Home » යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා ඝාතනය

යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා ඝාතනය

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාව අබිරහස් ගුහාවකි. මෙරට සිදු වූ බොහෝ දේශපාලන ඝාතනවලට වගඋත්තරකරුවෝ නැත. බොහෝ කුමන්ත්‍රණකාරි දේශපාලන ඝාතන අදාළ වකවානුවල බලයේ සිටි ආණ්ඩු විසින් අධිකරණයේ විනිශ්චය සඳහා යොමු කර නැත. ඊට හේතුව එම අපරාධවල පාර්ශ්වකරුවන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන් වීම විය හැකිය. අපේ රටේ ආණ්ඩු තම නිර්දෝෂිභාවය සහතික කිරීම සඳහා අපූරු ක්‍රමයක් සොයාගෙන තිබේ. එනම්: පරීක්ෂණ කොමිෂන් සභා පත් කිරීමයි. කොමිෂන් සභාව කල් ඇදෙන තරම් කිව හොත් අන්තිමට රටේ මිනිස්සුන්ට මළේ මොකාදැයි කියා වත් මතක නැත! ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වෙති. බොහෝ වටිනා මිනිසුන් මෙලෙස මරා දමා තිබේ. ඔවුන්ගේ ඝාතනවල රහස් සැඟව තිබෙන්නේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවලය. මේ අබිරහස් දේශපාලන ඝාතන පිළිබඳ පසු විපරම් කෙරෙන ලිපි මාලාවකි.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දෙමළ සන්නද්ධ සංවිධානත්, ශ්‍රී ලංකා ආණ්ඩුවත් වසර තිහක් යුද වැදීමේදී සිදු කළ මානව සංහාරයේ පළමු බිල්ල 1975 ජූලි 27වැනි දා සිදු වූ, යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා ඝාතනයයි. ඔහු 1960-65 කාලයේ යාපනය ආසනය නියෝජනය කළ ස්වාධීන මන්ත්‍රීවරයෙකි. මරණයට පත් වන විට යාපනය නගරාධිපති වශයෙන් කටයුතු කළේය. එයට පෙරද ඔහු කිහිප වතාවක්ම යාපනය නගරාධිපති ධුරය දැරීය. දොරෙයිඅප්පා යාපනයේ ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයෙකි. ‍කෙටියෙන් පවසනවා නම් යාපනය ආසනයේ මැතිවරණවලදී ප්‍රකාශිත ඡන්ද ඇස්.ජේ.වී. චෙල්වනායගම්ගේ පෙඩරල් පක්ෂයත්, ජී.ජී. පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රසයත්, ස්වාධීන මන්ත්‍රීවරයකු වූ ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පාත් අතර සම සේ තුනට බෙදී ගියේය.

මේ තත්ත්වය සමාන කළ හැක්කේ දකුණේ ගාල්ලේ ඩබ්. දහනායක සහ හබරාදූව ප්‍රින්ස් ගුණසේකර ආදි මන්ත්‍රීවරුන් ස්වාධීන මන්ත්‍රීන් හැටියට ජනතාව අතර ගොඩනඟාගෙන සිටි පුද්ගල සම්බන්ධතාවන්ටය. දේශපාලනයේ දැවැන්ත පරමාදර්ශයන් හෝ ප්‍රතිපත්ති නියෝජනයක් දොරෙයිඅප්පාගේ ආකර්ෂණය කෙරෙහි බලපෑවේ නැත. ඔහුගේ විශේෂත්වය වූයේ දේශපාලන භේදයකින් තොරව නගරයේ සෑම පුද්ගලයකු සමඟම ගොඩනඟාගෙන තිබුණු මානවීය සබඳතාවයි. සෑම ඡන්ද ඡන්දදායකයකුටම තමා ඔහුගේ පවුලේ සාමාජිකයකු ලෙස හැඟෙන පරිදි ඔහු කටයුතු කළේය. එය සාමාන්‍ය කපටි දේශපාලනඥයකුගේ ස්වරූපයට ඉඳුරාම වෙනස් එකක් බව යාපනයේ වැසියෝ පවසති.

පාරේ ගමන් කිරීමේදී ඉදිරියට හමුවන සෑම කෙනකුටම පාහේ ආචාර කිරීම ඔහුගේ පුරුද්දකි. තමාට හමුවන ඕනෑම වයස් කාණ්ඩයක අයකුගේ ලෙඩ දුක්, ඉගෙනීම සහ අධ්‍යාපන කටයුතු මෙන්ම පෞද්ගලික තොරතුරු ද ඔහු විමසුවේය. දොරෙයිඅප්පා සේවය කළේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හැඳින ඒවා ඉටු කර දීමටය. රැකියාවේ ස්ථාන මාරු, වෙළෙඳපොළේ අඩුපාඩු, නගරයේ වීදි ලාම්පු සවිකිරීම, පොදු වැසිකිළි තනාදීම, අබලන් වූ කුඩා මාර්ග සංවර්ධනය ආදිය ඔහුගේ න්‍යායපත්‍රයට ඇතුළත් විය. මේ වැඩ පිළිවෙළේදී යාපනයේ නගරාධිපතිවරයා ලෙස ඔහුට වැඩ කිරීමට සිදු වූයේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ සමඟි පෙරමුණු ආණ්ඩුව සමඟය.

යාපනය මහජන සේවා කටයුතුවලදී දොරෙයිඅප්පාට රාජකාරි අවශ්‍යතා සඳහා ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ සමඟ නිරන්තරයෙන් කටයුතු කරන්නට සිදු විය. කොළඹ නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලබා සිටි දොරෙයිඅප්පා නීතිඥ වෘත්තියට වඩා වැඩි බරක් යෙදුවේ පොදු ජන සේවා කටයුතුවලටය. ඒ කටයුතු වඩාත් හොඳින් ප්‍රතිඵලදායක ලෙස කර ගත හැකි යැයි කල්පනා කළ ස්වාධීන මන්ත්‍රීවරයකුව සිටි හෙතෙම පසුව ශ්‍රීලනිපය සමඟ එක් විය. දොරෙයිප්පාගේ ඡන්ද සංචිතය ආණ්ඩු පක්ෂයට හැරීම ෆෙඩරල් පක්ෂයේ හා දෙමළ කොංග්‍රසයේ දැඩි වෛරයට හේතු විය.

1970 දී ශ්‍රීලනිප පාර්ලිමේන්තු ඇමැතිවරුන් උතුරට පැමිණියේ කෙළින්ම දොරෙයිඅප්පා හරහාය. අගමැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක හා ඔහුගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මේ වකවානුවේ තරුණ මන්ත්‍රීවරුය. ඒ වන විට අනුරගේ වයස අවුරුදු 25කි; මහින්දගේ වයස අවුරුදු 30කි. ඔවුන් යාපනයට ගොස් දින ගණන් ගත කළේ දොරෙයිඅප්පා සමඟය. ඒ ගැන ද යාපනේ වැසියන් අතර දොරෙයිඅප්පාට විරුද්ධ නොයෙකුත් කටකතා පැතිර තිබිණි. කෙසේ වුවද ශ්‍රීලනිපයට එක් වීමත් සමඟ දොරෙයිඅප්පාගේ ජනප්‍රියත්වය තරමක් දුරට හීන විය. එහෙත් යාපනයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ද, සිංහල ව්‍යාපාරිකයන්ද, මධ්‍යම පාන්තික දෙමළ ජනයාද අතරින් උපයාගත් ඡන්ද සංචිතයක් දොරෙයිඅප්පා සතු විය.

එහෙත් යාපනයෙන් පිටත දේශපාලන නායකයකු වීම කෙරෙහි ඔහුගේ උනන්දුවක් නොතිබිණි. ඇස්.ජේ.වී. චෙල්වනායගම්ගේ සහ ජී.ජී. පොන්නම්බලම්ගේ දෙමළ ජාතිකවාදි දේශපාලනයට දොරෙයිඅප්පා ප්‍රබල අභියෝගයක් ලෙස මේ වකවානුවේ මතු වෙමින් තිබිණි. 1972 මැයි 14 වනදා චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂය, පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රසය සහ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂ තුන ‘දෙමළ එක්සත් පෙරමුණ’ නමින් තනි පක්ෂයක් බවට පත් විය.

දොරෙයිඅප්පා උතුරේ සාම්ප්‍රදායික දෙමළ නායකයන්ගේ ජාතිවාදි, වංක අරමුණු දැඩි ලෙස විවේචනය කළේය. දෙමළ එක්සත් පෙරමුණ හැමවිට දොරෙයිඅප්පාට විරුද්ධව මතවාද ප්‍රහාර එල්ල කළේය. ඔහු දෙමළ ජනතාවගේ ද්‍රෝහියකු බව දෙමළ එක්සත් පෙරමුණේ තරුණ අංශයේ නායක කාසි ආනන්දන් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කර තිබිණි.

සිරිමා බණ්ඩාරනායක මැතිනිය සහ නගරාධිපති දොරෙයිඅප්පා

සිරිමා බණ්ඩාරනායක මැතිනිය සහ නගරාධිපති දොරෙයිඅප්පා

මේ වකවානුවේ යාපනයේ සාමාන්‍ය ජනතාවට ශ්‍රී ලංකා පොලීසියේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර, එවැනි අසාධාරණයන්හිදී දෙමළ එක්සත් පෙරමුණ ජනතාවගේ පැත්ත ගන්නා විට දොරෙයිඅප්පාට සිදු වූයේ මැදිහත්කරුවකු ලෙස පොලීසියේ පැත්ත ගැනීමටය. මේ තත්ත්වය එන්න එන්නම වර්ධනය වූවා මිස සමහන් වූයේ නැත.

මේ වකවානුවේ එක්තරා විශේෂ සිදුවීමක් විය. දකුණු ආසියාවේ දෙමළ භාෂාව කතා කරන ජනතාව ඒකාබද්ධ කරමින් ‘අන්තර්ජාතික දෙමළ පර්යේෂණ සමුළුව’ නමින් වැඩසටහන් මාලාවක් දියත් කෙරිණි. එහි ප්‍රථම සමුළුව 1966දී මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පවත්වන ලදි. දෙවැනි සමුළුව 1974 ජනවාරියේදී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබිණි. එය ලංකාවේ පවත්වනවාට ආණ්ඩුව බිය විය. එහි ප්‍රතිඵලයක් ලෙස

සමුළුවට සහභාගි වීමට පැමිණි නියෝජිතයන් සිව්දෙනකුට වීසා දීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. මේ සිදුවීමත් සමඟ කොළඹ පවත්වන්නට අදහස් කර තිබූ සමුළුව යාපනයට ගැනීමට සංවිධායකයෝ තීරණය කළහ.

අන්තර්ජාතික දෙමළ පර්යේෂණ සමුළුව 1974 ජනවාරි 3 දින සිට 10 දක්වා යාපනය වීරසිංහම් ශාලාවේදී පවත්වන ලදි. මේ කාලය අතරතුර දෙමළ ජනතාව අතර මහත් ජාතිකවාදි උද්‍යා්ගයක් පැනනැඟිණි. ජනවාරි 10 දින සමුළුවේ සමාප්ති රැලියට අනපේක්ෂිත ලෙස අතිවිශාල ජනකායක් සහභාගි වූහ. ඒ සඳහා පූර්ව සූදානමක් සංවිධායකයන්ට තිබුණේ නැත. හවස්වරුවේ පැවති වැස්සෙන්ද බාධා එල්ල වුවත්, විදෙස් නියෝජිතයන්ගේ කතා ඇසීමට උනන්දුවෙන් අතිවිශාල පිරිසක් වීරසිංහම් ශාලාව කරා ඇදී ආහ.

මේ අතර අවසන් දින රැස්වීම යාපනයේ එළිමහන් රඟහලේදී පැවැත්වීමට යෝජනා වුවද, නගරාධිපති දොරෙයිඅප්පාගෙන් අවසර ගෙන නොතිබිණි. අවසාන රැස්වීමේදී තමිල්නාඩු දේශපාලන නායකයන් ජනතාව අමතනු ඇතැයි යාපනයේ ජනයා විශ්වාසයෙන් පසු වූහ. සමුළුවට සහභාගි වීම සඳහා අවසර ගත් විදේශ නියෝජිතයන් අතරට දකුණු ඉන්දියාවේ දේශපාලන නායකයකු වූ ජනාර්තනන්ගේ නම ඇතුළත් කර තිබුණේ නැත. එබැවින් රැස්වීම ඇමතීමට ජනාර්තනන්ට අවසර දිය නොහැකි බව යාපනය සහකාර පොලිස් අධිකාරී චන්ද්‍රසේකර දැනුම් දී තිබූ අතර, සමුළුවේ ප්‍රධාන සංවිධායක ආචාර්ය මහාදේව අවසර ගැනීමේදී ඊට එකඟ වී ඇත.

