Home » ඩිජිටල් හැඳුනුම්පත් දත්ත පද්ධතියට ඇතුළු වීමට ඉන්දීය සමාගම්වලට අවසරයක් නෑ

ඩිජිටල් හැඳුනුම්පත් දත්ත පද්ධතියට ඇතුළු වීමට ඉන්දීය සමාගම්වලට අවසරයක් නෑ

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment

ජාතික හැඳුනුම්පත ති​බියදී ආණ්ඩුව ඩිජිටල් හැඳුනුම්පතක් සකස් කිරීමට සූදානම් වන්නේ ඇයි?

මෙය අද ඊයේ ආරම්භ කළ කාර්යයක් නොවෙයි. මේ පිළිබඳ අවශ්‍යතාව 2012 වර්ෂයේ සිට හඳුනාගෙන තිබුණා. ඒ සම්බන්ධයෙන් රට තුළ විවිධාකාරයෙන් කතාබහ ඇති වී තිබුණා. එහෙත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට පැවති පාලනාධිකාරියට නොහැකි වී තිබුණා. එවැනි පසුබිමකයි අප මෙය යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කරමින් ඉන්නේ.

ඩිජිටල් හැඳුනුම්පතක් තිබීමේ ඇති වැදගත්කම කුමක්ද?

පුද්ගලයකුගේ අනන්‍යතාව ඔප්පු කිරීමට ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය සාධකයක් වී තිබෙනවා. එහෙත් ඇතැම් අවස්ථාවල එමඟින් තම අනන්‍යතාව ඔප්පු කිරීමට යන විට විවිධ ගැටලුවලට මුහුණදීමට ජනතාවට සිදු වනවා. ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණය කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ මේ අපහසුතා මඟහරවමින් ජනතාවට මේ හරහා සිදු කරන කටයුතු පහසුවෙන් කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමයි.

අපි බැංකුවකට ගිහිල්ලා ගිණුමක් විවෘත කරන්න ගියත් වෙනත් අයකුගේ නමට ඔප්පුවක් පවරන්න ගියත්, අනන්‍යතාව ඔප්පු කරන්න එක එක දේවල් ඉදිරිපත් කරන්න වෙනවා. උදාහරණයකට හැඳුනුම්පත, ඇඟිලි සලකුණු, අත්සන… ආදි විවිධ දේ සිදු කිරීමට අපට සිදු වනවා. මේ එක එක ලේඛන ඉදිරිපත් නොකර ඒ අනන්‍යතාව තහවුරු කිරීම ඩිජිටල් මාධ්‍ය ඔස්සේ කරන එක තමයි මෙහිදී සිදු වන්නේ. තම අනන්‍යතාව ඔප්පු කිරීමට නූතන ලෝකයේ තිබෙන හොඳම ක්‍රමය වන්නේ මේ ඩිජිටල් හැඳුනුම්පත් භාවිතයයි.

මේ ඩිජිටල් අනන්‍යතාව තහවුරු කිරීම සිදු වන්නේ කවරාකාරයටද?

අනන්‍යතාව ඔප්පු කිරීමේ ක්‍රියාවලියේදී මෙමඟින් ක්‍රම තුනක් අපි යෝජනා කරනවා. ඒ, ඔහුගේ හෝ ඇයගේ ඇඟිලි සලකුණ, මුහුණේ හැඩරුව හා ඇසේ කළු ඉංගිරියාව. ඕනෑම ශ්‍රී ලංකා පුරවැසියකුගේ අනන්‍යතාව ඔප්පු කරන්න ඉදිරියේදී පාවිච්චි කරන්නේ මේ දේවල්. එමඟින් වෙනත් කිසිවකුට වෙනත් අයකුගේ අනන්‍යතාවෙන් පෙනී ඉන්න පුළුවන් අවස්ථාව මඟහැරෙනවා. වංචා, දූෂණ, අක්‍රමිකතා පමණක් නොවෙයි අපරාධ වළක්වාගන්නත් එමඟින් හැකියාව සැලසෙනවා.

මේ මෘදුකාංගය නිර්මාණය කිරීම සඳහා කොපමණ මුදලක් වැය වනවද?

මේ සඳහා රුපියල් බිලියන 20කට ආසන්න වියදමක් දරන්න වේවි. මේ මුදල වැය වන්නේ මේ මෘදුකාංගය නිර්මාණය කිරීමට පමණක් නොවෙයි. මේ සඳහා විශාල තාක්ෂණික මෙවලම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඇඟිලි සලකුණු, මුහුණ, ඇහේ කළු ඉංගිරියාව ආදි දේ ඉතා සියුම්ව ග්‍රහණය කළ හැකි උසස් තාක්ෂණික කැමරා, ස්කෑනර් අවශ්‍ය වනවා. ඒ වගේම වයිරස් ස්කෑනර් අවශ්‍ය වනවා. මේ සඳහා යන විශාල වියදම ජනතා බදු මුදලින් අය කර නොගෙන, ඒ සඳහා වියදම් දැරිය හැකි බාහිර පාර්ශ්වයක් සම්බන්ධ කරගැනීමට අප කටයුතු කළේ එනිසයි. මේ සඳහා යන වියදමින් සෑහෙන ප්‍රමාණයක් ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ සිදු වනවා.

මේ විදත් හැඳුනුම්පත හදන්නේ ජීව දත්ත පදනම් කරගෙනයි. මෙහිදී මේ සිස්ටම් එක හදන පාර්ශ්වය මේ සිස්ටම් එකට ඇතුළු වීම සඳහා පසු ප්‍රවේශ වීමක් (Back door) තබාගැනීමක් සිදුවෙනවාද? මෙහිදී එය සිදු වන්නේ කොහොමද?

මේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යෝජනා වෙලා තිබ්බේ දැනට අවුරුදු දෙකකට කලින්, රනිල් වික්‍රමසිංහ කාලයේදී. එහෙත් අපි ආවට පස්සේ ඒක තනිකර වෙනස් කළා. අපි කිව්වා මේ පද්ධතියට ඇතුළු වීම ලංකා රජයට විතරක් තිබිය යුතුයි කියලා. මෙහිදී ශ්‍රී ලංකා රජය ඉන්දීය සමාගම්වලින් බලාපොරොත්තු වන්නේ ඩිජිටල් හැඳුනුම්පතේ දත්ත පද්ධතිය ලංකාවට ඔබින ආකාරයට නිර්මාණය කර දීම පමණයි. ඩිජිටල් හැඳුනුම්පත් දත්ත පද්ධතියට ඇතුළු වීම සඳහා අදාළ ඉන්දීය සමාගම්වලට කිසිම අවසරයක් දෙන්නේ නැහැ. ජීවදත්ත රැස් කරමින් මෙය ඉදිරියට පවත්වාගෙන යන්නේ අපයි.

එහෙත් ජාතික ආරක්ෂාවට මින් ප්‍රශ්නයක් ඇති වන බවට චෝදනා නැඟෙනවා…

මේ මෘදුකාංග පද්ධතිය තුළ ඉතා හොඳ ආරක්ෂක පද්ධතියක් තිබෙනවා. ඒ වගේම මේකේ දත්ත පිටරට සමාගම්වලට හෝ වෙනත් පාර්ශ්වයකට ඇතුළු වෙලා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ජාතික ආරක්ෂාවට මේකෙන් ප්‍රශ්නයක් එනවා කියලා කියනවා නම් ඒක මිථ්‍යාවක්. එය පටු දේශපාලන වාසි ගන්න ජනතාව මුළා කිරීමක්. සමහරු මාධ්‍ය සාකච්ඡා තියලා ජනතාව බය කරන්න උත්සාහ ගන්නවා. ඔවුන් තුළ තාක්ෂණික දැනුමේ අඩුපාඩුවක් ඇති බවයි මා නම් දකින්නේ. නැති නම් මෙවැනි බොරු කතා ජනතාවට කියන්න යන්නේ නැහැ.

මේ තුළ වෙනත් දත්ත සටහන් වීමක් සිදු වනවාද?

පුද්ගල අනන්‍යතාව ඔප්පු කරන්න ඇඟිලි සලකුණු, මුහුණ, කළු ඉංගිරියාව ප්‍රමාණවත්. තම අනන්‍යතාව ඔප්පු කරන කාරණා මිසක්; තමන්ගේ තියෙන ලෙඩ රෝග, බැංකු කටයුතු පිළිබඳ විස්තර වගේ දේවල් මෙහිදී ගන්නේ නැහැ. ඒ වගේම බැංකුවල, ක්‍රිබ් එකේ කටයුතු මේ පද්ධතියට ඇතුළත් වන්නේ නැහැ.

ඇතැමුන් කියනවා මේ පද්ධතිය හරහා එක තැනකට ගියාම ඔක්කොම විස්තර ටික යනවා කියලා…

ඒක අමූලික බොරුවක්; මිථ්‍යාවක්.

අප විසින් දෙන ඇඟිලි සලකුණ මඟින් රජයට පුළුවන්ලු කවුරුහරි වැරැදි කළා කියලා බොරුවට පෙන්නන්න…

එය සහමුලින්ම මේ ක්‍රියාවලිය අඩපණ කරන්න ගොතපු මිථ්‍යාවක්; බොරුවක්. මෙය තාක්ෂණය පිළිබඳ ඔවුන්ගේ තිබෙන නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමක්. මේ අයට රැවටෙන්න එපා.

නව ඩිජිටල් හැඳුනුම්පතට අදාළ කාරණා සම්පූර්ණ වෙන්න කොපමණ කාලයක් යාවිද?

