Home » දෙවියන්ට කැප කළ බිම්ගෙය හරහා සුළං කපොල්ලේ දුම්රියපොළට

දෙවියන්ට කැප කළ බිම්ගෙය හරහා සුළං කපොල්ලේ දුම්රියපොළට

by Mahesh Lakehouse
January 18, 2025 12:31 am 0 comment

නානුඔය දක්වා දුම්රිය මඟේ බොහෝ දෙනකු නොදන්නා අසිරිය අපි පසුගිය සතියේ හඳුන්වා දුන්නෙමු. උඩරට දුම්රිය මඟේ වඩාත් ආකර්ෂණීය දසුන් දැක බලා ගත හැකි වන්නේ නානුඔයෙන් පසුවය. එහෙත් බොහෝ දෙනා නොදන්නා සංචාරක ස්ථාන මෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට වටිනාකමක් සහිත බොහෝ දේ හමු වන්නේ නානුඔය දුම්රිය ස්ථානයෙන් පසුවය. නානුඔයෙන් පසු හමුවන පැරකුම්පුර උප දුම්රිය ස්ථානය පසු කර කි.මී. 5ක් පමණ දුම්රිය ගමන් කළ විට දකුණු පසින් ඈතින් දිස් වන දිය ඇල්ලකි. එය වර්ෂා කාලයට පමණක් දර්ශනය වන, වන මැද සැඟවුණු දිය ඇල්ලකි. මේ දිය ඇල්ල ගැන බොහෝ දෙනකු නොදන්නා බවද මෙහිදී පැවසිය යුතුය. මේ දිය ඇල්ල පසු කර තවත් කිලෝමීටර එකහමාරක් පමණ ගමන් කළ විට ඒ පෙදෙසින්ම හමු වන්නේ අලංකාර එල්ජින් දිය ඇල්ලයි.

එල්ජින් දිය ඇල්ල දැක ගත හැක්කේ දුම්රියේ ගමන් කිරීමේදී පමණක් බවද මෙහිදී පැවසිය යුතුය. වර්ෂා කාලයට පැරකුම්පුරින් පසු හමුවන ප්‍රධාන දුම්රිය ස්ථානය වන්නේ අඹේවෙල වන අතර, උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම ගමන් කාලයක් ගත වන දුම්රිය ස්ථාන දෙක වන්නේ නානුඔය හා අඹේවෙලයි. ඒ සඳහා සාමාන්‍ය ගමන් කාලය විනාඩි 33ත් 35ත් අතර වනු ඇත.

අඹේවෙලින් පසු හමු වන්නේ මෙරට මුහුදු මට්ටමින් උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන පටිටිපොළ දුම්රිය ස්ථානයයි. මීටර් 1,891ක් හෙවත් මුහුදු මට්ටමේ සිට අඩි 6,204ක් උසින් පිහිටි පට්ටිපොළ දුම්රිය ස්ථානයට හතර වටින්ම පෙනෙන්නේ එක යායට විහිදී ගිය කඳු යායකි. ඊට මඳ දුරකින් SUMMIT LEWEL නාම පුවරුව දුම්රිය වම සහ දකුණ දෙපැත්තේම දක්නට ඇති අතර, ඒ දෙපසින්ම මෙරටට ආවේණික ශාක රැසක්ම දක්නට ලැබේ. වසරේ වැඩි කාලයක් අලංකාර පුෂ්පයන්ගෙන් එම ප්‍රදේශය පැතිර යනු ඇත.

උඩරට මාර්ගයේ රක්ෂිත වනාන්තරයේ ශ්‍රී ලංකාවටම උරුම ආවේණික මහරත්මල මෙන්ම අපට ආවේණික යෝධ මීමන ශාක විශේෂයක් ද දැක ගත හැකිය. මේ රක්ෂිතයන්හි දුම්රිය ගමන් සඳහා පමණක් අවසරය තිබේ.

