වත්මන් ගෝලීය පරිසරය, නව බලශක්ති පිළිබඳ අත්හදාබැලීම් මෙන්ම පවතින බලශක්ති වඩාත් ඵලදායි ලෙසත්, වඩාත් සුපිරිසුදු ආකාරයටත් භාවිත කරන්නේ කෙසේද යන කාරණා පිළිබඳ උත්සුක වීමට පටන්ගෙන ඇති ආකාරය විස්මිතය! ‘බලශක්ති ආරක්ෂාව’ යන සංකල්පය 21 වැනි සියවසේ ඉතා තදින්ම කතිකාවට බඳුන් වී ඇති මාතෘකාවක් වී ඇත.
ඒ අතරිනුත් හරිත හයිඩ්‍රජන් බලශක්තිය, ලෝකය මවිත කරන්නා වූ ආකාරයකින් ඉතා පුළුල් පරාසයකින් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කර හමාරය. හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ගෝලීය වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් ද ජාතික රාජ්‍ය අභ්‍යන්තරයෙන් ද සුවිශේෂ අත්හදා බැලීමට මෙන්ම භාවිතයට ද ලක් වී හමාරය.
ඉන්දියාව නොබෝදා හයිඩ්‍රජන් බලශක්තියේ උපරිමයට ළඟා වූ අවස්ථාවක් පිළිබඳ ඉතා අනර්ඝ පුවතක් වාර්තා වී ඇත. ඒ, ඔවුන් හයිඩ්‍රජන් බලශක්තියෙන් ධාවනය වන්නා වූ දුම්රිය එන්ජිමක් නිර්මාණය කළ බව සමස්ත ලෝකයටම දැන්වීමයි. ඉන්දීය දුම්රිය කටයුතු පිළිබඳ අමාත්‍ය අශ්වින් වයිජනව් මහත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කර ඇත්තේ, හයිඩ්‍රජන් බලශක්තිය භාවිත කර ලෝකයේ බලසම්පන්නම (අශ්වබල 1200කින් යුතු) දුම්රිය එන්ජිම ධාවනය කරවීමට සූදානම් බවයි. මේ දුම්රිය එන්ජිමේ ප්‍රථම පෙරහුරු චාරිකාව ජින්ඩ් සෝනිපට් හරහා හරියානා ප්‍රදේශය වෙත ගමන් කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ සමීපතම, කුලුපග අසල්වැසි රාජ්‍යය වූ ඉන්දියාව, දකුණු ආසියාතික රාජ්‍යයක් ලෙස හරිත හයිඩ්‍රජන් බලශක්ති සංක්‍රාන්තියට මේ ආකාරයෙන් දායක වීම අපටද සතුට කාරණයකි.
මේ හයිඩ්‍රජන් බලශක්ති දුම්රිය ඉදිරියේ දී ඉන්දියාවේ නිල්ගිරි කඳුකර දුම්රිය මාර්ගය, කල්කා ෂිම්ලා දුම්රිය මාර්ගය, මතෙරාන කඳුකර දුම්රිය ප්‍රදේශය හා ධර්ජලීන් හිමාලයන් දුම්රිය මාර්ගවල ධාවනය වීමට කටයුතු සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම ඉන්දියාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් බලශක්ති ආරක්ෂාව යන විෂය පථය ඉතා හොඳින් ග්‍රහණය කර ඇති බවත්, ඉතා සාර්ථකව එහි සැරිසරු බවත්ය. වසර 2030 වන විට ටොන් මිලියන 5ක නිෂ්පාදිතයක් හරිත හයිඩ්‍රජන් බලශක්තිය භාවියෙන් උදා කර ගැනීම අරමුණු කොට ඇති ඉන්දියාව හරිත හයිඩ්‍රජන් බලශක්ති කතාන්දරයේ පෙරටුගාමි නියමුවන් ලෙස ගෝලීය වේදිකාවේ කදිම ස්ථාවරයක පවතී.
ඉන්දියාව හයිඩ්‍රජන් බලශක්ති භාවිතයෙන් ඉදිරියට යෑමට මුල පුරනු ලැබුවේ 2022 ජනවාරි 4 වැනිදා ජාතික හරිත හයිඩ්‍රජන් මෙහෙයුම අනුමත වීමත් සමඟිනි. මේ ඔස්සේ ඉන්දියාව නිෂ්පාදනය, භාවිතය හා අපනයනය යන ක්ෂේත්‍රවල හරිත හයිඩ්‍රජන් භාවිතයේ ගෝලීය නායකත්වය ගන්නන් බවට පත්වීම අරමුණු විය.
