ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් අපේක්ෂා කරනුයේ මහජනතාවට වඩාත් සාධාරණ හා කඩිනම් සේවාවක් සැලසීමය. මේ කොමිෂන් වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරන අතර, ඒ මුදල් වැය කිරීමෙන් මහජනතාවට ප්‍රශස්ත සේවාවක් සැලසීමට මෙන්ම වගවීමටද සෑම කොමිසමක්ම බැඳී සිටී.
ජාතික පොලිස් කොමිෂන් සභාවද එවන් ස්වාධීන කොමිෂන් සභාවකි. එහි කාර්යභාරය නිසි ලෙස ඉටු කරමින් සිය වගවීම නිසි ලෙස ඉටු කර තිබේද? වර්ෂ 2022ට අදාළව ජාතික පොලිස් කොමිසමට කොපමණ පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතිදැයි නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු විසින් පොලිස් කොමිසමට යොමු කරන ලද තොරතුරු අයදුම්පතට පිළිතුරු ලෙස 2023.06.01 දාතමින් යුතුව එවන ලද ලිපියට අනුව පැමිණිලි සංඛ්‍යාව 542ක් ලෙස සඳහන්ව තිබුණද කොමිසමේ 2022 වාර්ෂික වාර්තාවේ එය දැක්වෙනුයේ 1,786ක් වශයෙනි. 2023 වසරේ පොලිස් කොමිසමට නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ විගණකාධිපති වාර්තාව අනුව 2023 වසරේ ලද පැමිණිලි 2,448න් විමර්ශන නිම කර ඇත්තේ පැමිණිලි 561ක හෙවත් 23%ක බවයි.
මෙහිදී තවත් ගැටලුවක් මතු වේ. ඒ පොලිස් කොමිසන් සභාවේ 2023 වාර්තාවේ සඳහන් වන පරිදි 2022 වර්ෂයේ විමර්ශනය නොකළ පැමිණිලි 1,300ක් 2023.01.01 දින වැනි විට ඉතිරිව තිබු බවයි. ඉන් 617ක් විමර්ශනය කර අවසන් වී ඇති අතර 683ක් ඉතිරිව තිබූ බවත් වාර්තාවේ සඳහන් වේ. ඉතිරි පැමිණිලි සංඛ්‍යාව 2023 වර්ෂයට ලැබුණු පැමිණිලිවලට එකතු කර ඇති බවක් නොපෙනේ. 2023 වසරේ ලද පැමිණිලි සංඛ්‍යාව 2448ක් ලෙස සඳහන් වෙතත් ඉකුත් වසරේ ඉතිරි වූ පැමිණිලි 683ට වූයේ කුමක්ද යන්න වාර්තාවේ සඳහන් නොවේ. ඒ අතරට කොමිසමේ 2022 වාර්ෂික වාර්තාවේ සඳහන් වන පරිදි නම් විමර්ශනය කිරීමට නොහැකි වූ සංඛ්‍යාව 988කි. එය 2023 දී 1300ක් වී ඇත. එය පුදුමයකි! මෙහි පළ වනුයේ මෙවන් පසුබිමක ජාතික පොලිස් කොමිසමේ සභාපති, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.
පොලිස් කොමිසමේ වත්මන් තත්ත්වය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
ඔව් තෘප්තිමත්, අතෘප්තියට පත් වුණ කාරණා ද තිබුණා. ඒ තමයි මහජන පැමිණිලි විමර්ශනයේදී පොලීසිය පාර්ශ්වයෙන් විමසූ විට ඒ අය හරියට තොරතුරු දෙන්නේ නෑ. එවැනි අවස්ථාවල අපට නැවත නැවත තොරතුරු ඉල්ලන්න වෙනවා, සමහර වෙලාවට තදින්ම. සමහරු ප්‍රොසීඩියර් එක වරද්දල තොරතුරු දෙනවා. ඒක හදාගන්න සිදු වුණා.
සත්‍ය තොරතුරු නොදී මඟහරින්නේ ඇයි?
සමහර විට හිතාමතාම එහෙම කරනවා ඇති. එහෙත් සමහර වාර්තා දැක්ක ගමන්ම අපට තේරෙනවා මෙතන සත්‍ය තොරතුරු නැහැයි කියන එක. එතකොට අපට තීන්දුවකට එන්න බැහැනේ. එතකොට විමර්ශන ප්‍රමාද වෙනවා.
ප්‍රමාදයට හේතු වළක්වාගෙන තිබෙනවාද?
ඔව්. අපි විමර්ශනවලට අදාළ තොරතුරු කඩිනමින් ගෙන්වාගෙන සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 9 සිට රාත්‍රී 7 දක්වා පැමිණිලි 80,100,120 අතර සංඛ්‍යාවක් කොමිසමට ගන්නවා. පැමිණිලි ඉතුරු වුණොත් විශේෂ රැස්වීමක් ගන්නව. එහෙම වුණත් අපට කාර්ය මණ්ඩලයේ අඩුවක් තිබෙනවා. අපි සහකාර අධ්‍යක්ෂවරුන් හතර දෙනෙක් ගත්තා. ඒත් අපට සහකාර ලේකම් කෙනෙක් නෑ. අභ්‍යන්තර විගණකවරයෙක් නෑ. එහෙම අඩුවක් තිබියදී කොහොමත් පැමිණිලි විමර්ශනය ප්‍රමාද වෙනව නෙ… හදිසි තීරණයක් නොවේ නම් අපට සමහර තීරණ ගන්න සති දෙකක් වත් යනවා. කොහොම වුණත් ඕනෑම තීන්දුවක් සති දෙක හමාරක් ඇතුළත අපට දෙන්න පුළුවන්.
මහජන පැමිණිලි සම්බන්ධයෙන් පොලීසියෙන් තොරතුරු ඉල්ලූ විට තොරතුරු ප්‍රමාද කරනවා, ඒ වගේම හරි තොරතුරු දෙන්නත් මැළි වෙනවා යැයි කියමින් ඔබෙන් බරපතළ ප්‍රකාශයක් කියවුණා. එහෙම කියන ඔබම කොමිෂමේ විවිධ අංශවලට විශේෂයෙන් විමර්ශන අංශයට පොලිසියේ නිලධාරීන් අනුයුක්ත කරගෙන තිබෙනවා. එහෙම නම් මේක හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක් නොවේද?
ඒ අය පැමිණිලි විමර්ශනය කිරීමේ කාර්යයන්වලට සම්බන්ධ කරගෙන නැහැ. ඔවුන් සම්බන්ධ කරගෙන තිබෙන්නෙ ලියුම් කඩන්න, ඩ්‍රාෆ්ට් කරන්න, ටයිප් කරන්න වගේ දේවල්වලට විතරයි. ඒ අයට තීරණ ගන්න දීලත් නෑ; දෙන්නෙත් නැහැ. තාවකාලිකව තමයි ඒ අයත් සම්බන්ධ කරගෙන තිබෙන්නේ.
සමහර පළාත් අධ්‍යක්ෂවරුන්ට තවදුරටත් සේවය කරන්න කාලය තිබෙද්දී ඒ අයගේ කාලය දීර්ඝ නොකර කොමිසමේ ලේකම් තමරා ද සිල්වා මහත්මියගේ සේවා කාලය දිගින් දිගටම දීර්ඝ කර තිබෙනවා නේද? එය ළැදියාවක් පිළිබඳ ගැටුමක් මෙන්ම සමානයන් අතුරින් එක් අයකුට පමණක් අසමාන ලෙස සැලකිල්ලක් දැක්වීම යන ගැටලුවකුත් නිර්මාණය කරනවා නේද?
අප එන්න පෙර පත් කර සිටි ලේකම් නැවත පත් කර ගැනීම කොමිසමේ අයිතියක්. අතීතයේ යම් යම් දේවල්වලට උත්තර දීගන්නත් අවුරුදු එකහමාරක් පමණ පරණ පොලීසියේ ෆයිල් ගැන දන්න කෙනා විධියටත් අපි එයාව මාස තුනක පමණ කෙටි කාලයකට නැවත සේවය දීර්ඝ කළා. ඒ අතරේ ළඟ ළඟ ඡන්ද දෙකක් ආවා. ඒ නිසා අලුතින් කෙනෙක් බඳවාගන්නත් බැහැ. ඉතින් හැකියාව සහ පළපුරුද්ද තිබෙන කෙනෙක් බඳවාගැනීම වැරදිද? ඉවත් කළ අධ්‍යක්ෂවරුන්ට තිබුණේ තව කෙටි කාලයයි. ඒ ගැන වැඩි විස්තර දෙන්න තොරතුරු පනත යටතේ ඉල්ලන්න. තොරතුරු දෙන්නම්. සමානයන් අතරෙන් එක් අයකුට අසමාන ලෙස සැලකීම කියන කාරණය ගත්තොත්, දැන් ඒලෙවල් විභාගෙ තිබෙනවනෙ. එකම ලකුණු ගත්තත් විශ්වවිද්‍යාලවලට තෝරාගැනීමේ දී බදුල්ලට, මොනරාගලට වාගෙ පළාත්වලට විශේෂ සැලකිල්ලක් දක්වනවනෙ. එතකොට මෙතන මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා කියන්න පුළුවන්ද? අපි ඒවගෙ ලේකම්වරියට විශේෂ සැලකිල්ලක් දැක්වුවා කියල මෙතනදී කියන්න බැහැ.