තොර­තුරු සපයා දුන් ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැ­දුරු ඒ.ජී.එම්. කරු­ණා­දාස (දකුණේ) හා රියැ­දුරු සහා­යක ටී.ඒ. වසන්ත පෙරේරා

තොර­තුරු සපයා දුන් ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැ­දුරු ඒ.ජී.එම්. කරු­ණා­දාස (දකුණේ) හා රියැ­දුරු සහා­යක ටී.ඒ. වසන්ත පෙරේරා

පට්ටිපොළ අවටින් හැළි වඳුරන් දක්නට ඇති අතර, ඇතැම්විට දිවියන්ද ඔබ-මොබ ඇවිදිනයුරු රාත්‍රී තැපැල් දුම්රියේ රියැදුරන් දැක තිබේ.

පට්ටිපොළ මුදුනින් පසු මෙතෙක් හති දමමින් කඳු ඇදගෙන ආ දුම්රිය පල්ලම් බැසීම අරඹයි. එය සාමාන්‍ය දුම්රිය රියැදුරකුට කළ නොහැකි කාර්යයක් වන අතර, දීර්ඝ අත්දැකීම් ඇති දුම්රිය රියැදුරන් ඒ සඳහා යොදවා ඇත.

පල්ලම් බැසීම අරඹා වැඩි දුරක් යෑමට පෙර හමු වන්නේ මෙරට දුම්රිය බිම්ගෙය අතර සුවිශේෂ බිම්ගෙයකි. ඒ පට්ටිපොළ දුම්රිය බිම්ගෙයයි. මේ දුම්රිය බිම්ගෙය හා බැඳී ඇත්තේ පුදුමාකාර අතීත කතාවකි.

මෙරට උසින්ම පිහිටි බිම්ගෙය පට්ටිපොළ බිම්‍ෙගය වන අතර එය අංක 18 බිම්ගෙය වේ. එහි දිග අඩි 1,054කි. උඩරට දුම්රිය මඟ තනන කාලයේ මේ බිම්ගෙය විශාල දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බව වාර්තා වේ. පට්ටි‍පොළ සිට පැමිණීමේදී මේ බිම්ගෙයට ඇතුළු වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. එනම්: මධ්‍යම පළාතෙනි. දුම්රිය බිම්ගෙයින් පිට වන්නේ ඌව පළාතටය. එනම් සමන් දෙවියන්ගේ අඩවියේ සිට කතරගම දෙවියන්ගේ අඩවියටය. මේ බිම්ගෙය සෑදීම ආරම්හ කළ දා සිට දුෂ්කරතා මතු වූ විට කම්කරුවන් විශේෂ දේව පූජාවක් පවත්වා කුඩා පන්සලක් තනා පින්කම් කර බාරහාර වූවාට පසු එහි කටයුතු නිම කිරීමට හැකි වූ බව ඉතිහාසයේ දැක්වේ.

කෙසේ වුවත් පසුකාලීනව දුම්රියෙන් ගමන් ගත් මඟීන් කිහිප දෙනකුම මේ බිම්ගෙය තුළදී දුම්රියෙන් ඇද වැටී හෝ බිම්ගෙයි බිත්තිවල හැපී හෝ මියගොස් තිබේ.

මේ බිම්ගෙය හරහා දුම්රිය රැගෙන යන රියැදුරු මහත්වරුද නොයෙක් අවස්ථාවල, සුදු ගෝණෙකු දුම්රිය මඟ දිගේ ගමන් කර අතුරුදන් වන ආකාරය එසේත් නැත්නම් මහලු අයකු දුම්රිය පැමිණෙන විට බිම්ගෙයට ඇතුළු වී අතුරුදන් වන අන්දම වැනි අද්භූතජනක සිදුවීම් දුටු බවද සඳහන්ය.

