Home » සේපියන්ස්ලාටම ගිය ග්‍රහයා AIලා පැහැර ගනී ද?

සේපියන්ස්ලාටම ගිය ග්‍රහයා AIලා පැහැර ගනී ද?

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment
පුරාණ මෙස­පො­තේ­මි­යානු දෙවි­ව­රුන් ලාක්ෂ­ණික අං සහිත ඔටුනු පැලඳ සිටින අයුරු දැක්වෙන තඹ මිශ්‍ර ලෝහ පාදම සහිත රූප හත­රක් (ක්‍රි.පූ 2130)

හෝමෝ සේපියන්ස් ජීවිතය සෙසු ජීවීන්ට සාපේක්ෂව අතිශයින්ම අසිරිමත්ය. සේපියන්ස්ලාටම ගිය ද මේ ග්‍රහලෝකය මෙහි වසන කුරාකුහුඹු කුදුමහත් සෑම ජීව විශේයකටම අයිතිය. එහෙත් එය සේපියන්ස්ලා අතින් AIලා අත්පත්පත් කර ගනීවි දැයි බොහෝ සේපියන්ස්ලා කල්පනා කරති.

AI කියන්නේ මිනිසා විසින්ම නිර්මාණය කළ මිනිස් මොළයට සමානව තීන්දු-තීරණ ගන්නා දැවැන්ත පරිගණක තාක්ෂණික පරිණාමික ප්‍රවාහයකටය. මේ තාක්ෂණික ප්‍රවාහයට, මානව බුද්ධියට අවශ්‍ය වන ආකාරයට හෝ මිනිසුන්ට විශ්ලේෂණය කළ හැකි පරිමාණයට වඩා වැඩි දත්ත ඇතුළත් කළ හැකි සහ තර්ක කිරීමට, ඉගෙනීමට මෙන්ම ක්‍රියා කිරීමට ද හැකියාව තිබේ.

ඉදින්, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය හෙවත් විද්‍යානුකූල ජීවයේ සම්භවය කතා පුවත දෙස යන්තමින්වත් නොබලා මේ කතාව පටන්ගන්න අපට නොහැකිය.

මීට වසර බිලියන 4.6කට පෙර පෘථිවි ග්‍රහලෝකය නිර්මාණය වූ බව පැවසේ. එතැන් සිට ආදි සූපය නමැති ගිනියම් වූ පොළෝ තලයේ විවිධාකාර මූලද්‍රව්‍ය සම්මිශ්‍රිතව සෑදුණ ආදි සූපය නමින් ව්‍යවහාර වුණ පැන්තලසා මහ මුහුදේ අදාළ රසායනික සංඝටකත් නිරතුරුව සිද්ධ වන අකුණු සැර සමඟ මුක්ත වන ශක්තියත් සමඟ ඇති වී සංයෝග ඇසුරෙන් ක්‍රමිකව ජීවයේ මූලිකාංගය වන ඩීඑන්ඒ අණුව නිපදවී ක්‍රමිකව ඒකසෛලික ජීවය නිර්මාණය වී, අනතුරුව බහුසෛලික ජීවීන් නිර්මාණය වී, අවසන මුහුදු ජීවීත බිහිවී, මුහුදු ජීවීන් ගොඩබිමට පැමිණ මහපොළොවේ ජීවයේ සම්භවය ගැන විද්‍යාත්මක පොසිල සාක්ෂ්‍ය පදනම් කර ගත් කියවීමක් තිබේ.

ජීවයේ පරිණාමය වත්මන් සේපියන්ස්ලාගේ පෘථිවි ග්‍රහලෝකයට සමගාමිව හෝ ඊට වසර බිලියන ගණන්වලට පෙර සිට හෝ විවිධ මන්දාකිනිවලට අයත් ග්‍රහලෝකවල සිදු වූ බවටත්, ඔවුන්ගේ තාක්ෂණය විවිධ හැඩයෙන් යුක්තව දියුණුව තිබූ බවටත් ජනප්‍රිය අදහස් තිබේ.

1849දී පමණ, පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූ, අදින් වසර 4,200ක් පමණ ඉපැරණි සුමේරියන් ශිෂ්ටාචාරයට අයත් මැටි පුවරු ලිපි 14ක් මඟින් අනාවරණය කෙරෙන, අහසින් ආ දෙවියන් යන අරුත හෙවත් අනුනාකි (Anunnaki)වරුන් පෘථිවියට පැමිණීම ගැන ද අවධානය යොමු කිරීම සුන්දරය.

මන්දාකිනියේ ඈත කෙළවරක වූ නිබිරු (Nibiru) නමැති ග්‍රහලෝකයක සිට අනුනාකිවරුන් පැමිණ ඇත්තේ, ඔවුන්ගේ ග්‍රහලෝකයේ වායුගෝලය ඛාදනයවීමේ දෝෂය වළක්වනු වස්, අවශ්‍ය රත්‍රන් වාෂ්ප නිපදවීමට ප්‍රමාණවත් රත්‍රන් රැගෙන යෑමටය.

එහෙත් සේපියන්ස්ලා නොදියුණු මානවයන් ලෙස සිටි වකවානුවක, පිටසක්වළක සිට ගමනාගමනය දියුණු ජීවීන් පෘථිවියට පැමිණ සිය තාක්ෂණික ඥානය ඔස්සේ විද්‍යාගාර තුළදී, ජාන කලවම් කර මිහිතලය මත ඔවුනට සමාන සේපියන්ස්ලා නිර්මාණය කළේ යැයි යන ජනප්‍රිය අදහස ද බැහැර කළ නොහැකිය.

එහිදී, අනුනාකිවරුන් මෙසපොතේමියාවේ ජීවත් වෙමින් ඔවුන් විසින් ඉරිදු (Eridu) නමැති සුන්දර නගරය ඉදි කළ බවත්, එහි පලතුරු සහ සතුන් පිරි සුන්දර උයනක් වූ බවත්, එය දෙවියන්ගේ කැමතිම ස්ථානය වූ බවත් පැවසේ. ඉරිදු උයන ඊඩන්ගේ (Eden) උයන හෙවත් ආදම්ගේ උයන විය හැකි බවටද ප්‍රසිද්ධ මතයකි.

කෙසේ වෙතත්, අවු-වැසි-සුළං සහ ආහාර සොයා ජීව විශේෂ අතර ඇති තරගයේදී, මිනිසා හැමවිටම තමන්ට වඩා අදිසි බලයක ආශීර්වාදය ලබාගන්නට කල්පනා කර තිබේ. හෝමෝ සේපියන්ස් ලා පෘථිවි ග්‍රහලෝකය අනෙක් සියලු ජීව විශේෂ අබිබවා දිග්විජය කරන්න හේතුව ගොඩනැඟෙන්නේ භෞතිකව මොළයේ පරිමාව සමඟ මොළයේ ස්නායු සෛල ප්‍රමාණයේ වැඩිකමත්, ඒවායේ ක්‍රියාකාරකම්වල වර්ධනයත් නිසා ඇති වූ චින්තන පෙරළිය හේතු වූ බව නොරහසකි.

එකී බුද්ධිමහිමය විසින් ගොඩනැඟුණු ප්‍රධාන කුසලතා දෙකක් නිසා නිශ්චිතවම පෘථිවියේ අධිපතිත්වය ලබන්නට සේපියන්ස්ලාට හැකි වූ බවට වත්මන විශ්වාස කරනු ලබන අදහසකි. එනම්: ඔවුන් සතු වූ ප්‍රබන්ධ යථාර්ථකරණය කිරීමට තිබූ කුසලතාවත්, ඔවුන් විසින් පරිකල්පිත එකී ප්‍රබන්ධ යථාර්ථයන් සත්‍යය බවට සේපියන්ස් ප්‍රජාවම විශ්වාස කොට කටයුතු කිරීමේ ප්‍රවණතාවත් නිසා සිදු වූවක් බව කියති. මේ ගැන ද නැවත නැවත මතක් නොකර සිටිය නොහැකය. ආගම් සහ දෙවියන් පිළිබඳ සංකල්පය ද ප්‍රබන්ධ යථාර්ථ කරණයත්, එකී පරිකල්පිත ප්‍රබන්ධ විශ්වාස කිරීමත් හා ඍජුවම බද්ධ වූ කාරණාය.

ඒ අවුඅස්සේ, රොකට්ටුවකින් හෝ කිසියම් යානාවකින් අහසින් පිටසක්වළ සිට ජීවියකු පැමිණියේ නම් ඔවුන් අනිවාර්යයෙන් දෙවියන් ලෙස සලකන්නට ආදි මානවයා පසුබට වන්නට නැතැයි ද සිතිය හැකිය. ශුද්ධ වූ බයිබලයේ දෙවියන් වහන්සේ විසින් ප්‍රථම මිනිසා සහ ගැහැනිය වූ ආදම් සහ ඒවා මැවීම පිළිබඳ කතාවස්තුවට සුමේරියන් ශිෂ්ටාචාරයේ අනුනාකි කතා වස්තුවේම තවත් එක් අපූරු දිගුවකැයි ද සමහරු පවසති.

