards හා පහතරට ප්‍රදේශවල ජීවත් වන කොටියන් වශයෙන් ලංකාවේ කොටියා වර්ග දෙකකට නොබෙදුණද, කොටි පිළිබඳ අධ්‍යයනය කරන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ උඩරට හා පහතරට වශයෙන් පරිසරයට අනුගත වෙමින් එකම කොටි අතර වුවද යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බවයි. පසුගිය වසරවල සිදු වූ කොටි මරණ බොහෝමයක් සිදු වී තිබුණේ යටියන්තොට, නාවලපිටිය, මස්කෙළිය, නල්ලතන්නිය වැනි මධ්‍යම කඳුකරයේ මිනිස් ජනාවාසයන්හිදීය. එසේම ශ්‍රී ලංකාවේ ජානමය විකෘතිතාවන්ට ලක් වූ අතිශය දුර්ලභ කළු කොටියා පවා මරණයට පත් වූයේද කඳුකර පෙදෙස්වලිනි.

ලොව අන් රටවල් හා සසඳන කල ශ්‍රී ලංකාවේ විවිධ පෙදෙස්වල කොටි විශාල වශයෙන් අන් සතුන් සමඟ තම ස්වාභාවික වාසස්ථාන බෙදාගනිමින් ජීවත් වෙති. කොටියා එසේ සහජීවනයෙන් ජීවත් වුවද දුටු තැන මරාදැමීමට පුරුදු වීම මෙන්ම මදු ඇටවීම සිදු කරන්නේ මේ විලෝපිකයාගේ වටිනාකම තේරුම් නොගැනීම නිසාය. පරිසරවේදීන් පවසන්නේ ශ්‍රී ලංකාවේ කොටි මරණවලින් 60%ක්ම සිදුවන්නේ මදුවලට හසු වීමෙන් බවයි. ඒවා ඍජුව කොටියන්ට අටවන මදු හෝ වෙනත් සතුන්ට අටවන මදුය. කොටින්ගේ අවයව ගැනීමට වස විස දී හෝ වෙඩි තැබීම් හරහා මරණයට පත් කරන අවස්ථාද ඇත. මේ පිළිබඳ අධ්‍යයන කරන පර්යේෂකයන් පවසන්නේ කොටියාගේ මරණ අනුපාතයත් සමඟ කොටියන්ගේ ඉපදීම අඩු හෙයින් කොටි සංරක්ෂණය ප්‍රමුඛව සිදු කළ යුතු කාර්යයක් බවයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division