දෙල්කඳ කිව්වහම මතකයට එන්නේ කුමක්ද?
“වෙන මොනාද ඉතිං පොළ තමයි?”
ඔබට නිශ්චිතවම පිළිතුරක් ලැබෙනු ඇත. ඒ නිසාම දෙල්කඳ පොළ ගීතයටද ප්‍රස්තුත වී ඇත.
‘රතු රටකජු සුදු රටකජු එකට උයාලා
රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා
සමරේ අයියගේ සරමේ සමර ගෑවිලා
ඒවා අනේ හෝදගන්න වතුර මදි වෙලා… හා… හා…
චූටි ටීචගේ ටෝච් එකෙ බැටරිය බැහැලා
අල ලොරියයි ලූනු ලොරියයි එකට පෙරළිලා
කෙහෙල් බද්දරින් තරගෙට බයිලා ඇහෙනවා
කිඹුල බනිස් වගේ ඒවා නැඟලම යනවා… හා… හා…
රම්පට පොරි හැලෙයි… දෙල් ගහෙ පොල් හැදෙයි
දොම්පෙට හරි දුරයි… වියදම් කෝටියයි
දෙල්කඳ පොළෙන් ගෙනා හොඳ කිරි අළුවා
වාගේ සින්දු ගොතා කියලා බැලුවා
මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා’
මේ ගීතයේ කියන පරිදි දෙල්කඳ පොළේ කිරි අළුවා ද තිබිණි. රටකජුද තිබිණි, රතු චීත්තද චූටි ටෝච්ද දකින්නට තිබිණි. පිටකොටුවෙන් ගෙනා අල ලොරි සමඟ ගැටුණ ලූනු ලොරිද දෙල්කඳදී දැකගත හැකි විය. රම්පෙට පොරි හැලෙන මියුසික් සමඟ බඩු මිල දී ගන්නා ගැනුම්කරුවන්ද එදා දෙල්කඳ පොළේදී දැකගත හැකි විය. ඒත් දෙල්කඳ පොළට පසුගිය සතියේ ගිය අපට ඇසුණේ පොළක ඇහෙන ගී අනුවාදනයක් නොවේ. එය ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රීඩාපිටියක අසන්නට ලැබෙන ගී අනුවාදනයකි.
දෙල්කඳ හන්දියේ ඇත්තේ ගංගොඩවිල සෝම හිමියන්ගේ උඩුකය පිළිමයකි. ඊට පසු රත්තණපිටිය දෙසට යන විට වම්පස ඇත්තේ පරංගියා කෝට්ටේ ගිය ඇළයි. එහෙත් එය ගෝඨාභය යුගයේදී කොන්ක්‍රීට් ස්ලැබ් දමා වසන ලදි. ටිකක් දුර යන විට දකුණුපස ඇත්තේ දෙල්කඳ පොළයි. ඒත් මේ දෙල්කඳ පොළ පරම්පරා ගණනක් ස්ථානගතව තිබුණු තැන නොවේ. දෙල්කඳ පොළ පරම්පරා ගණනාවක් තිබුණේ හයිලෙවල් පාරේ මීටර් 100ක් පමණ මහරගම දෙසට වන්නටය. දෙල්කඳ පොළ තරම් මෙරට කාව්‍ය නිර්මාණවලට, ගීතවලට, නවකතාවලට, කෙටිකතාවලට පාදක වූ පොළක් තවත් නැති තරම් විය යුතුය. දෙල්කඳ පොළට ‘කොළඹ හතේ පොළ’ යන අන්වර්ථ නාමයක්ද පටබැඳී ඇත්තේ එයට කොළඹ හතේ ඇත්තන් පවා එන නිසා විය යුතුය.