එවැනි සංකල්ප ඔස්සේ නූතන සේපියන්ස්ලා පරිකල්පනය කරමින් කොතෙකුත් පර්යේෂණ සිදු කරමින් සිටී. ඒවා අතිශයින්ම සිත්ගන්නා සුලුය. මිනිසා විසින්ම ප්‍රබන්ධ යාථාර්ථකරණ ලෙස පරිකල්පිත දෙවියන් පිළිබඳ ආගමික විශ්වාස ගැන කතා කිරීම සමහර ජනකොටස්වලට සංවේදි කාරණාය. දෙවියන්ට එරෙහි වන, අගරුවන කාරණා කතා කිරීම දේව උදහසට පත්ව මිනිසුන් විසින්ම ඒකාව මරා දමා දඬුවම් පැමිණ වූ ඉතිහාසයක් තිබේ.

එහෙත් වත්මන වන විට, ලොව දියුණු වූ ජනසමාජවල සේපියන්ස්ලා විසින් ඒ සීමාව අතික්‍රමණය කර ඇත. සේපියන්ස්ලා විසින්ම ගොඩනගන ලද දැනුම ගැන නැවත නැවත විවිධ මානයන්ගෙන් ශාස්ත්‍රීය පර්යේෂණ මට්ටමින්ම ඒවා සිදුවෙයි. ඒවා පෞද්ගලික අරියාදු ලෙස ගෙන උරණවන්නෝ ඒ ජන සමාජවල අල්පය. එහෙත් තුන්වැනි ලෝකයේ සහ මැදපෙරදිග කලාපවල මේ තත්ත්වය තවමත් සියවස් ගණනක් පිටුපසය.

ලොව විවිධ කාලවකවානුවල විවිධ වූ සූක්ෂ්ම බුද්ධි ප්‍රභාවක් ඇති අතිශයින්ම ප්‍රබුද්ධ සේපියන්ස්වරු උපදිති. සමහරු දෙවියන්ගේ පුත්‍රයෝය. සමහරු දෙවියන්ගේ ආත්මයෝය. තමහරු බුදුවරුය. තවත් සමහරු පසේබුදුවරුය. ඔවුන්ගේ බුද්ධි ප්‍රභාවේ පුළුල්භාවය මත සේපියන්ස් ඥාන ශ්‍රෝතයට එකතුවන දාර්ශනික සංකල්ප මෙන්ම දැනුම ද බොහෝය. එවැනි ප්‍රබුද්ධයන්ගෙන් කොටසක් ආගමික ශාස්තෘන් වූ විට, ඒවන් දේව වාක්‍යයක් කිසිවකුට වෙනස් කළ හැකි නොවේ. ඒවා එහෙම තමාය. ඒ ලෙසින්ම පිළිගත යුතුය. එහෙත් ඒ ප්‍රාඥයන් ද ඒ වකවානුවේ තමා ලද දැනුමට සාපේක්ෂව සිය මොළයේ සුවිශේෂ ප්‍රබලතාව අනුසාරයෙන් පළ කළ දැනුම් කලාපයක් බව සිතිය යුතුමය.

අතීතය ගැන විද්‍යානුකූලව පරිකල්පනය කිරීමත්, අනාගතය ගැන පරිකල්පනය කිරීමත් බුද්ධිකලම්බන වැඩකි. එහෙත් ආගමික විශ්වාස විසින් සේපියන්ස්ලාගේ මේ අතීතකාමි සහ අනාගතවාදි සිතිවිලි සිතිය යුතු රටාවක් හඳුන්වා දී තිබේ. ඒ ඒ ආගමික සහ සංස්කෘතික කාරණාවලින් දී ඇති උපදෙස් මත පමණක් සිතිය යුතුය.

එහෙත් දියුණු සමාජ ඉන් බොහෝ අපගමනය වී, චින්තනය නිදහස් අවකාශයක් ඔස්සේ ගමන් කරවා තිබේ. එය මානව දැනුම මඟින් දිනපතා යාවත්කාලීන වන විද්‍යානුකූල චින්තන රටාවය. එය බොහෝ නම්‍යශීලිය. එසේම හේතු ප්‍රත්‍ය සහිතව ගමන් කරන ප්‍රවාහයකි.

