ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති ජාතික උද්‍යාන අතරින් පැරණිතම වනජීවී රක්ෂිත භූමියක් ලෙස විල්පත්තුව හැඳින්විය හැකිය. වනසතුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනයෙහිලා රාජකාරිමය කටයුත්තක් සඳහා පැමිණි අපි මේ වනගත බිමේ ගත කළ දින කිහිපයට නැවුම් සිදුවීම් කොපමණක් නම් අත්දුටුවමුද?
මේ මොහොතේ මා අබිමුව සිදු වන්නේද එබඳුම සිදුවීමකි. මා අබියස මේ රඟ දෙන්නේ වන්දෝ යුවළකි. ඔවුන් මේ මොහොතේ ඉන්නේ ප්‍රේමය නමැති හුයෙන් වෙළීගත් වනමය. ඉදිරිපස දෑත් එකතු කර වැඳගත් ගමන් පසු වන මේ අයට ‘වන්දා’ යන නම දීම අතිශය සාධාරණය. එනම්: ආලයෙන් මුසපත් වන මේ අවස්ථාවේදීවත් මොවුහු තම වැඳුම් මුද්‍රාවෙන් සකස් කරගත් ඉදිරි අත් ඒ අයුරින්ම තබාගත් වනම පසු වෙති. වන්දෝ එක එක පාටින් බාහිර පරිසරයේ ජීවත් වෙති. ඔවුන්ගේ ප්‍රේමාලිංගන රැඟුම් දෙස බලා සිටීමේදී පැහැදිලි වන කාරණයක් වන්නේ එය ඒකාකාරි වූ කාර්යයක් බවයි. ගැහැනු වන්දා ඉදිරියේ පිරිමි වන්දා නැටීම සහ ඇයගේ පසුපසින් පැමිණ පිටුපස ගාත් නමා වන්දනීයව ඇයගේ සිරුර මතට ගොඩ වීම, යළිත් බැසවිත් නැටීම, යළිත් ගොඩ වීම යන කාර්යය දෙස බලා සිටීමේදී හැඟෙනුයේ ඔවුන් තවමත් ඒකමතික වූ තීරණයකට පැමිණ නැති බවයි.
පිරිමි වන්දාගේ නර්තනයෙන් සිත පිනාගිය ගැහැනු වන්දාද වැඳගත් වනම පෙම්වතා දෙස බලා හිඳිනුයේ, තාවකාලිකව සොයාගත් තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ට ගැළපෙන්නේදැයි පූර්ව පරීක්ෂාවක නිරත වන සැටියක් ඒත්තු ගන්වන්නට මෙනි. පෞරුෂය පෙරදැරිව පෙම්වතිය ඉදිරියේ රැඟුම් රඟන පෙම්වතාගේ සිතත්, පිරිමි රංගනයෙන් දපනය වැටී පෙම්වත්ව ඉඟි බිඟි පාන ගැහැනු සිතත් මේ වේලාවේ මත්ව ඇත්තේ රාගයෙනි. එහෙත් මේ රාගයේ ද කෙළවර අත් වන්නේ දුකමැයි. මේ සත්ත්වයන් වෙත මේ කාරණය වෙන වෙනම තේරුම් කර දීම අසීරු වූ කටයුත්තක් වුවත්, මේ අනඟ රැඟුමේ අවසන පිරිමියාට නම් එහි යථා ස්වරූපය අවබෝධ වනු නියතය.
මෙතුවක් පෙර පෙම් රැඟුම් රඟා වෙහෙසුණු මේ දෙදෙනා එක් තීරණයකට බැසගත්තේ ඕනෑම දෙයක අවසානයක් තිබිය යුතු බව වටහාගෙනය. එහෙත් ඒ අවසානය පිරිමි වන්දාගේද අවසානය බව ඔහු මින් පෙර දැන නොසිටින්න ඇත. දෙදෙනාම රැඳී සිටි මයිල ගසේ අතු අතර සහ කඳේ ඔබ-මොබ කළ සක්මන් ඉරියව්වලින්ය. වන්දන් දෙදෙනාම මයිල ගසට ආසන්නයේ තිබූ අපගේ කූඩාරමේ කණුවක් සුදු පාටින් දිස් වන පසුබිමක් තෝරාගෙන ඒ කරා ඇදී ආවේ මේ දුර්ලභ වූ දැකුම හොදින් බලා ගන්නැයි අප වෙත ඉඟි පාමිනි.
කූඩාරම් කණුව දිගේ උඩටත්, පහළටත් ගිය මේ පෙම්වතුන් යුවළ තම සුවැති බිම ආරක්ෂිත බව පසක් කරගැනීමෙන් පසු ඒ මධ්‍යයේ නතර විය. යළිත් පෙම්වතිය වටා නර්තනශීලිව වටයක් ගිය වන්දා එක් වරම ඇයගේ පසුපසට පැමිණ නතර විය; ඉක්බිති පසුපස ගාත්‍රා යුගල ක්‍රමානුකූලව නවා රිද්මයානුකූලව ඉදිරි ගාත් යුගල එකතු කරගෙන, මැද ගාත්‍රා යුගලින් පෙම්වතියගේ බඳ පෙදෙස තදින් ග්‍රහණය කරගත්තේය.
එක්වරම ඇයගේ කොකු දෙකක් හා සම වූ මුඛ පිහිටුමට පිරිමි වන්දාගේ හිස හසු විය. තම පිට මත සිටින පිරිමි සත්ත්වයා දෙස බිම සිටින ගැහැනු වන්දා විසින් උඩු අතට හිස හරවා බලා ගත් වනම පිරිමි සත්ත්වයාගේ හිස තදින් ග්‍රහණය කර ගත්තාය. එසේ වුවත් පිරිමියාට වේදනාවක් නැති හැඩකි. ඔහු සිටින්නේ වේදනාවක් දැනෙන මානයක නොවන හැඩකි. සියලු දුක් දෝමනස්සයන් පහව ගිය සොඳුරු චිත්තාවලියකට පෙරළුණු සිත රාගයෙන් මත් වී අහවරය. රාග සිත සියලු දුක් දොම්නස් යට කරගෙන අහවරය. පළමුව එක් කොටසක්, ටික වේලාවකින් තවත් කොටසක් ආදි වශයෙන් විටින් විට කොටස් කඩාගැනීම නිසා අවසානයේ ඉතිරි වූයේ පිරිමි වන්දාගේ හිස නැති කවන්දය පමණකි. ඒත් රාගයේ තරම රාගි සිතිවිල්ලෙන්ම මියගිය පිරිමි වන්දා තවමත් ඉන්නේ ගැහැනු වන්දාගේ බඳ තමන්ගේ මැද ගාත්‍රා යුගලින් දැඩිව අල්ලාගත් වනමය. ගැහැනු වන්දාටත් වගේ වගක් වත් නැත. ඇයත් සිටින්නේ ඒ ඉරියව්ව ගැන සතුටින් මෙනි. නැතිනම් මියගිය සහකරුගේ හිස සුන් කවන්දය පසෙකට කර මෙතැනින් නික්ම යා යුතු නොවේද?
පිරිමි වන්දෝ පරිණත වත්ම මේ කියන සංසිද්ධියට මුහුණ දීමට සිදු වන හෙයින් සොබාදහම වැඩිපුර පිරිමි වන්දන් උපදවන්නත්, ඊට සාපේක්ෂව ගැහැනු වන්දන් අඩු ප්‍රමාණයක් බිහි කරන්නත් හැම විටම වග බලා ගනී.
සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික