පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවෙන් නික්ම යන අවස්ථාවේ ප‍්‍රතිඥාවක් දුන්නේ තම සහෝදර ශ්‍රී ලංකාවට නව ඩිජිටල් තාක්ෂණය ඉහළ නැංවීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම්, නොපමාව සැලසීමට තම රජය සූදානම් බවයි. එය අපට මහත් අස්වැසිල්ලක් මෙන්ම නව අනාගත බලාපොරොත්තු මල්ඵල ගැන්වීම සඳහා කෙරෙන ඉමහත් සහයෝගයකි.
ඉන්දියාව මේ තත්ත්වය අත් කරගෙන ඇත්තේ එරට බලධාරීන් S.T.E.M නැමැති, Science, Technology, Engineerin සහ Mathematics යන විෂයයන්හි සමෝදාන වැඩපිළිවෙළක් මඟින් මීට සෑහෙන කලකට පෙර සිට ළමා අවධියේ සිටම, ළමයින්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය නවීන ලෝකයට හෙවත් 21 වැනි ශත වර්ෂයට මුහුණ දිය හැකි පුද්ගලයන් බිහි කිරීමට යෝග්‍ය වන පරිදි නවීකරණය කරගත් බැවිනි.
මේ බව වටහා ගත් අපගේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ලෙස උසස් පෙළ විශිෂ්ට අයුරින් ජය ගන්නා දක්ෂයන් 200ක් තෝරා, ඔවුන්ට ලෝකයේ අති නවීනතම විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යත්ව පිරිනමා, උපාධියෙන් පසු අනිවාර්යයෙන් මවු රටට සේවය කිරීමට ඉඩ සලසා නවීන තාක්ෂණය අපද උකහාගත යුතු බවයි.
2000 වර්ෂයේ දී අමෙරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වූ මේ S.T.E.M යන කෙටි නමින් හැඳින්වෙන ලෝකයේ රටවල් 96ක් පුරා දැනට ක්‍රියාත්මක වන නවීන අධ්‍යාපන ක්‍රියාවලිය කුමක්දැයි සරලව පැහැදිලි කර ගනිමු.
දරුවකු පාසල් පන්ති කාමරයේ දී වෙන් වෙන් වශයෙන් ඉගෙන ගන්නා Science, Technology, Engineering සහ Mathematics යන විෂය කොටස් ඒ ආකාරයෙන්ම වෙන් වශයෙන් යොදා බාහිර ලෝකයේ ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකිය. එහෙත් ඉහත විෂයයන්ගේ සමෝදානයක් ලෙස හෙවත් සමස්තය එකට සලකා ප්‍රශ්නවලට මුහුණ දීමේ කුසලතාව ළමයින්ට හුරු කළේ නම් තමාට මෙලෙස බාහිර ලෝකයේ මුහුණ දීමට සිදු වන ගැටලුවලට තාර්කික චින්තනයකින් යුතුව මුහුණ දීමේ ශක්තිය ප්‍රවර්ධනය කරගනිමින් තමා වෙත එන අභියෝග ජය ගැනීමේ නිර්මාණාත්මක නිපුණතාවය අත් කරගත හැකිය. මෙලෙස S.T.E.M නව අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් නිර්මාණශීලී චින්තනයෙන් යුතුව ඒවා විශ්ලේෂණය කර, ඉදිරියට එන ඕනෑම අභියෝගයට මුහුණ දිය හැකි 21 වැනි සියවස ජය ගන්නා සිසු පරපුරක් බිහි කළ හැකි බව මේ අධ්‍යාපන ක්‍රමයේ පදනමයි.
ශිෂ්‍යයන් කණ්ඩායම් වශයෙන් යොදා කරනු ලබන S.T.E.M අධ්‍යාපනික ක්‍රියාකාරකම්වල දී විවිධ වයස් මට්ටමේ සහ විවිධ බුද්ධිමට්ටමේ සිසුන් යොදා ඔවුන් විසින් සාමූහිකව ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කර, එමගින් කණ්ඩායමක් වශයෙන් නිගමනවලට එළඹීම තුළින් ඔවුන් අත්කර ගන්නා ජයග්‍රහණ එකිනෙකාගේ පෞද්ගලික අත්දැකීම් ලෙස උකහා ගන්නා මෙම දරුවන් එම දැනුම ඉදිරි අනාගතයේ දී තමා තනිවම මුහුණ දෙන දුෂ්කර සංකීර්ණ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ දී (Search for researach innovation and pratices) ඉතා නිවැරදිව උපයෝගී කර ගන්නා බව මනෝ වෛද්‍යවරු තහවුරු කර ඇත.
මේ නව අධ්‍යාපන සමෝදාන ක්‍රියාවලියෙහි වටිනාකම අවබෝධ කරගත් බොහෝ ආසියාතික රටවල් තම රටේ ළමයින්ට පන්ති කාමරය තුළ සිර කර දෙන දේශන ආකාරයේ හා කටපාඩම් කරන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනුවට අවට නිදහස් පරිසරය සමඟ ගැටී සහජීවනයෙන් අත් කරගන්නා නිදහස් තාර්කික චින්තන වර්ධනයක් තුළින් ළඟා කරගන්නා නිර්මාණාත්මක කුසලතාවයන් හා බැඳුණු නිදහස් අධ්‍යාපනයක් දරුවන්ට අත්කර දීමට පියවර ගැනීමෙන් මේ රටවල S.T.E.M අධ්‍යාපන මධ්‍යස්ථාන බිහි වී ඇත.
දැන් අපි 2002 වර්ෂයේ සිට 2011 දක්වා වසර 10ක් පමණ නුගේගොඩ අනුලා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා බාලිකාවන් මේ S.T.E.M අධ්‍යාපන ක්‍රියාවලියට සක්‍රීයව සහභාගිවීමෙන් මහඟු ප්‍රතිඵල අත්කර ගත් ආකාරයත්, ඒ හේතුවෙන් ඔවුන්ට දැන් මෙරට සහ පිටරටවල ඉතා ඉහළ තනතුරු ලැබීමට පවා එය ඉවහල්වී ඇති ආකාරයත් සැකෙවින් විමසා බලමු.
මා එම විද්‍යාලයේ සේවයට මුලින්ම පැමිණි 2002 වර්ෂය වන විටද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට මෙම S.T.E.M යන නවතම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව කිසිම තොරතුරක් වාර්තාවී නොතිබිණි. එහෙත් කැලණි විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව උපාධියක් ලබා මා මුල් වරට ගුරු පත්වීමක් ලබා සේවයට ගිය වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ දී මාගෙන් ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිත විෂයයන් උගත් ඉතා දක්ෂ ශිෂ්‍යයකු ඒ වන විට ඇමෙරිකාවේ ලෝක ප්‍රසිද්ධ බෙන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධරයා ලෙස සේවය කරමින් සිටි බැවින් අමෙරිකාවේ පළ වන නව අධ්‍යාපනය හා සම්බන්ධ තොරතුරු සියල්ල මා හට ඉතා ඉක්මනින් ළඟා විය. නව අධ්‍යාපනයේ වැදගත් ප්‍රගතියක් කරා පා නැඟීමට වඩාත්ම ඉවහල් වූයේ 2001 වර්ෂයේ දී ආරම්භ වූ The Journal of S.T.E.M. Innovation and research නමැති සඟරාව මඟින් පරීක්ෂණාත්මක දත්ත විශ්ලේෂණය මත පදනම් වී පළ කරන ලද ලිපි පෙළයි. American Educater නමැති පුවත්පතකින්ද මේ S.T.E.M. අධ්‍යාපනික සංකල්පය සහ එහි වැදගත්කම ලෝකයාට වටහා දෙන ලදි.
ගුරු ජීවිතයේ දී නිතරම අභියෝගවලට මුහුණදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගත් මා එම දිනවල අධිෂ්ඨාන කර ගත්තේ මෙම, මා ඉදිරියේ ඇති අභියෝගය දරුවන් උදෙසා නිර්මාණාත්මක තාර්කික බුද්ධිය පිබිදෙන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මගින්, මතු ජීවිතයේ දී ඔවුන්ටද විවිධ ජයග්‍රහණ අත්කර දීමට එය ඉවහල් වන පරිදි ක්‍රියාත්මක කළ හැකි බවයි.
පළමුව විදුහල්පතිතුමියගේ අවසරය පිට අ.පො.ස. උසස් පෙළ අවසාන වසර භෞතික විද්‍යාව හදාරන සිසුවියන් එක්රැස්කර ඔවුන්ගේ කැමැත්ත මත විද්‍යාලයීය ඉලෙක්ට්‍රොනික සංගමය ආරම්භ කරන ලදි. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යා විෂයය නිර්දේශයේ කාල පරිච්ඡේද 40ක්ම වෙන් කර ඇති 09 වැනි ඒකකය වන “ඉලෙක්ට්‍රොනික විද්‍යාව” පිළිබඳ සරල අවබෝධයක් මා විසින් එම ඉලෙක්ට්‍රොනික සංගමයේ දරුවන් හට ලබාදුන් අතර ඔවුන්ට ඉදිරියේ දී කිරීමට සිදුවන බාරදූර කාර්යය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදුනිමි. එවිට එම දරුවන්ද ඉතාමත් කැමැත්තෙන් සාමූහිකව සිය මිතුරියන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් එම කාර්යයට මැනවින් අනුගත විය.
මේ වන විටත් මා ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රකට නවීන ඉලෙක්ට්‍රොනික ඩිජිටල්කරණය පිළිබඳ අද්විතීය නාමයක් දරන රජයට අනුබද්ධ ආයතනයක් වන “ARTHUR C CLARKE CENTER FOR MODERN TECHNOLOGIES” ආයතනයට පෞද්ගලිකව මුදල් ගෙවා සති අන්තවල දී ප්‍රායෝගිකව සහභාගි වීමෙන් හදාරන ලද “Course in Practical electronics” යන පාඨමාලාව තුළින් මා හට පාසලේ දී භාවිත කරන ලද ශබ්ද වාහිනී පද්ධතියට සම්බන්ධ වර්ධක යන්ත්‍ර (Amplifiers) පටිගත කිරීමේ යන්ත්‍ර (tape Recorders) ශබ්ද වාහිනී යන්ත්‍ර (speakers) සහ ඒ ආශ්‍රීත ඩිජිටල් ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳවද මනා පුහුණුවක් 1997 වර්ෂයේ දී නවීන ඩිජිටල් උපකරණ හැසිරවීම තුළින් එම ආයතනයෙන් ප්‍රායෝගිකව ලබාගෙන තිබුණි. ඊට අමතරව 2001 වර්ෂයේ දී “Reytronics computer (Pvt) LTD” යන computer and information Technology ආයතනයට මුදල් ගෙවා computer Hardware Engineering Course යන පාඨමාලාව හදාරා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම පිළිබඳව හසළ බුද්ධියක් මා සතුව තිබිණි.
මා විසින් 2023 වර්ෂයේ දී දළ වශයෙන් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ පන්ති කාමරය තුළ සිර වී කටපාඩම් කරන ගතානුගතික පැරණි අධ්‍යාපන ක්‍රමය වෙනුවට අවට පරිසරය සමඟ එක් වී එකිනෙකා අතර නිදහස්, අදහස් හුවමාරු කර ගනිමින් 21 වැනි සියවසේ අභියෝගවලට තාර්කික චින්තනයෙන් යුතුව මුහුණ දීමේ කුසලතාවය වර්ධනය කරගත් මේ දරුවන්, දැනට ශ්‍රී ලංකාවේද, ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ අමෙරිකාවේද ඉහළ වගකීම් සහිත රැකියා කරමින් විශිෂ්ට අන්දමින් අනාගතය සාර්ථක කර ගෙන ඇති බවයි.