ඉන්දියාව පෙන්වා දෙන ආකාරයට ඉදිරියේදී හරිත හයිඩ්‍රජන් නිෂ්පාදන ක්ෂේත්‍රයන් තුළ රැකියා අවස්ථාව ලක්ෂ හයක් පමණ විවෘත වන බව ඇස්තමේන්තු කර ඇති අතර, 2047දී ඉන්දීය බලශක්ති සංක්‍රාන්තියේ හදවත ලෙස විස්තර වී ඇත්තේ, හරිත හයිඩ්‍රජන් බලශක්තියයි. ඉන්දීය බලශක්ති පිළිබඳ දර්ශනපතය මේ හරහා නැවත හැඩගැන්වීමක් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සුවිශේෂි වූ රාජ්‍යතාන්ත්‍රීය සබඳතා උදෙසා යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. හරිත අනාගතයක් පිළිබඳ දැක්ම ඉතාම පහසුවෙන් ලඟා කර ගත හැකි සරල ක්‍රමවේදයක් නොවේ. ඉන්දියාව හයිඩ්‍රජන් දුම්රිය තාක්ෂණය භාවිත කරන ලෝකයේ රාජ්‍යයන් කීපය අතරට ඉහළට අශ්වබල පණගැන්වීම මැදි කොටගෙන එක්වීම ඉන්දීය හයිඩ්‍රජන් බලශක්ති සංක්‍රාන්තියේ නොමැකෙන සිද්ධියක් වනු නො අනුමානය.
ඇත්ත වශයෙන්ම ඉන්දීය හයිඩ්‍රජන් බලගැන්වූ දුම්රිය එන්ජිම හුදු සොයාගැනීමක් පමණක් නියෝජනය නොවන අතර, එමඟින් ඉන්දියාව තිරසර සංවර්ධනයේ නායකත්වය මෙන්ම හරිත හයිඩ්‍රජන් ආරක්ෂාවේ පෙරටුගාමිත්වය ද මනාව පිළිබිඹු වන බව ගෝලීය විචාරකයින් පෙන්වා දී ඇත. මේ කර්තව්‍යය හරහා ගෝලීය රාජ්‍යයන් සමඟ හරිත හයිඩ්‍රජන් තාක්ෂණික අත්දැකීම් හුවමාරුව විශේෂයෙන්ම ඉන්දියාව මුරුසි දිවයින සමඟ මේ අරභයා සාමූහික ආයෝජන ගිවිසුමකටද අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සමස්ත ලෝකයම දැවැන්ත දේශගුණික විපර්යාසයක, පාරිසරික ගැටලුවක පසුවද්දී අවම කාබන් ප්‍රතිශතයක් වායුගෝලයට මුදාහැරීම නැතිනම් කාබන් මුදාහැරීම මුළුමනින්ම වියැකීම ගෝලීය තලයේ අරමුණකි.
ඉන්දියාව නොබෝදා හයිඩ්‍රජන් බලශක්තිය, දුම්රිය එන්ජිම ක්‍රියාකාරිත්වය සාර්ථකව දියත් කිරීමෙන් පිළිබිඹු වූයේ, ඉන්දියාව හරිත හයිඩ්‍රජන් බලශක්ති මාරුව අබියස ඉතා සාර්ථක ප්‍රවේශයකට මෙන්ම ගෝලීය නායකත්වයකටද පිවිස ඇති බවයි. හරිත හයිඩ්‍රජන් බල ශක්තිය ඉතා සුපිරිසුදු බලශක්තියක් වන අතර, එහි අතුරුඵලයක් ලෙස වායුගෝලයට මුදාහරිනු ලබන්නේ ජලය හා වාෂ්ප පමණකි. කිසිදු ආකාරයකින් කාබන් මුදාහැරීමක් එහි නැති (කාබන් ශූන්‍ය) බැවින් ගෝලීය වශයෙන් මේ උදෙසා යොමු වීම අරුමයක්ද? ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හරිත හයිඩ්‍රජන් බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ ඉතා අපූරු ප්‍රකාශයක් කොට ඇත. එනම්, “බල ශක්ති මාරුව හා තිරසර සංවර්ධනය ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනයේ මධ්‍යගත අංගය බවට පත්ව ඇති බවත් ඉන්දියාව පිරිසුදු හා හරිත පෘථිවියක් වෙනුවෙන් කැප වී ඇති බවත්ය” යන්න විදෙස් මාධ්‍ය ප්‍රකාශ කොට ඇත.