අතීතය වැඩකුත් නැතිය. අනාගතය වැඩකුත් නැතිය. වර්තමානයේ ඔබ ඔබ ගැන මෙනෙහි කරන්න කියා ගැඹුරු ආගමික ශාස්ත්‍රීය ඉගැන්වීම් තිබේ. එහි වෙනම දාර්ශනික ගැඹුරක් ඇත. එහෙත් එහි මුඛ්‍ය අරුතින් මිනිසුන් අතීතය සහ අනාගතය ගවේෂණය නොකළේ නම් වත්මන පවතින තාක්ෂණික දියුණුවක් ළඟා කර ගන්න ද නොලැබෙන්නේය.

1969 වසරේ ලෝක ව්‍යාපෘතියක් ලෙස, විද්‍යාඥයන් විසින් සඳ යානය හෙවත්, ඇපලෝ 11 අභ්‍යවකාශ යානය නිර්මාණය කරද්දී, අභ්‍යවකාශයේදී ශරීරයේ ඇති වන ලෙඩ රෝග හඳුනා ගැනීම, ශල්‍යකර්ම කිරීම වැනි දෑ සඳහා වෙනම වෛද්‍ය කණ්ඩායම් ඔවුන් සමඟ යැවීමට නොහැකි නිසා ඒ සඳහා තාක්ෂණික උපකරණ නිර්මාණය කර තිබේ. අදටත් භාවිත වන ස්කෑනර් යන්ත්‍ර ඇතුළු දියුණු ශල්‍ය වෛද්‍ය උපකරණ නිර්මාණය කිරීමේ දැවැන්ත පියවරක් ඒ හරහා නූතන සේපියන්ස්ලාට ලැබී තිබේ. රැහැන් රහිත තාක්ෂණය හෙවත් දූරස්ථව පාලනය කළ හැකි තාක්ෂණය, LED ආලෝකය, අධෝරක්ත උෂ්ණත්වමාන, රැහැන් රහිත වැකුම් තාක්ෂණය ආදී මේවා අදවන විට බහුලව භාවිත කෙරේ.

අකේ­ඩි­යානු මැටි­ඵ­ලක මත මුද්‍රා තබන ලද, වන්ද­නා­ක­රු­වන් වට වී සිටින, සිංහා­ස­න­යක් මත වැඩ සිටින අක්කේ­ඩි­යානු වෘක්ෂ දේව­තා­වි­යක්  (ක්‍රි.පූ 2350-2150)

අකේ­ඩි­යානු මැටි­ඵ­ලක මත මුද්‍රා තබන ලද, වන්ද­නා­ක­රු­වන් වට වී සිටින, සිංහා­ස­න­යක් මත වැඩ සිටින අක්කේ­ඩි­යානු වෘක්ෂ දේව­තා­වි­යක් (ක්‍රි.පූ 2350-2150)

අනාගතයේ මානව සන්නිවේදන‍ෙය් ද කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය ගැනත් කීමට ඇත්තේ ද ඊටත් එහා පරිකල්පිත සිතිවිලිවලට පණ දීම්ය.

වැඩේ කියන්නේ, සේපියන්ස්ලා විසින් AI නිර්මාණය කර පණ දුන් පසු, සේපියන්ස්ලාගේ පරිණාමයට වඩා වේගයෙන් AI පරිණාමය සිදු වීමය. AI විසින් ස්වයංසිද්ධව තීන්දු තීරණ ගන්නේ සපයා ඇති පරිගණක වැඩසටහන් මූලාශ්‍රය ඇසුරෙන් වුවද, යම් මොහොතක ඒ ආකෘතිය බිඳ, තමන්ගේ හිතුමනාප අනුව AI විසින්ම කවදාක හෝ නසරානි වැඩසටහන්වලින් උපයුක්ත කළ AI නිපදවිය නොහැකි නොවේ. එවැනි දිනක හොමෝ සේපියන්ස් මිහිමත කතන්දරයට ආයෙත් කණකොකා හඬනු ඇතිය.

එහෙත් එහෙමම අශුභවාදිව සිතිය යුතු ද නැත. ඊට මෙහායින්, වඩා මානව හිතවාදි, පරිසර හිතකාමි, සියලු සත්ත්ව හිතකාමි සහ කොටින්ම පෘථිවි හිතකාම AIවලින් AI පරිණාමය වැඩිදියුණු කිරීමට සේපියන්ස්ලා කටයුතු කළ යුතුය. එය සිදු වන්නේ කෙසේද යන්න ගැන පලාපල, සේපියන්ස් අප කාටත් නුදුරු අනාගතයේදීම පසක් කර ගැනීමට සිදු වනු ඇතිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division