වීරසිංහම් ශාලාව තුළත් පිටතත් විශාල තදබදයක් ඇති වූ අතර, සංවිධායකයෝ වීරසිංහම් ශාලාවෙන් පිටත තාවකාලික වේදිකාවක් ගසා රැස්වීම ආරම්භ කළහ. පොලිස් වාර්තාවලට අනුව පනස් දහසකට ආසන්න පිරිසක් කන්කසන්තුරේ පාරට මුහුණලා යාපනය කොටුවේ දිය අගල දක්වා වාඩි වී සිට ඇත. පොලීසිය ඔරලෝසු කණුව වටරවුමෙන් රථ වාහන හරවා යවමින් රැස්වීමට බාධා නොවන අයුරින් කටයුතු කර ඇත. යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කළේ මිත්‍ර ආරියසිංහය.

එසේ වුවද රාත්‍රී අටට පමණ පොලීසියේ කැරලි මර්දන කණ්ඩායමක් සෙනග විසුරුවා හරිමින් වීරසිංහම් ශාලාව දෙසට ගමන් කර තිබේ. ජීප් රථයක්, පොලිස් ට්‍රක් රථයක්, යකඩ තොප්පි පැලඳි කැරලි මර්දන කණ්ඩායමක් බැටන් ප්‍රහාර එල්ල කරමින්, කඳුළු ගෑස් ගසමින් අහසට වෙඩි තබමින් ඉදිරියට ගමන් කරන්න වූ විට කලබලයට පත් වූ පිරිස් සීසීකඩ දුවන්නට වූහ. හදිසි පොලිස් ප්‍රහාරය නිසා රැස්වීම කඩාකප්පල් වූ අතර, තෙරපීම හා පෑගීම හේතුවෙන් බොහෝ දෙනාට තුවාල සිදු විය. අවාසනාවන්ත සිදු වීම වූයේ විදුලි රැහැනක් මිනිසුන් මතට කඩාවැටීමෙන් සිවිල් වැසියන් හත්දෙනකු එහිදී මරණයට පත් වීමය.

මේ සිදුවීම යාපනයේ ජනතාව මහත් කම්පනයට පත් කරන්නක් විය. පොලීසිය දැනුවත්ව විදුලි රැහැන් සහිත කණුවකට වෙඩි තබා විදුලි රැහැන් මිනිසුන් මතට හෙළූ බවට චෝදනා එල්ල විය. ආණ්ඩු පක්ෂය නියෝජනය කළ එකම දේශපාලකයා දොරෙයිප්පා වූ බැවින් අන්තර්ජාතික දෙමළ සමුළුවට පහර දී යාපනයේ වැසියන් මරා දැමීමේ චෝදනාව කෙළින්ම නගරාධිපති දොරෙයිඅප්පාට එල්ල විණි. මේ අතර දකුණු ඉන්දියාව බලා ගිය සමුළුවට පැමිණි විදේශ නියෝජිතයන් පොලිසිය විසින් වෙඩි තබා මරාදැමූ මළ කඳන් සිය ගණනක් තමන් යාපනයේදී දුටු බව ඉන්දීය මාධ්‍යයට පවසා තිබිණි. එහෙත් ලංකාවේ දෙමළ පුවත්පත් එය ප්‍රතික්ෂේප කළේය.

ලංකා ගුරු සංගමයේ ජාතික සමුළුව 1979 අවුරුද්දේ ගුරු සංගමයේ ලේකම් එච්.එන්. ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේදී පවත්වන ලද අතර, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් අපිද ඊට සහභාගි වීමු. අන්තර්ජාතික දෙමළ පර්යේෂණ සමුළුවේදී දිවි පිදූ යාපනය වැසියන් 7 දෙනා වෙනුවෙන් ඉදි වූ ස්මාරකයක් වීරසිංහම් ශාලාව ඉදිරිපිට ක්‍රීඩාංගණයේ ඉදි කොට තිබෙනු අපට දැකගත හැකි විය. ඒ අවස්ථාවේ එම ස්මාරක අලංකාර මලින් සරසා තිබිණි.

අන්තර්ජාතික දෙමළ පර්යේෂණ සමුළුවේදී සිදු වූ සිවිල් වැසියන්ගේ මරණවලට දොරෙයිප්පා වගකිව යුතු යැයි යාපනය දිස්ත්‍රික්කය පුරා අඛණ්ඩ උද්ඝෝෂණ පැනනැඟිණි. විශාල පිරිසකගේ සහභාගිත්වය ඇතිව සාමකාමි ලෙස පැවති රැලියට පොලීසිය යොදවා අනවශ්‍ය ලෙස බාධා පමුණුවා මිනිසුන් මරා දැමී යැයි ආණ්ඩුවට චෝදනා එල්ල විය. පොලීසිය මෙහෙයවා රැලිය කඩාකප්පල් කිරීමට අණ දුන්නේ කවුද? එය හුදෙක් පොලීසියේ හිතුවක්කාරි ක්‍රියාවක්ද, ආණ්ඩුවේ දේශපාලන නායකත්වය මත සිදු වූවක්ද, යන්න පිළිබඳ බරපතළ ආන්දෝලනයක් පැනනැංගේය.