මේ නිසා දුම්රිය මඟට නෙරා තිබුණු ගල් පර්වතය 1951 වසරේදී කඩාදමනු ලැබුවේය. එහෙත් එය ඉංග්‍රීසි ජාතිකයන්ගේ දැනුම ඉක්මවා යන්නට අසමත් විය. ගල් පර්වතය කඩා ඉවත් කළ ස්ථානයෙන් වර්ෂා කාලයේදී මහා ජල කඳක් බිම්ගෙය තුළට කාන්දු වීමට පටන් ගත් අතර, මේ හේතුවෙන් ඇතැම් වර්ෂාකාලවල බිම්ගෙය තුළ ජල මට්ටම අඩි 4ක් පමණ ඉහළ නඟින්නට විය. ඊට පිළියමක් ලෙස, යකඩ සහ කොන්ක්‍රීට් යොදා ජල කාන්දුව වැළැක්වුවද එයින් තවත් අනතුරු වැඩි වන තත්ත්වයක් තිබිණි.

දිගින් දිගටම මේ තත්ත්වය හරහා ගැටලු මතු වූ අතර, ඊට ස්ථිර විසඳුමක් දිය යුතු බවට තීරණය කළ දෙපාර්තමේන්තුව එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ප්‍රියාල් සිල්වා මහතාට (පසුව ඔහු දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයට පත් විය) මේ වගකීම පැවරීය. ඒ 90 දශකයේදීය.

ඒ අනුව දුම්රිය සේවකයන් බිම්ගෙය පිළිසකර කිරීමට පැමිණියද, බිම්ගෙය තුළ රාජකාරි කිරීමට සේවකයෝ එතරම් කැමැත්තක් නොදක්වන ලදි. ඒ දෙවියන් කෝප වී ඇතැයි වූ සිතිවිල්ල නිසාය. බිම්ගෙය තුළට වැඩ අරඹා නොබෝ වේලාවකින්ම පෙර කී විශ්වාසය සේවකයන් තුළ තහවුරු කරමින්, බිම්ගෙය තුළ නොවිය යුතු අනතුරකින් සේවකයෙක් බරපතළ තුවාල ලැබීය.

මේ සිදුවීමෙන් අනතුරුව සේවකයන් බිම්ගෙයට පිවිසීමට පවා අකැමැති වූ අතර, ඔවුන් පැවසුවේ දෙවියන්ගෙන් අවසර ගෙන කටයුතු කළ යුතු බවයි. පසුව අසල තිබූ පැරණි දේවාලයට ගිය සියලු නිලධාරීහු සිය කාර්යය සාර්ථකව ඉටු කිරීමට අවසර ඉල්ලා බාරයක් වූහ.

ඉන් අනතුරුව බිම්ගෙයි කටයුතු සම්පූර්ණ කරගැනීමට හැකි වූ නිසා, පෙර වූ බාරය නිදහස් කිරීමට දේවාලය අසල බිම්ගෙයකට ඇතුළු වන පරිදි ආරුක්කුවක් ඉදි කරන ලදි. අදත් එය එලෙසින්ම පවතී. පසුව බිම්ගෙයට වතුර කාන්දු වූ කොටසේ ඇතුළු බිත්තිවලට කොන්ක්‍රීට් මිශ්‍රණයක් අධි පීඩනයකින් ඇතුළත් කර ජලය ඒම වළක්වන ලදි. මේ නිසා පට්ටිපොළ දුම්රිය බිම්ගෙය ‘දෙවියන්ට කැප කළ බිම්ගෙයක්’ ලෙසද හැඳින්වේ. මේ බව අපේ සංචාරකයන් කී දෙනෙක් දැන සිටියාද?

පට්ටි‍පොළ බිම්ගෙයින් එළියට පැමිණි විට වැලිමඩ සානුව අලංකාරවත් ලෙස දැකගත හැකිය. පට්ටිපොළට පසුව හමු වන ඔහියද සංචාරකයන්ගේ සිත් ගත් දුම්රිය ස්ථානයකි. ඔහිය දුම්රිය ස්ථානයෙන් බැස ලෝකාන්තය බලා යන සංචාරකයෝ සිය ගමන් මඟ සකසාගනිති.