හරිත හයිඩ්‍රජන් බලශක්තියේ ගෝලීය විමසුම
ලෝකයේ මේ වන විටත් හයිඩ්‍රජන් ඉන්ධන බලශක්ති දුම්රිය එන්ජිමක් නිපදවීමේ ගෞරවය හිමි කරගෙන තිබුයේ රටවල් හතරක් වන අතර, ඒ ජර්මනිය, ප්‍රංශය, චීනය හා එක්සත් රාජධානියයි. ඒවායේ අශ්වල ශක්තිය වාර්තා වූයේ, 500-600 අතර ප්‍රමාණයකි. එහෙත් ඉන්දියාවේ හයිඩ්‍රජන් බලශක්ති දුම්රිය එන්ජිම අශ්වබල 1,200ක බලයකින් යුක්ත වීම ගෝලීය අත්පත් කර ගැනීමකි. ඉන්දියාව 2030 වන විට හරිත හයිඩ්‍රජන් බලශක්ති සැලැස්මේ තවත් එක් අංගයක් ලෙස මේ හයිඩ්‍රජන් දුම්රිය එන්ජිම ප්‍රවර්ධනය විස්තර වී ඇති අතර, අනාගතයේදී එය ගමනාගමනය, කර්මාන්ත සහ බලය උත්පාදක යන ක්ෂේත්‍ර උදෙසාද භාවිත කිරීමේ සැලසුම් වාර්තා වී ඇත. ගෝලීය හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය 2023 මෙට්ට්‍රික් ටොන් 97 පමණකට ළඟා වී ඇති අතර, චීනය හයිඩ්‍රජන් බලශක්ති (Cell) භාවිතය අතින් ලෝකයේ පළමු තැන සිටින රාජ්‍යය වේ. අනාගත ලෝකයේ කාබන් ශූන්‍ය කිරීමේ අවශ්‍යතාවේ ප්‍රධානතම හා අත්‍යවශ්‍යම බලශක්ති ප්‍රවාහය ලෙස විස්තර වන්නේ හරිත හයිඩ්‍රජන් වන අතර, හරිත හයිඩ්‍රජන් බලශක්ති තාක්ෂණය නඟාසිටුවීම එක් මානයකට පමණක් විහිදී නැති වූවක් වන අතර, පාරිසරික තාක්ෂණික හා ආර්ථිකමය යන සියලු පැතිකඩ ඔස්සේ විහිදීම මහත් භාග්‍යයකි. එමෙන්ම ගම්බද ප්‍රදේශවලට ද හරිත හයිඩ්‍රජන් බල ශක්තිය, විමධ්‍යගත බලශක්ති මූලාශ්‍රයක් ලෙස යොදාගත හැකිය.
හරිත හයිඩ්‍රජන් පුනර්ජීවක බලශක්තියක්ද?
බලශක්තිය භාවිතය ලෝක රාජ්‍යයන් මුහුණ දෙන දේශගුණික විපර්යාසාත්මක ගැටලුවට ද ඉතා කදිම සහායක් සලසා දේ. ඒ මේ බලශක්ති භාවිතයෙන් දේශගුණික මධ්‍යස්ථභාවයට ළඟා වීමට සුවිශේෂ ඉඩකඩක් පැවතීමයි. පුනර්ජීවක බලශක්තීන් වන සූර්ය හා සුළං බලයෙන් හයිඩ්‍රජන් බලශක්තිය නිෂ්පාදනය හරිත හයිඩ්‍රජන් ලෙස විස්තර වන අතර, නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ඉතා පුළුල් පරාසයකින් යුතුව භාවිත කිරීමට හැකිවීම නව පර්යේෂකයන්ට ද හයිඩ්‍රජන් බලශක්තිය ඔවුන්ගේ පර්යේෂණ උදෙසා පැහැදිලි මාවතක් සලසා දේ. හරිත හයිඩ්‍රජන් සංක්‍රාන්තිය එක්තරා ආකාරයකින් නව ගෝලීය විප්ලවයක් ලෙසින් ද විස්තර වේ. ඒ මන්ද යත්: හයිඩ්‍රජන් තාක්ෂණය, විවිධ ජාතික රාජ්‍යයන්ගේ ප්‍රතිපත්ති හා ආර්ථික ව්‍යූහයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන අතරම, එය හයිඩ්‍රජන් උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස ද භූමිකාවක් නියෝජනය කරයි.
හයිඩ්‍රජන් උපායමාර්ග යුරෝපීය සංගමයේ හරිත වැඩපිළිවෙළෙහි ද කොටසකි. අමෙරිකා එක්සත් ජනපදය, ජාතික පවිත්‍රතා හයිඩ්‍රජන් උපාය මාර්ගය හා එහි සැලැස්ම උදෙසා ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරන රාජ්‍යයකි. යුරෝපීය සංගමය හයිඩ්‍රජන් උපාය මාර්ගික ක්‍රමවේදයේ ඉලක්කයක් ලෙස 2050 වන විට හයිඩ්‍රජන් භාවිතය 2% සිට 14% දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉන්දියාව ද 2047 වසර වන විට හරිත හයිඩ්‍රජන් ඉලක්ක වෙත ළඟාවීමේ මාර්ගයේ ඉතා සාර්ථකව සැරිසරමින් පවතින අතර, දුම්රිය එන්ජිම උදෙසා යොදාගනු ලැබූ මේ බලශක්තිය ඉදිරියේදී විශාල ට්‍රක් රථ ඉදිරිකිරීමේ උපාංග සඳහා යොදාගැනීමට ද විශාල සූදානමක් පවතී.
පී.ආර්. දුෂාන්ති සිල්වා