Home » පොඩියට පටන්ගෙන ලොව අල්ලන්න මඟ පහදන කාර්මික සංවර්ධන මණ්ඩලය

පොඩියට පටන්ගෙන ලොව අල්ලන්න මඟ පහදන කාර්මික සංවර්ධන මණ්ඩලය

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment

ප රටේ ගස් යට වැටී කුණු වී යන බිලිං, කොස් මෙන්ම ඉහළ ඉල්ලුමක් ඇති කොප්පරා, පොල් තෙල්, තේ, කරාබු නැටි, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි වැනි කුළු බඩු හා කජු වැනි භෝගවලින් කල්තබාගත හැකි නිෂ්පාදන තනා විශාල ආදායමක් උපයාගත හැකිය. ආහාරපාන වර්ග පමණක් නොව, රබර්, පොල් කොහු, මිනිරන්, පිඟන් භාණ්ඩ, වීදුරු භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, කොසු සහ බුරුසු ආදියටත් ඇති ඉහළ ඉල්ලුම හමුවේ බොහෝ දෙනා අසරණව ඇත්තේ ඒ වෙනුවෙන් අවශ්‍ය නිසි මඟපෙන්වීමක්, උපදේශයක් නොවීම නිසාය.

විදේශයන්හි පවා ඉහළ ඉල්ලුමක් මේ නිෂ්පාදනවලට පවතී. ඒ නිෂ්පාදන කල් තබාගත හැකි නම් අපනයනය කිරීමෙන් රටේ දළ ජාතික නිෂ්පාදිතය වර්ධනය කරගත හැකිය. එමෙන්ම රැකියා බිහි කිරීමටත්, ආර්ථික හා සමාජ සංවර්ධනයටත් මෙය ඉවහල් වේ. ශ්‍රී ලංකාව පසු කර අද වනවිට ගව් ගණනක් දුරින් සිටින රටවල්වන සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව සහ තායිලන්තය වැනි රටවල සිටි නායකයන් පවා ඒ රටවල් දියුණුව කරා ගෙන ගියේ ව්‍යවසායකත්ව මනසෙනි.

වර්තමානය වන විට දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් රජය පෙන්නුම් කර තිබේ. විශේෂයෙන් දේශීය වශයෙන් නිපදවිය හැකි දෑ අධික විදේශ විනිමයක් වැය කර මෙරටට ආනයනය කරනු වෙනුවට ඒවා මෙරටේදීම නිපදවා ගත යුතු ආකාරය පිළිබඳ ව්‍යාපාරික ජනතාව මෙන්ම පාරිභෝගික ජනතාව ද උනන්දුවක් දක්වති. ඒ සඳහා උපදෙස් සහ තාක්ෂණික දැනුම ලබා දීමට කැප වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) කාර්යභාරය සුවිශාලය. කනගාටුවට කරුණක් වන්නේ ඒ පිළිබඳව දේශීය ජනතාව නිසි පරිදි දැනුවත් නොවීමයි.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීම කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) ප්‍රධාන අරමුණක් වෙයි. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම ආදියද සපයයි.

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා ඇති සියලු කර්මාන්ත දිරිගැන්වීමට, ප්‍රවර්ධනයට සහ සංවර්ධනයට අවශ්‍ය උපාය මාර්ගික, තාක්ෂණික සහ වාණිජ පදනම වැඩි දියුණු කරමින් ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම, ව්‍යාපාරවල ගුණාත්මකභාවය සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම, ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයන සහ වාර්තා, කළමනාකරණ සංවර්ධනය සහ උපදේශනය, ව්‍යාපාර තොරතුරු සහ සම්බන්ධතා වර්ධනය කිරීම, නිෂ්පාදන සංවර්ධනය, නවෝත්පාදන සහ නව තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම, ව්‍යාපාර සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැනි පුළුල් වැඩ කොටසක් ඉටු කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය පසුගිය කාලය පුරා සමත්කම් දක්වා තිබේ.

කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සිය වැඩමුළු හා පාඨමාලා සංවිධාන කිරීමේදී හඳුනා ගත් ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් ඔස්සේ මේ කටයුතු සංවිධාන කරයි. එනම් ආහාර නිෂ්පාදනය, තෙල් හා කෙඳි, රසායනික, ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය සහ පරිගණක යන ක්ෂේත්‍රයි.