එසේම ඔහිය දුම්රිය ස්ථානය හා ඉන් පසු හමු වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක ලෝකයේ දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම දුම්රිය බිම්ගෙවල් සංඛ්‍යාවක් ඇති දුම්රිය ස්ථාන දෙක බව ඔබ දැන සිටියාද? එම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය බිම්ගෙවල් 14ක් දැක ගත හැකිය. බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ උමං සෑදීමේදී අංක 26 බිම්ගෙය කඩා ඉවත් කිරීමට හැකියාව තිබුණද එය සිදු නොකළේ බිම්ගෙවල් 13ක් තිබීම නුසුදුසු බවට වූ මතය නිසාය.

අංක 26 දරන බිම්ගෙය දිගින් අඩුම දුම්රිය බිම්ගෙය වන අතර උසින් අඩුම දුම්රිය බිම්ගෙය ද එය වේ. එහි දිග මීටර් 20.12කි. මෙය වට්ටක්කා බිම් ගෙය ලෙස ද හඳුන්වනු ලැබේ.

එමෙන්ම මේ මාර්ගයේ බිම්ගෙවල් 3ක් දක්නට ඇත්තේ එක් පේළියකට වන්නය. අංක 30 බිම්ගෙය සම්පූර්ණයෙන්ම දුම්රිය ගමන් කර අවසන් කරන්නට පෙර අංක 31 බිම්ගෙයට දුම්රිය ඇතුළු වේ. එමෙන්ම අංක 31 බිම්ගෙය සම්පූර්ණයෙන්ම දුම්රිය ගමන් අවසන් කරන්නට පෙර අංක 32 බිම්ගෙයට දුම්රිය ඇතුළු වේ. මේ බිම්ගෙවල් 14හිම බිම්ගෙයට ඇතුළු වන මුහුණත් එකිනෙකට වෙනස්ය. ඒ බවද බොහෝ දෙනා නොදන්නා බව කිව යුතුය.

ඔහියට පසුව හමු වන ඉදල්ගස්හින්න දුම්රියපොළ ශ්‍රී ලංකාවේ සුළං කපොල්ලක සාදා ඇති එකම දුම්රිය ස්ථානයයි. එය ශ්‍රී ලංකාවේ දකුණු කොටස සහ නැඟෙනහිර කොටස වෙන් වන කඳු මුදුනේ පිහිටා තිබේ. නිතරම මීදුම සහ සීතල සමඟ ඉදල්ගස්හින්නේ සිටිය යුතුය. දකුණින් දිස් වන වලවේ ගංගා නිම්නයට ඇත්තේ වියළි කලාපීය දේශගුණයකි.

ඉදල්ගස්හින්න යනු ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ හමු වන සුවිශේෂම දුම්රිය ස්ථානයකි. දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ දෙපසට දළ බෑවුම් දෙකක් මත පිහිටි පටු කඳු මුදුනක් මතය. එනිසාම මේ දුම්රිය ස්ථානයේ වහලයේ පල දෙකට වැටෙන වැසි වතුර දෙකට බෙදී ගලාගෙන යන්නේ දෙපස බෑවුම් දෙකකටය. එක පලයක වතුර එක බෑවුමකට ගලා ගොස් එහි දිය දහරාවලට එක්වන අතර, අනෙක් පලයට වැටෙන වැසි වතුර ඉදිරි පස බෑවුමට ගලා ගොස් එහි දිය දහරාවලට එකතු වේ. මේ නිසා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ප්‍රකට වී ඇත්තේ එක (ඉදිරි) පලයක වැහි වතුර මාතොටිල්ල ඔය ලෙස ගලා ගොස් මහවැලි ගඟටත්, අනෙක් (පසු පස) පගයේ වැහි වතුර වේලි ඔය ලෙස සමනල වැව හරහා වලවේ ගඟටත් එකතු වන සුවිශේෂ දුම්රිය ස්ථානය ලෙසටය.