කොමිසමේ ඔබ ඇතුළු කොමසාරිස්වරුන් පත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධියේ. ඒ කාලේ ජනාධිපති ලේකම් වෙලා හිටියේ සමන් ඒකනායක. ඩී.කේ. රේණුකා ඒකනායක ඔහුගේ භාර්යාව. ඇයත් කොමසාරිස්වරියක ලෙස පත් කිරීම කොමිසමේ තීන්දු ගැනීමේදී එහි විනිවිදභාවය පිළිබඳ ගැටලුවක් නිර්මාණය වන අය බවට බොහෝ අය අදහස් පළ කරනවා. ඔබට ඒ ගැන කියන්න තියෙන්නෙ මොනවාද?
ඒ ප්‍රශ්නය මට අදාළ නැහැ. ඇය පත් කළේ ව්‍යවස්ථාදායක සභාවයි. ඒ අයගෙ ප්‍රශ්නය මගෙ ප්‍රශ්නයක් නොවෙයි.
වජිරා කියන අධ්‍යක්ෂවරිය සම්බන්ධයෙනුත් ගැටලුවක් මතු වී තිබෙනවා. ඇයට කොමිසමෙන් උපදෙස් දීපු බවකුත් කියවෙනවා. මොකක්ද ඒ ගැටලුව?
ඇය හොඳ නිලධාරිනියක්. ඇය සෑම ලිපියක්ම හොඳින් කියවනවා. ඒ වුණත් ඇය සම්පාදනය කරන ලිපි නැවත නැවත සංස්කරණය කරනවා. ඒ නිසා ඇය ළඟදි ලිපි ගොනු ප්‍රමාද වෙනවා. දැන් අප ඇයට උපදෙස් දී තිබෙනවා එසේ නොකර ලිපි ගොනු ඉක්මනින් අප වෙත එවන්න කියලා.
පොලිස් කොමිසමේ සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාව සිදු කළ පසුව ලියුම්කරුට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ‘ද මෝනින්’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක් දක්නට ලැබිණි. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණවලට පොලිස් කොමිසම අනුමැතිය දීම කල් දමන බවයි; එය පොලිසියේ කටයුතු විධිමත් කිරීමට බාධාවක් වන බවයි. උක්ත සාකච්ඡාව වට්ස්ඇප් මඟින් පොලිස් කොමිසමේ සභාපතිවරයාට යොමු කර, ඔහුගේ අදහස කුමක්දැයි විමසන ලදුව ඊට පිළිතුරක් නොලද තැන නැවත වට්ස්ඇප් අංකය අමතා පිළිතුරක් ගැනීමට අපේක්ෂා කළ ද එය ව්‍යර්ථ විය. එසේම පොලිස් කොමිසමේ 2023 වාර්තාවේ සඳහන් වන පරිදි 2024 දී පැමිණිලි 2,500ක් විමර්ශනය කර තීන්දු දීමට ඉලක්කයක් කොමිසමට ඇත. එනමුත් සිළුමිණ සමඟ කළ සාකච්ඡාවේ දී සතියකට මහජන පැමිණිලි 80, 100,120 අතර සංඛ්‍යාවක් විමර්ශනය කරන බව සඳහන් කිරීම ඔස්සේ එහි මධ්‍ය අගය 100ක් සේ ගත හොත්, වසරකට පැමිණිලි 100x4x12=4800ක් විමර්ශනය කළ හැකිය. මෙබඳු පරස්පර විරෝධතාවක් ඇති වන්නේ ඇයි විමසීමටද ලියුම්කරුට නොහැකි විය.