Home » කලාවට අමතරව පොඩි බිස්නස් වැඩක් කරගෙන යනවා

කලාවට අමතරව පොඩි බිස්නස් වැඩක් කරගෙන යනවා

නිශී නිමේෂා

by thanushika
January 18, 2025 12:30 am 0 comment

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන බේකරි ගෙදර ටෙලි නිර්මාණයේ රාණිගේ භුමිකාවට පණ පොවන ඇය ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන සුපුන් රත්නායකගේ ජුරාලියා ටෙලි නිර්මාණයෙන් ද ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනා සිටින්නීය. මහරජ ගැමුණු ටෙලි නිර්මාණයේ විහාරමහා දේවියගේ තරුණ විය නිරූපණය කිරීමත් සමඟින් තම දිවියට අමතක නොවන අත්දැකීමක් එක්කර ගත් ඇය නමින් නිශී නිමේෂාය. ලක්ෂ්මන් හිල්මිගේ අතිශයින් ජනප්‍රිය ‘මාලතී නුඹයි නුඹටත් ආදරෙයි තමයි‘ ගීතයේ නව රූප රචනාවට රංගනයෙන් දායක වන ඇය අද අප හා කතාබහට එක් වූවාය.

මේ දවස්වල ඔබ කාර්යබහුල චරිතයක් බවට පත්වෙලා. කොහොමද ජීවිතේ?

ගොඩක් හොඳයි. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන බේකරි ගෙදර ටෙලි නිර්මාණය ‘බ්ලැක් කොමඩි‘ ගණයට අයත් එකක්. එහි මං දායක වෙන්නේ රාණි කියන ගෘහ සේවිකාවගේ චරිතයට. මීට කලිනුත් මං ‘නාටක මාරයි‘ කියන කොමඩි නාට්‍යයට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශය වන සුපුන් රත්නායකගේ ජුරාලියා ටෙලි නිර්මාණයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මාත්‍රා කියලා පොහොය කතාවකට ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. නුරාමනී කියන ටෙලි නිර්මාණයත් එන්න තියෙනවා. ඒක අසූව දශකය පාදක කරගෙන නිර්මාණය වුණු කතාවක්. ඒ වගේම බ්‍රයිඩ්ල් නිරූපණයේත් යෙදෙනවා.

මේ දිනවල වේදිකාවත් එක්කත් ඔබේ ලොකු සම්බන්ධයක් තියෙනවා නේද?

ඔව්. සුදත් සමරදිවාකරගේ ‘පිස්තෝලෙ නෑ‘ කියන වේදිකා නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල ඒකෙ පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. ලබන 25 වැනිදා එහි පළමු දර්ශනය වේදිකාගත වෙනවා. කාලීන තේමාවක් යටතේ නිර්මාණය වුණු වේදිකා නිර්මාණයක් විදිහට ඒක ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා.

ඔබ අවුරුදු කුමරිය තරග රැසකට සම්බන්ධ වෙලා ජයග්‍රහණ රැසක් ලබපු කෙනෙක්?

ඔව්. 2015 වසරේ සිට මේ දක්වා බැලුවොත් අවුරුදු කුමරිය තරග තිස් එකකට සහභාගී වෙලා ඉන් පහළොවක් ජයග්‍රාහණය කරල තියෙනවා. සියනෑ අවුරුදු කුමරිය, කොහොඹ අවුරුදු කුමරිය, 4ever අවුරුදු කුමරිය, ලක්හඬ ඇතුළු අවුරුදු කුමරිය තරග 15ක ජයග්‍රාහිකාව වෙලා තියෙනවා. ඒ වගේම අයි. ටී. එන්. , සී. එස්. එන්. තරගවල අවසන් පස් දෙනා අතරට ඇවිත් තියෙනවා. ඒත් එක්කම තමයි රංගනයට ආරාධනා ලැබෙන්නෙත්.

එතකොට ඔබේ කලාවට පිවිසීම සිදුවෙන්නේ?

ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු සම්පත් නානායක්කාරගේ රිදී සිත්තම් ටෙලි නිර්මාණය තමයි මගේ පළමු රංගන අත්දැකීම වෙන්නේ. ඊට පස්සේ සඳුන් රාජකරුණාගේ පැහැසරා ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හිරු නාළිකාවේ විකාශය වුණු මහරජ ගැමුණු ටෙලි නිර්මාණය මගේ රංගන ජීවිතේට සුවිශේෂී අත්දැකීම් රැසක් එකතු කළා. එහි විහාරමහා දේවියගේ චරිතයට රඟපෑවේ ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝක මාලා. ඇයගේ තරුණ විය ඒ කියන්නේ විහාරමහා දේවියගේ තරුණ විය නිරූපණය කිරීම මගේ රංගන ජීවිතේ විශේෂ කඩඉමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඓතිහාසික නිර්මාණයකට සම්බන්ධ වීම වගේම ප්‍රවීණ නළු නිළියන් රැසක් සමඟ රංගනයේ යෙදීම මට ලොකු අත්දැකීමක් වුණා. ඊටත් පස්සේ බුද්ධික ලොකුකැටියගේ ‘හපන්නු අපි අපේ රාජ්‍යයේ’ ටෙලි නිර්මාණයේ ශ්‍රියා ටීචර්ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒ අතරේ ‘සපත්තු මල සහ ප්‍රේමය’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. අඛිල සඳකැලුම් එක්ක එහි ප්‍රධාන භූමිකාව රඟපාමින් අවුරුද්දක් විතර ලංකාව පුරා ගියා.

නුරාමනී කියන්නෙත් ඔබට විශේෂ ටෙලි නිර්මාණයක් නේද?

අසූව දශකයේ කතාවක් තේමා කරගෙන හදපු නිර්මාණයක්. ඒකෙ මං වලව්වක කුමාරිහාමි කෙනෙකුට ඉන්නේ. ඒක ඉදිරියේදී විකාශය වෙන්න තියෙන එකක්. තවත් වැඩ දෙක තුනකටම ආරාධනා ලැබිලා තියෙනවා. ටෙලි නිර්මාණයකට වගේම ටෙලි චිත්‍රපටයකටත් ආරාධනා ලැබිල තියෙනවා. පහුගිය දවස්වල මියුසික් වීඩියෝ කිහිපයකට රංගනයෙන් දායක වුණා. ලක්ෂ්මන් හිල්මි අයියගේ මාලතී නුඹයි ගීතය වගේම ඔහුගේම මල් කඩ කඩ ඉන්න කෙල්ලේ ගීතයටත් රංගනයෙන් දායක වුණා. ඔහුගේ තවත් ගීත දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා.

නිමේෂා ව්‍යාපාරිකාවක් විදිහටත් ප්‍රසිද්ධයි නේද?

කලාවට අමතරව මං පොඩි බිස්නස් වැඩ ටිකකුත් කරගෙන යනවා. සපත්තු ඩිසයින් කරන ෆැක්ට්‍රි එකක් වගේම ඇඳුම් නිර්මාණය කරන ව්‍යාපාරයකුත් කරගෙන යනවා.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division