පසුගිය සතියේ මුල දෙල්කඳ පොළට ගිය අපට දැකගත හැකි වූයේ අදහාගත නොහැකි දසුනකි. වෙනදාට පොළ ආරම්භයේ සිට ගොඩගැසී තිබෙන ඉවත් කළ එළවළු ගෝණි, කැළිකසළ කිසිවක් එදා එහිදී දැකගත නොහැකි විය. මුළු පොළ භූමියම සුද්ධ-පවිත්‍ර කොට තිබිණි. පොළ පැවැත්වෙන, විනිවිද පෙනෙනසුලු ප්ලාස්ටික් යෙදූ වක්‍රාකාර වහලය යට කොටසින් අපට ආඝ්‍රාණය කළ හැකි වූයේ විෂබීජ නාශක දියර වර්ගයක සුවඳකි. දෙල්කඳ පොළ භූමිය එකම බාස්කට් බෝල් තරග පිටියක් බවට පත්වී තිබිණි.
මේ පෙරළිය කළ සුගත් තෙවරප්පෙරුම මේ දෙල්කඳ පොළ පාර හරහා ගමන් කිරීමද අමුතුම දෛවෝපගත සිදුවීමකි. ඔහුගේ වාහනයක වූ විදුලි දෝෂයක් නිසා තැන් කිහිපයකටම ගිය මුත් සුගත්ට එය අලුත්වැඩියා කරගත නොහැකි විය. අවසානයේ සුගත්ට දැනගත හැකි වූයේ රත්තණපිටිය අසල තැනක කාර්මික ශිල්පියකු මේ වාහනයේ විදුලි දෝෂයට නම් දරාපු පුද්ගලයකු බවයි. මේ විදුලි කාර්මිකයා ගැන ලැබුණ ඉඟියෙන් පසු සුගත් දෙල්කඳ හන්දිය පසු කර රත්තණපිටිය දෙසට වාහනය පදවන්න වූ මුල් දිනයේම දෙල්කඳ පොළ භූමිය දැක මවිතයට පත් විය.
“මම මේ ගොඩනැඟිලි දැක්කම මවිත වුණා. උස වහලක්. ගෝලාකාර හැඩයක්, බිමට ටයිල් දාලා. වටේට වාහන දෙතුන් සීයක් නවත්වන්න පුළුවන්. ඇතුළට හොඳ ආලෝකය වැටෙනවා. කොළඹ මේ වගේ තැනක් තියෙනව කියල මට හිතාගන්නවත් බැරි වුණා. හරියට බාස්කට් බෝල් තරගාවලියකට හදපු ගොඩනැඟිල්ලක් වගේ. මම වාහනයෙන් බැහැල බැලුවා මවිතයෙන් වගේ. හරියට කිරුමට මිම්මට බාස්කට් බෝල් (Tailor Made) ගොඩනැඟිල්ලක් වගේ. එතකොට පොළ දවසක්. මම වටේ අය එක්ක කතා කළා. දවස් දෙකයි පොළ තියෙන්නේ කියල දැනගත්තා. මං තීරණය කළා නාගරික සංවර්ධන අධිකාරියට ගිහින් මේ ගොඩනැඟිල්ල ගැන අවසර ඉල්ලන්න.”
සුගත්ට වඩාත් පහසු වූයේ තමන්ගෙන් ඉගෙනගන්නා බාස්කට් බෝල් ශිෂ්‍යයකුගේ පියකු නාගරික සංවර්ධන අධිකාරියේ සේවය කිරීමය.
“ඔය හිතන තරම් ලේසි වුණේ නැහැ නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ගන්න. මම දිනපතාම ප්‍රධාන කාර්යාලයට ගියා විවිධ සම්බන්ධතා හරහා ගිහිල්ල ගිහිල්ල අන්තිමට දවසක් රෑ 7ට විතර ඩී.ජී.ජී. ප්‍රසාද් හමු වුණා. ප්‍රසාද් කිව්වා Tell me your story කියලා. මම මේ දෙල්කඳ භූමිය බාස්කට් බෝල් භූමියක් බවට පත් කරන මගේ සම්පූර්ණ සැලැස්ම ඉදිරිපත් කළා. ප්‍රසාද් පුදුමයෙන් වගේ අහන් හිටියා. මේ වගේ තැනක් වියදම් කළොත් මිලියන 100කට වත් දැන් තියෙන භූමි වටිනාකම අනුව ගොඩනඟන්න බැහැ. අන්තිමට කොන්දේසි කීපයක් මත අපට ගොඩනැඟිල්ල දෙන්න පියවර ගත්තා. අපිට ඉතිං බාස්කට් බෝල් සංගමයක් වශයෙන් ලොකු සල්ලියක් නැහැ. මාසිකව රු. 125,000/=ක බදු මුදලකට තමයි අපි මේක ගත්තේ.”
ගොඩනැඟිල්ල බදු ගත්තත්, ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ පොළ පැවැත්වූ දිනවලින් පසු ගොඩනැඟිල්ල මුළුමනින් පිරිසුදු කරගැනීමය. එය අධික වියදමක් දැරිය යුතු කටයුත්තක් විය.
“අපි මේ ගෙඩනැඟිල්ල භාර ගන්නේ සඳුදා උදේ. හතර දෙනෙක් වැඩ කරනවා. ඒ අයට කන්න බොන්න පඩිනඩි දෙන්න ඕනැ.”
මේ පොළ භූමියේ කසළ ඉවත් කරනු ලබන්නේ අබාන්ස් ආයතනය විසිනි.
“හෝල් එක භාරගත්තම මුලින්ම අපි වයර් බුෂ් තියෙන පොලිෂරයෙන් පොළොව කපනවා. ඊට පස්සේ කුණු පැල්ලම් ඔක්කොම යවනවා. ඊට පස්සේ වතුර දාල හෝදල මඩ ඔක්කොම අයින් කරනවා. ඊටත් පස්සේ මොප් කරල තෙතමනය අයින් කරනවා. නැත්නම් ක්‍රීඩා කරන්න බෑ ලෙස්සනවා.”
සුගත් පවසන පරිදි මේ ටයිල් භූමිය බාස්කට් බෝල් ක්‍රීඩා කිරීම සඳහා සුදුසු ලෙස සකසන්නට එයට මිලිමීටර් 6ක පමණ රබර් ආවරණයක් යෙදිය යුතුය. ගණන් බලා ඇති පරිදි ඒ සඳහා වැය වන මුදල මිලියන හයකි.
“එතකෙට පොළ දවසට වට්ටක්කා, මඤ්ඤොක්කා, පතෝල ඔය කාපට් එක උඩ තියන්ද විකුණන්න වෙන්නේ? නැත්නම් ඒක ගලවන්න පුළුවන්ද?” මම අසා සිටියෙමි.
“ඒක දැම්මට ඒක උඩින් ‘වයිනයිල්’කියන කාපට් එක අතුරන්න පුළුවන්. ඒක උඩ ඕනැ දෙයක් පුටුමේස වුණත් තියන්න පුළුවන්. සේවකයෝ දෙතුන් දෙනෙක්ට පුළුවන් ඒක රෝල් කරල අතුරන්න. එතකොට මෙතන සුද්ධ කරන වියදමත් නිකම්ම ඉතුරු වෙනවා.”
පොළ භූමිය භාර දීමෙන් පසු එය පිරිසුදු කිරීමට වරකට වැය වන මුදල රු. 30,000කි. ඒ කියන්නේ මාසයකට අවම ලෙස රු. 120,000ක් අවම ලෙස වැය වේ. මෙහි ඇති බාස්කට් බෝල් රින්ග් දෙක ඉතා ආකර්ෂණීය නිමාවෙන් යුක්තය. අපට සුගත් මේ ගැන කිව්වේ මෙසේය:
“බාස්කට් බෝල් රින්ග් ඉන්ටනැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට තියෙන්න ඕනැ නිසා අපි මේවා චීනෙන් ගෙනාවේ. මේ දෙකට අපිට ලක්ෂ 30ක් වියදම් වුණා.”
මසකට පවිත්‍රතා කටයුතු සඳහා වැය වන රු. 120,000 සමඟ නාගරික සංවර්ධන අධිකාරියට ගෙවන රු. 125,000ක බදු මුදලත් සමඟ දැනට මේ බාස්කට් බෝල් අංගණය සඳහා නඩත්තුවට මූලිකවම රු. 250,000ක මුදලක් බරපැන දැරීමට සිදු වී ඇත.