ඒ අනුව අධ්‍යාපන සුදුසුකම්, වයස් සීමා ආදිය නොතකා ඉතා සහන අය කිරීම් යටතේ බොහෝ පාඨමාලා සහ පුහුණු වැඩමුළු කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධාන කරන අතර, ව්‍යාපාර ක්ෂේත්‍රයේ විවිධ අංශ ආවරණය වන කෙටිකාලීන සහ දිගුකාලීන ව්‍යාපාර හා තාක්ෂණික පුහුණු වැඩමුළු හා පාඨමාලා රැසක් පසුගිය කාලය පුරා පවත්වන්නට යෙදිණි. මේ පුහුණු වැඩමුළු සඳහා සහභාගි වන්නන්ගේ ගැටලු නිරාකරණයටද අවශ්‍ය කටයුතු යෙදුණු අතර ඉදිරියේදීද මේ වැඩමුළු හා පාඨමාලා අඛණ්ඩව සංවිධානය කිරීම කාර්මික සංවර්ධන මණ්ඩලයේ බලාපොරොත්තුව වී තිබේ.

ආහාර නිෂ්පාදනය මඟින් දෙස් විදෙස් වෙළෙඳපොළ ජය ගැනීමට හැකි අයුරින් ආහාරපාන නිෂ්පාදනයට මෙන්ම නවීන තාක්ෂණය යොදාගනිමින් අලුත් ආහාර වට්ටෝරු ආදිය පිළියෙල කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇත. ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිතව දෙස් විදෙස් විශාල රැකියා ප්‍රමාණයක් බිහිව ඇත. එසේ හෙයින් ආනයන ආදේශක පිළිබඳ වැඩි අවධානයක් මෙකල යොමු කෙරේ. මේ ආහාරපාන ක්ෂේත්‍රය ඇසුරෙන් රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටද වැඩි දායකත්වයක් දිය හැකි බැවින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ මේ පුහුණු වැඩසටහන් සමඟ සම්බන්ධ වන පිරිසට එමඟින් තම අනාගතය සාර්ථක කරගැනීමට අවශ්‍ය පන්නරයද හිමි වෙයි.

කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන මේ එක්දින පුහුණු වැඩමුළු හා පුහුණු පාඨමාලා සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ව්‍යාපාර කටයුතුවල නිරත ව්‍යවසායකයන්ගෙන් මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට ඕනෑකමක් හා උනන්දුවක් දක්වන පිරිසෙන් ඉහළ ප්‍රතිචාරයක්ද හිමි වේ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙහිදී සංවිධාන වන පූර්ණ කාලීන පාඨමාලා නවීන වැඩ ලෝකයට ගැළපෙන පරිදි නව අංග එක් කෙරෙමින් සංවිධාන කිරීමට කටයුතු කර තිබීමයි. එසේම මේ වැඩමුළු හා පාඨමාලා සංවිධාන කිරීමේදී විශේෂයෙන් ඉලක්ක වී තිබෙන්නේ මෙරට තරුණ ප්‍රජාව වීමද ඉතා වැදගත් වන කාරණයකි. ඔවුන්ගේ අවශ්‍යතාව අනුව නේවාසික පහසුකම්, නිදහස් වාර ප්‍රවේශ පත්‍ර ආදි පහසුකම් සැලසීමටද කටයුතු යොදා ඇත.

මෙහිදී සඳහන් කළ යුතු තවත් විශේෂතම කාරණාවක් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් හඳුන්වාදී තිබෙන විවිධ සහන ණය ‍යෝජනා ක්‍රම යටතේ අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීමටද තම පුහුණු වැඩසටහන් සමඟ සම්බන්ධ වන පිරිසට කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් අවස්ථා සලසා දී තිබීමයි. ඊට උදාහරණ වශයෙන් මඤ්ඤොක්කා සහ එම පිටි යොදා ගනිමින් සිදු කෙරෙන ආහාර නිෂ්පාදන වැඩමුළුව හඳුන්වාදිය හැකිය.

මොරටුව – කටුබැද්ද ප්‍රධාන කාර්යාලයේදිත්, දිවයින පුරා ස්ථාපිත දිස්ත්‍රික් කාර්යාලවලත් මේ පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව අමුද්‍රව්‍ය, ලිපි ද්‍රව්‍ය, නවීන තාක්ෂණය, ආහාර පාන ආදි පහසුකම් සහිතව සහන ගාස්තු යටතේ එම පාඨමාලා පැවැත්වීම පිළිබඳවද බොහෝ දෙනකුගේ පැසසුම් කාර්මික සංවර්ධන මණ්ඩලයට නිතර ලැබේ.