අන්තර්ජාතික දෙමළ පර්යේෂණ සමුළුවට එල්ල වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස උතුරේ දේශපාලන පක්ෂ විසින් කරන ලද ඉල්ලීම සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. එයින් තත්ත්වය වඩාත් නරක අතට හැරිණි.

අවසානයේ මේ අවුල විසඳීම සඳහා විනිශ්චයකාර ඕ.එල්. ද ක්‍රෙස්ටර්ගේ මූලිකත්වයෙන් නිල නොවන පුරවැසි කොමිසමක් පත් කරන ලදි. මේ කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ විනිසුරු මානික්කවාසගර් සහ කුලේන්ද්‍රන් නම් බිෂොප්වරයෙකි. ඕ.එල්. ද ක්‍රෙස්ටර් කොමිසමේ පිටපත් කිහිපයක් එකල මුද්‍රණය කොට බෙදා හැර තිබූ නමුත් යුද සමයේ සිදු වූ විනාශයන් සමග ඒවා විනාශ වී ගොසිනි. කෙසේ වුවද කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් හිටපු නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයකු වූ 90 හැවිරිදි ජෝර්ජ් ඥානමුත්තු සතුව තිබී යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් සොයාගෙන තිබිණි.

ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සමුළුවට පහර දීමේ සිද්ධියට නගරාධිපති දොරෙයිප්පාගේ කිසිම සම්බන්ධයක් නැති බව ඒ වාර්තාවෙන් හෙළි කර තිබිණි. එහෙත් උතුරේ ආරම්භ වූ ‘මළමිනී දේශපාලනයට’ දොරෙයිඅප්පා වගකිව යුතු බවට රැඩිකල් දෙමළ තරුණයන් අතර බලවත් ක්‍රෝධයක් පැනනැඟී තිබිණි. ඒ වන විට එල්ටීටීඊ සංවිධානය හෝ වෙනත් සන්නද්ධ බෙදුම්වාදි සංවිධාන යාපනයේ ගොඩනැඟී තිබුණේ නැත; දෙමළ එක්සත් පෙරමුණ උතුරු හා නැඟෙනහිර පළාත්බදව වෙනම රාජ්‍යයක් ලෙස වෙන් විය යුතු බවට තීරණයක් ගෙන තිබුණේ ද නැත. යාපනයේ සිවිල් ජනතාවට පොලීසිය මර්දනකාරි පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් පීඩනයක් එල්ල වී තිබූ අතර, මේ සිදුවීමෙන් පසු එම පීඩනය පුපුරා ගියේය. ජාතිකවාදි දේශපාලන පක්ෂ එය ස්වකීය වාසිය සඳහා යොදාගත්තේය.

නගරාධිපති දොරෙයිඅප්පාගේ මෝටර් රථය වෙඩි වැදිමෙන් පසු පොලිසිය පරීක්ෂා කරන අයුරු

නගරාධිපති දොරෙයිඅප්පාගේ මෝටර් රථය වෙඩි වැදිමෙන් පසු පොලිසිය පරීක්ෂා කරන අයුරු

උතුරේ දේශපාලන පක්ෂ නිල වශයෙන් ඊළාම් රාජ්‍යයක් සඳහා තීරණය ගත්තේ ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සමුළුවේදී එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් හා යාපනය නගරාධිපති දොරෙයිඅප්පාගේ ඝාතනයෙන් පසුවය. 1976 මැයි 14 දින පැවති දෙමළ එක්සත් පෙරමුණේ වඩුක්කොඩෙයි සමුළුවේදී උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා දෙමළ දේශපාලන පක්ෂ එක් විය යුතු බවට තීරණයක් ගන්නා ලදි. ඒ තීරණයට අනුව දෙමළ එක්සත් පෙරමුණේ නම ‘දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ’ යනුවෙන් වෙනස් කරන්නට යෙදිණි. දෙමළ ඊළාම් මතය ජයග්‍රහණය කිරීමත් සමඟ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ ලංකා කම්කරු සංගමය දෙමළ එක්සත් පෙරමුණෙන් ඉවත් විය.