අප කළ සමීක්ෂණයකදී පෙනී ගියේ මේ දෙල්කඳ බාස්කට් බෝල් අංගණය වටා දිවයිනේ නමගිය පාසල් 30ක් පමණ ඇති බවයි.
“ඇයි ඉන්ටනැෂනල් ස්කූල් දහයකට වඩා තියෙනවා. මේ බොහොමයක් පාසල්වල බාස්කට් බෝල් ක්‍රීඩාවක් වශයෙන් පුහුණු කෙරෙන්නේ නෑ. අපේ මූලික අරමුණක් මේ ඉස්කෝලවලට බාස්කට් බෝල් හඳුන්වලා දෙන එක.”
දැනට මේ බාස්කට් බෝල් අංගණය සඳහා බැරපැන දරන්නේ සුගත් විසින්මය. මෙහි දැන් විශාල බාස්කට් බෝල් අංගණයක් හා ඊට කුඩා අංගණයක් ඇති අතර, ඉන් විශාල එක රු. 4000කටත් කුඩා එක රු. 2000කටත් පැයක කාලයක් සඳහා කුලියට ගත හැකිය. ප්‍රවීණ පුහුණුකරුවන් අතින් බාස්කට් බෝල් ක්‍රීඩාව පුහුණු කිරීමද මෙහිදී සිදු කෙරේ.
“අපි මේ බාස්කට් බෝල් සුමානයට දවස් 4ක් උගන්වනවා. මාසයට දවස් 16යි. රුපියල් 6000ක් අය කරනවා. සමහර ළමයි එනවා මවුපියෝ එක්ක. අපි මුලින් දවස් 2 – 3 නිකං පුහුණු වෙන්න දෙනවා. ඒත් මවුපියන්ට ගෙවන්න සල්ලි නෑ. අපි කියනවා පුළුවන් ගාණක් ගෙවන්න කියලා. හැබැයි කොන්දේසිය ළමයා පුහුණුවීම්වලට එවන්න ඕනැ කියන එක. සමහර ලොකු කම්පැනිවල සල්ලිකාරයන්ගේ දරුවන්ගෙන් අය කරන ගාස්තුව නම් කීයටවත් අඩු කරන්නේ නැහැ.”
“දැන් මේ ක්‍රීඩාවට ඇල්මක් දක්වන දැවැන්ත ආයතන තියෙනවා. ඒවාවලින් අනුග්‍රාහකත්වයක් ලබාගන්න අදහසක් නැද්ද?”

දෙල්කඳ පොළ
“අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ එහෙම අනුග්‍රාහකත්වයක් ලැබෙනවා නම් මේක පවත්වාගෙන යන එක පහසුවක්. අපේ අරමුණ තියෙන්නේ ළමයි 200කට මේ බාස්කට් බෝල් උගන්නන එක. ඒ ටාගට් එක හරි ගියොත් මේක පවත්වාගෙන යන එක ලොකු පහසුවක් වෙයි.”
“එතකොට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ ගැන බලන්න ආවේවත් නැද්ද?”
“නෑ. නෑ කවුරුවත්ම ආවේ නැහැ. කාලයකට කලින් නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ එක අංශයකින් ඇවිල්ල වීඩියෝ කරන් ගියා අද වෙනකම් ආවේ නැහැ.”
සුගත් මේ කාර්යය ආරම්භ කොට ඇත්තේ 2024 ජූලි 22 වැනිදාය. එහෙත් ඔහු තෙමසක කාලසීමාවක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගෙන ඇත්තේ සූදානම් වීම සඳහාය.
“සමහර වහල තෙමෙන තැන් හදන්න වුණා. බාස්කට් බෝල් ඉගෙනගන්න එන ළමයි ලිස්සල වැටුණොත්. තව පොඩි පොඩි රෙපයාර් තිබුණා. මෙතනට එනවා ලොකු පවුල්වල වගේම පොඩි ආදායම් මට්ටමේ ළමයි. අපි විනය ගැන තදින්ම සැලකිලිමත් වෙනවා.” සුගත් පැවසීය.