එසේම එවැනි පාඨමාලා හරහා ලද දැනුමෙන් අපනයන ක්ෂේත්‍රයටත් පිවිසි බොහෝ ව්‍යවසායක‍යෝ පිරිසක්ද සිටිති. තාක්ෂණයට අමතරව ව්‍යවසායකත්වය, භාෂා දැනුම, උපදේශනය, ආහාර සුරක්ෂිතතාව, ව්‍යාපෘති වාර්තා සැකසීම ආදිය පිළිබඳවද දැනුම්වත් කෙරේ. පුහුණුවෙන් පසුව වුවද පසුවිපරම් කරමින්, ගැටලු නිරාකරණයට මඟ පෙන්වීමත් මෙයින් ලැබේ. එමෙන්ම කාර්මික තාක්ෂණ ආයතනය වැනි වෙනත් නවීන තාක්ෂණය හා කටයුතු කරන ආයතන සමඟ නිරන්තර සහයෝගය හරහාද මෙහි කටයුතු සිදු වෙයි.

එමෙන්ම තෙල් හා කෙඳි වර්ග සඳහාද අපනයන වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් දක්නට ලැබේ. පොල්තෙල්, කොහු කෙඳි, කෙසෙල් කෙඳි, කුරුඳු, පැඟිරි ආදියෙන් අගය එකතු කිරීමේ නිෂ්පාදන බිහි කිරීමට එහිදී මඟ පෙන්වයි. එම ක්ෂේත්‍රයන් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමේදී ඉතාමත්ම වැදගත් වෙයි. ඊට අමතරව වගා මලු නිපදවීමේ කෙටි කාලීන පාඨමාලාවෙන් කඩිනම් වගා වැඩපිළිවෙළට දිරි දීමටත් හැකියාව ලැබෙයි. රසායනික ක්ෂේත්‍රය යටතේ ඉටිපන්දම්, සුවඳ කූරු, ඩිටර්ජන්ට් කුඩු, තීන්ත, තිනර් ආදිය නිෂ්පාදනය පුහුණු කෙරේ. එමඟින් ආනයන ගැටලු හා එම වියදම් අධික වී තිබෙන මෙකල වුවද ඉන් වැඩි ආදායමක් ඉපයීමට හැකි වෙයි.

නුපුහුණු ශ්‍රමිකයන් වශයෙන් විදෙස්ගත වීමෙන් ලබනවාට වඩා වැඩි වැටුපක් මෙරටදී මෙවැනි පාඨමාලා හැදෑරීමෙන් ඉපයිය හැකි අතර, ව්‍යවසායකයකු වශයෙන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීමටද ඉන් මඟ පෑදේ. එමෙන්ම පරිගණක තාක්ෂණික අංශය යටතේ ජාලකරණ හා දෘඪාංග ආදි පාඨමාලාද මෙහි පැවැත්වේ.

කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යනුවෙන් හඳුන්වන්නේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයකි. 1969 අංක 36 දරන කාර්මික සංවර්ධන පනත මඟින් එය බල ගැන්වේ. මේ පනතට අනුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟාසිටුවීමේ අරමුණින්, කාර්මික අංශය සංවර්ධනය කිරීමේ වගකීම පැවරී ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලයයි.

මේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වය කර්මාන්ත අමාත්‍යවරයා විසින් පත් කරන සභාපතිවරයකු සහ සාමාජිකයින් නව දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙත පැවරෙන අතර, මේ වන විට එහි සභාපති ධුරයෙහි කටයුතු කරනුයේ රවී නිශ්ශංක මහතායි. මීට අමතරව සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය සහාය දෙමින් එහි පරිපාලන යන්ත්‍රණය ඉදිරියට ගෙන යෑමේ වගකීම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති අතර, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් කාර්යාල 25ක ජාලය හරහා ප්‍රාදේශීය මට්ටමින් මෙරට ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා මේ කාර්මික සංවර්ධන මණ්ඩලය සුවිශේෂ වූ පුළුල් වැඩ කොටසක් සාර්ථක ලෙස ඉටු කරමින් සිටී.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division