එසේම, දුම්රිය ස්ථානයට පසුබිම් වන දර්ශන තලයද දකින්නන් ඒ වෙත ආකර්ෂණය කරවන්නකි. ඉදල්ගස්හින්න ඇත්තෙන්ම නැරඹුම් ස්ථානයකි (View Point). ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයක පිහිටි එකම නැරඹුම් ස්ථානය වන්නේ ඉදල්ගස්හින්නයි. ඒ බවද උඩරට දුම්රියේ ගමන් ගන්නා බොහෝ දෙනා නොදන්නා කරුණකි.

හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අවට තංගමලේ අභයභූමිය නිසා වපරිසරය රැකී තිබේ.

එතැනින් පසුව හමු වන කිතල්ඇල්ල දුම්රිය ස්ථානය යටින් දිය ඇල්ලක් කඩාහැලෙයි. එවන් දුම්රිය ස්ථානයක් ඇත්තේද කිතල්ඇල්ලේ පමණි. මඳ දුරක් ගිය විට කිතල්ඇල්ල දිය ඇල්ල දිස් වේ. ඇල්ල දක්වාම හමු වන්නේ දෙපසින්ම සුන්දර දසුන්ය. ඉන් පසු ඇල්ල දුම්රිය ස්ථාන හමු වන අතර, එහිදී විදේශීය සංචාරකයන් රැසක්ම දුම්රියෙන් බැස යෑම දැකගත හැකිය.

මෙරට ඉංග්‍රීසි භාෂාවෙන් පළමු නිවේදනය කරනු ලබන එකම දුම්රිය ස්ථානය ඇල්ල පමණි. එතැනින් පසුව හමු වන දෙමෝදර දුම්රිය ස්ථානයට පෙර හමු වන බිම්ගෙයත් දෙමෝදර ආරුක්කු නවයේ පාලමත් සුවිශේෂ වන අතර, ඉන් පසු දෙමෝදර දුම්රිය ස්ථානයට යටින් මාර්ගය ගමන් කරනා ‘රේල් ගැටය’ හමු වේ. එතැනින් පසු හමු වන කළු පැහැති බට පාලම නියම දෙමෝදර පාලම බවද බොහෝ දෙනෙක් නොදනිති.

කොළඹ බදුල්ල මහා මාර්ගය දිස් වන්නේ ඉන් පසුවය. මෙරට දුම්රිය හා බස් රථ මාර්ගයක ඇති සුවිශේෂ කතාවක් අපට ඒ බස් හා දුම්රිය මාර්ගය කියා දෙයි. කොළඹ බදුල්ල දුම්රිය බදුල්ල දෙසට ගමන් කරන විට බස් මාර්ගයේ බස් රථ බදුල්ලට ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටය. ඒ බස් හා දුම්රිය මඟේ පිහිටීමයි.

බදුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ අංක 43 බිම්ගෙය පසු කරමින් බදුල්ලෙන් ගමන අවසන් කරන බදුලු දුම්රිය ගමනේ දන්නා දේට වඩා නොදන්නා දේ ඇතුළත් බව බොහෝ පාඨකයන්ට මෙයින් වැටහී යනු ඇත.

කොළඹ බදුල්ල දුම්රිය කාල­ස­ට­හන
පෙර­වරු 5.30 (දුන්හිඳ ඔඩිසි හෝ ඇල්ල ඔඩිසි) (සඳුදා හා බදාදා ධාව­නය නොවේ)
පෙර­වරු 5.55 (පොඩි මැණිකේ)
පෙර­වරු 8.30 (උඩ­රට මැණිකේ)
පෙර­වරු 9.45 (ශීඝ්‍ර­ගාමී)
රාත්‍රී 8.30 (රාත්‍රී තැපැල් දුම්රිය)

 

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division