“මේක ළමයින්ට ආරක්ෂිත තැනක්. වටේට නෙට් එකක් දාලා තියෙන්නේ. අනවසරයෙන් කාටවත් ඇතුළු වෙන්න බැහැ.”
සුගත් පවසන්නේ මෙවැනිම වූ බොහෝ ගොඩනැඟිලි විවිධ ප්‍රයෝජන සඳහා ගත හැකි බවයි.
“දැන් බලන්න පිටරටවල තරුණ පරම්පරාවට ගීතයක් වාදනය කරලා කියලා මිනිස්සුන්ට රසවින්දනයක් ලබන්න කොච්චර තැන් තියෙනවද? ලංකාවේ එහෙම දෙයක් කරන්න ලොකු හෝල් එකකටම යන්න වෙනවා. දැන් කාට හරි පුළුවන් මේ වගේ තැනක ඒ වගේ ඉදිරිපත් කිරීමක් කරන්න. කොහොමත් මම සංගීතයට ළැදියි.”
වොලිබෝල් කියූ විට අපගේ මතකයට නැඟෙන්නේ ගම්පහ සෙන්ට්‍රල් පිල සිහි වන්නට 1984 ජූලි 24 දින ගම්පහ දුම්රියපොළ අසල ගොඩනැඟූ ස්මාරකයයි. දෙල්කඳ පොළ අසලින් යන විටත් මතු දිනෙක අපේ හපනුන් මෙතැනින් පුහුණු වී බාස්කට් බෝල් සම්මානයක් ජාත්‍යන්තරව දිනා ස්මාරකයක් ගොඩනැඟෙනු ඇතැයි අපේද බලාපොරොත්තුවයි.
අතීතය අවුස්සන විට පෙනී යන්නේ 1955 දී ටී.ඩී.එල්. චාල්ස්ගේ නායකත්වයෙන් යුතු වොලිබෝල් කණ්ඩායම එදා මදුරාසියට ගොස් තරග වදින බවය. එදා කෝච්චියෙන් ඉන්දියාවට ගොස් ඇත්තේ ඉන්දියාවේ රජයේ අනුග්‍රහයෙනි. ඉන්දියාවේ ප්‍රාන්ත 12ක තරගවලින් ලංකාවෙන් ගිය ගම්පහ වැඩ්ඩන් ජයග්‍රහණය කළ තරග ගණන 7කි.
මේ දෙල්කඳ බාස්කට් බොල් පිටිය ගොඩනැඟූ සුගත් තෙවරප්පෙරුම කුඩා කල විසූ ගම් පළාත වන්නේ මරදාන ටෙක්නිකල් හන්දිය අසල නිවෙසකි. සුගත්ගේ තාත්තා රජයේ සේවකයකු වූ අතර අම්මා ගුරුවරියක් වූවාය. “මේ මරදාන ගේ අරන් තිබුණේ රු. 30,000කට. එතකොට අම්මගේ පඩිය රු. 458යි. තාත්තගේ පඩිය රු. 457යි. තාත්තගේ මුළු පඩියම ගියා ලෝන් එකට. අම්මගේ පඩියෙන් ජීවත් වුණේ.”
සුගත් උගත්තේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේය. පාසල් සමයේදීම ජාතික බාස්කට් බෝල් පිලට එක් වූ සුගත් විදේශ සංචාර 2කට සහභාගි වී තිබිණි. එහෙත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නට ලකුණු 4ක් මදි විය. ඒ අවස්ථාවේ සුගත්ගේ සහයට ආවේ ක්‍රීඩාවය. ජාතික පිලට ක්‍රීඩා කර ඇති බැවින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නට ඔහුට හැකි විය. එහිදී වාණිජ උපාධිය ගන්නට ඔහුට හැකි විය. එමෙන්ම 1987, 1993 හා 1995 සාෆ් තරගාවලියේ බාස්කට් බෝල් ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වී සම්මාන දිනාගැනීමටද ඔහුට හැකි විය.