අප ඉන්දියාවත් එක්ක ඇති කරගත් එකඟතා හා කොන්දේසි පිළිබඳ සාකච්ඡා අවසන් අදියරේ පවතින්නේ. තව මාස දෙකක් වගේ ඇතුළත එය ඉවර වේවි. එතැන සිට මාස 18ක් විතර යාවි මෘදුකාංගය හදලා දෙන්න. ඊට ප්‍රථම ඊ.එන්.අයි.සී. කියන අපේ රටේ නිපදවපු මෘදුකාංගය මඟින් අප මේ කාර්යය ආරම්භ කරනවා. ඒ අනුව ලබන මාසේ මුල ඉඳන් අලුතින් එන හැඳුනුම්පත් ඔක්කොම ඩිජිටල් හැඳුනුම්පත් විදිහට ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මාස 6ක් ඇතුළත දැනට පවතින සියලු හැඳුනුම්පත් ඩිජිටලයිස් කරන්න නව වැඩසටහනක් හඳුන්වා දෙන්නත් අප බලාපොරොත්තු වෙනවා.

මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ මෘදුකාංග සමාගමකට නොදී ඉන්දියාවට දෙන්න තීරණය කළේ ඇයි?

මෙරට සමාගමකට වුණත් මොසෙඩ් කියන ඔය මෘදුකාංගය අරගෙන මේ වගේ පද්ධතියක් හදන්න පුළුවන්. මොසෙඩ් කියන්නේ ඕපන් සෝස් ප්ලැට්ෆෝම් එකක්. ඒක හදල තියෙන්නේ බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස්, නොරාඩ් වගේ ආයතන. ඒක හදලා ඔවුන් නොමිලයේ ලෝකයේ ඕනෑම රජයකට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ සමාගමකට වුණත් අරගෙන කරන්න හැකියාව තියෙනවා. එහෙත් ශ්‍රී ලංකාවේ සමාගමක් ඕක හදලා දැම්මොත් ඊට පස්සේ එන සියලු ඩිජිටල් උපකරණවලට මේ රටේ ජනතාවගේ බදු ගෙවන මුදල් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් ඒකෙන් සියයට 50ක වගේ මුදලක් ඉන්දීය ආධාරයක් මත කරන්න එතකොට අපට පුළුවන් ණය බර ගොඩක් අඩු කරන්න. ඒ ලැබෙන ආධාරවලින් අපට මේ කාර්ය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසයි ඉන්දීය සමාගමක් දෙන ආධාරවලින් උපරිම ප්‍රයෝජනය ගන්නේ.

අලුත් හැඳුනුම්පත එක්ක අංකය වෙනසක් වෙනවාද?

දැනට තියෙන හැඳුනුම්පත් අංකයේ වෙනසක් වන්නේ නැහැ. බොහෝ විට දැන් තියෙන අංකම පාවිච්චි කරන්න පුළුවන්. ඒත් අලුතින්ම දෙන හැඳුනුම්පත්වල අලුත් අංක ක්‍රමයකට එනවා. එතකොට දැන් තියෙන අංකයක් අලුත් අංකයකට පරිවර්තනය කරලා පරිවර්තන අංකයකුත් එනවා. එහෙත් දැන් තියෙන අංකය ඒ විදිහටම පාවිච්චි වෙයි.

ඩිජිටල් හැඳුනුම්පතට ඇතුළත් වන්නේ මොන වගේ තොරතුරුද?

පැරණි හැඳුනුම්පතේ සඳහන් වී තිබුණු සියලු කාරණා ඇතුළත් වෙනවා. ජීවමිතික දත්ත – එනම්: ඇඟිලි සලකුණු, මුහුණේ හැඩරුව, ඇසේ කළු ඉංගිරියාව වගේ දේවල් – එකතු වෙන්නේ ඊට අමතරවයි. ඊට පස්සේ ඕනෑම කෙනකුට තමන්ගේ ඇඟිලි සලකුණ දීලා තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්න පුළුවන්. එතකොට දැන් වගේ අයිඩින්ටි කාඩ් එක අතේ තිබීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. කිව්.ආර්. කෝඩ් එක හෝ ඇඟිලි සලකුණ හෝ දුන්නාම තමන් කවුද කියලා හඳුනාගැනීම සිද්ධ වෙනවා.

රනිල් ආණ්ඩුව ගිවිසුම්ගත වෙලා හිටපු ආයතනයට චෝදනාවක් එල්ල වී තිබුණා. ඒ අයටමද මේ ආණ්ඩුවත් මේ වැඩේ භාර දෙන්නේ?

රනිල් – රාජපක්ෂ ආණ්ඩුව දෙන්න හැදුවේ මැඩ්‍රාස් ප්‍රින්ටර්ස් කියන ආයතනයට. ඒත් ඔය කාරණා එළියට ආවට පස්සේ ඒක කරගන්න බැරි වුණා. මේ ආණ්ඩුව ඔය කියන සමාගමට මේ වැඩ් භාර දෙන්නේ නැහැ. මොකද: ඔය මැඩ්‍රාස් කියන ආයතනය කෙන්යාව වගේ රටවල්වලත් ඔය වගේ පද්ධති දාලා සෑහෙන ප්‍රශ්න ඇති වෙලා තිබෙන ආයතනයක්. නිවැරදි ටෙන්ඩර් කැඳවීමක් මඟින්, අපට පිළිගත හැකි වගේම මේ දත්ත නිර්මාණය කර තිබෙන පිළිගත් ආයතනයකට පමණයි අප මේ වැඩේ භාර දෙන්නේ.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division