දැන් අපි නැවතත් නගරාධිපති දොරෙයිඅප්පා දෙසට හැරෙමු. යාපනය නගරාධිපති දොරෙයිඅප්පා සෑම සිකුරාදාවකම සන්ධ්‍යාවේ පොන්නාලෙයි කෝවිලේ පූජාවට පැමිණීම පුරුද්දක් කරගෙන සිටියේය. 1975 ජූලි 27 වැනිදා ද සිකුරාදාවකි. එදින හැන්දෑවේ ඔහු සිය මෝටර් රථයෙන් සිරිත් පරිදි පොන්නාලෙයි කෝවිලට පැමිණියේය. රියැදුරු පත්කුණම් මෝටර් රථය පැදවූ අතර, දොරෙයිඅප්පා මෝටර් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටියේය. ඔහුගේ ආධාරකරුවන් දෙදෙනකු වූ යෝගනාදන් සහ රාජරත්නම් පිටුපස අසුනේ වූහ. මෝටර් රථය කෝවිල අසල නැවැත්වූ වහාම දොරෙයිඅප්පාගේ පැමිණීම බලාපොරොත්තුව සිටි තරුණයෝ තිදෙනෙක් දිවැවිත් දොරවල් තුනක් අසල සිටගත්හ.

යෝගනාදන් රියෙන් බිමට බසිත්ම කැලඹුණු මුහුණින් යුතුව තමා දෙසට පිස්තෝලයක් එල්ල කරගෙන සිටින තරුණයකු දිටීය. කලබලයට පත් ඔහු

ඒ තරුණයා තල්ලු කරගෙන දිවගොස්, අසල වූ සිසිල් බීම කඩයකට රිංගා ගත්තේය. ඒ සමඟ වෙඩි හඬ ඇසුණු අතර, වෙඩි වැදී තුවාල වූ නමුත් රාජරත්නම් ද ඒ ස්ථානයෙන් පිටතට දිව ගොස් සැඟවුණේය. ස්වල්ප වේලාවකින් මෝටර් රථය පණගන්වා ඝාතකයන් පලා යන හඬ ඇසිණි. සිසිල්බීම වෙළෙඳසල හිමි කාන්තාව එළියට පැමිණ, නගරාධිපති දොරෙයිඅප්පා වැටී සිටිනු දැක යෝගනාදන්ට වහා එළියට එන ලෙස කෑගැසුවාය. කෝවිල අසලට පැමිණි ඔහුට දැක ගැනීමට ලැබුණේ වතුර ඉල්ලා කෙඳිරිගාමින් සිටින දොරෙයිඅප්පාය. ඔහු නගරාධිපතිවරයාගේ හිස උකුළට ගෙන බිම වාඩි විය. ඔහු කඩය හිමි කාන්තාව ගෙනැවිත් දුන් සිසිල් බීම බිඳක් පොවන්නට තැත් කළේය. දොරෙයිඅප්පා ඒ මොහොතේ මරණයට පත් විය. පත්කුණම් පදවාගෙන ගිය නගරාධිපති දොරෙයිඅප්පාගේ මෝටර් රථය යාපනය නගරයේ උතුරු දෙසට පදවා, සෙන්නන්කුලම් පෙදෙසේ දමා ගොස් තිබී හමු විය.

පසු කලෙක එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් දුටු යෝගනාදන් ප්‍රකාශ කළේ තමා දොරෙයිඅප්පාගේ මෝටර් රථයෙන් බසින විට පිස්තෝලය එල්ල කරගෙන සිටි තරුණයා වේළුපිල්ලේ ප්‍රභාකරන් බවයි. කෙසේ වුවද, යෝගනාදන් ද කලකට පසු කොටි සංවිධානයට එක් විය. යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ බෙදුම්වාදය දෙසට යොමුවීමේ හැරවුම් ලක්ෂ්‍යය ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සමුළුවට එල්ල වූ පොලිස් ප්‍රහාරය විය. දමිළ සමාජය තුළ වැඩෙමින් පැවති අසහනය මේ සිදුවීමෙන් පුපුරා ගියේය. සන්නද්ධ අරගලය වෙත යොමු වූ දමිළ තරුණයන්ගේ ප්‍රථම බිල්ල බවට යාපනය නගරාධිපති දොරෙයිඅප්පා පත් විය.

උදේනි සමන් කුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division