සුගත් මුලින්ම සේවයට බැඳෙන්නේ පෞද්ගලික බැංකුවකටය. දේශීය පෞද්ගලික මූල්‍ය සමාගම් කිහිපයක සේවය කිරීමෙන් අනතුරු හේ 2005 දී ඩුබායිහි බැංකු සේවයට එක් වෙයි. “මට කිව්වේ ඩුබායිවල ඉඳන් අලින් කියන ටවුමේ බැංකුවට පැය 1 1/2යි කියලා. බැලුවම හයිවේ එකේ කිලෝ මීටර් 200ක විතර ගමනක්.” සුගත් පැවසුවේ සිනා සෙමිනි. සුගත් ඩුබායිහි ගත කළ කාලය වසර 15කි.
“මට 1984 දි වයස 17යි. බාස්කට් බෝල් තරගයකට කොරියා යන්න ලැබුණා. ඒ කාලේ ඉන්ටනෙට් නෑ. රට මොකක්ද කියලා හොයාගන්න බෑ. කොහොමත් ඒ කාලේ ලංකාවේ කොරියාව කිව්වේ ටකරන් ගහපු දුප්පත් මුඩුක්කු තිබ්බ පැතිවලට.
එතකොට යුද්ධයක් තිබිල කොරියාවේ. අම්ම බයවුණා කන්න නැතිවෙයි කියලා. අපි 12 දෙනෙක් ගියා කොරියාවට. අඩුගානේ හීතලට අඳින Warm up kit එකක්වත් තිබුණේ නෑ. අම්ම යනකොට බෑග් එකට බිස්කට් දැම්මා කන්න නැතිවෙයි කියලා.”
කොරියාවට ගිය සුගත් ඇතුළු පිරිස එහි දියුණුව දැක අන්දමන්ද වූහ.
“අපි ගියේ රබර් සෙරෙප්පු දාගෙන, ටීෂර්ට් ඇඳගෙන. කොරියන් ක්‍රීඩකයෝ ඇඳල හිටපු ඇඳුම් දැකල අපි පුදුම වුණා. එච්චර දියුණු රටක්ද කියලා. එච්චර අඩු පහසුකම් තිබිලත් අපි ජපානය වගේ රටවල් එක්ක හැප්පිලා හයවැනි තැන ගත්තා.”
ඔහු පවසන්නේ දැන් චීනයේ ප්‍රධානතම ක්‍රීඩාව වන්නේ බාස්කට් බෝල් ක්‍රීඩාව බවයි.
සුගත් විවාහ වී සිටින්නේ වොලිබෝල් ශූරියක සමඟය. ඇය 1991 සාෆ් තරගාවලියේ වොලිබෝල් රන් පදක්කම දිනූ රේණුකා අබේගුණවර්ධන යාපාය. සුගත්-රේණුකා යුවළගේ දරු දෙදෙනාද ක්‍රීඩාවේ ඉහළම හිණිපෙත්තේ සිටින දෙදෙනෙකි.
“1991දී සාෆ් ගේම්වලට අපි නැවතිලා හිටියේ මහරගම තරුණ සේවා සභාවේ. රේණුකා අනුරාධපුරෙන් ඇවිල්ල හිටියේ වොලිබෝල් සාෆ් ගේම්වලට. අපි දෙන්නටම හිටියේ ජපන් පුහුණුකරුවන්. එතකොට ජනපති ප්‍රේමදාස ක්‍රීඩාවට උපරිම දායකත්වයක් වෙළෙඳ ආයතනවලින් අරන් දුන්නා.”
“එතකොට ප්‍රේම සම්බන්ධය ඇති වුණේ එතැනදිද?”
“නෑ නෑ. අපේ ජපන් කෝච්ලා කතා වෙලා තමයි අපි දෙන්නව සම්බන්ධ කළේ. ඊට පස්සේ අවුරුදු 10ක් ප්‍රේම කරලා අපි විවාහ වුණා…”
සුගත් අවසන් වශයෙන් අපට පැවසීය.

කැළිකසළ සේදී පිරිසුදුව සුවඳ හමන බාස්කට් බෝල් අංගණය

දෙල්කඳ පොළ පැවැත්වෙන දිනක දසුනක්
ඡායාරූප – සුදත් නිශාන්ත
වජිර ලියනගේ