පහත සඳහන් වන්නේ කලාපීය ආසියානු රටවල මෙම S.T.E.M. යන නවීන අධ්‍යාපන සංකල්පය සිසුන් අතර ප්‍රචලිත කර, එහි විපුල ප්‍රතිඵල නෙලා ගැනීමට මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රගතියට රජයේ දායකත්වය සපයන ආකාරය සහ ශ්‍රී ලංකාව මෙම නවතම අධ්‍යාපනික ක්‍රියාවලියට ප්‍රවිෂ්ට වී ඇති ආකාරයයි.
මේ අතර, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය 2017 වර්ෂයේ සිට S.T.E.M සිට නව අධ්‍යාපන ක්‍රියාවලියට අනුගත වී එහි ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට විවිධ ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර ඇත. ජාතික අධ්‍යාපන ආයතනයේද (N.I.E.) සහයෝගය ලබාගෙන ප්‍රාථමික අධ්‍යාපන අවස්ථාවේද ද්වීතික අධ්‍යාපන අවස්ථාවේද පසුවන සිසු දරුවන් S.T.E.M. අධ්‍යාපන ක්‍රියාවලියට අනුගත කිරීම සඳහා එම ආයතනවල නියුතු බලධාරීන් දැනුවත් කිරීම සිදු කර ගෙන යනු ලැබේ. නවීන තාක්ෂණය පිළිබඳව පෞද්ගලික ආයතනවලද සහාය ගෙන, නව ඉලෙක්ට්‍රොනික ඩිජිටල්කරණ පිළිබඳව දීපව්‍යාප්ත පාඨමාලා පවත්වාගෙන යමින් ඒවා සාර්ථකව නිම කරන දරුවන්ට මෙරට සහ පිටරටවල රැකියා අවස්ථාවලටද යොමු වීම සඳහා වටිනා සහතික පත්‍රයක් ප්‍රදානයට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී. නව ඩිජිටල්කරණය පිළිබඳව සහ IT ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින දැනුමෙන් පරිණත පුද්ගලයින්ට ඉදිරි පරීක්ෂණවල නියුතුවීමට අවශ්‍ය අරමුදල් සපයන අතර, ඊට සම්බන්ධ ආයතනවල ප්‍රවර්ධනය සඳහා ද රජයේ අරමුදල් සැපයීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම අනුව දැනටමත් සිදු කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ පළාත් 9 තුළම රජය මඟින් පළාත් මට්ටමින් පිහිටුවා මේ වන විටත් සක්‍රීයව ක්‍රියාත්මක මට්ටමේ පවතින Computer Resources Centers මඟින් පාසල් හැර ගිය තරුණ දරුවන්ට පරිගණක තාක්ෂණයට අදාළ මූලික දැනුම සහ අවබෝධය දෙනු ලැබේ. ඉන්දියානු විදේශ අමාත්‍යවරයා අපේ නව ජනාධිපතිතුමාට පොරොන්දු වූයේ ඉලෙක්ට්‍රොනික ඩිජිටල්කරණ පිළිබඳව ශ්‍රී ලංකාවට නවතම තාක්ෂණය දීමට ඔහු ඉතාමත් කැමැත්තෙන් සිටින බවයි. මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මෙම සම්පත් මධ්‍යස්ථානවලට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ උපදේශකයන් 9 දෙනකු ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් පුහුණු කර අපගේ නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමට පියවර ගන්නා ලෙසයි. මෙලෙස ඉන්දියානු තාක්ෂණයෙන් (I.T.I.S) හෝ ඉන්දීය විද්‍යා අධ්‍යාපන සහ පර්යේෂණ (ITSERS) වැනි උසස් අධ්‍යාපන ආයතනයකින් පුහුණුව ලබා ඔවුන් මෙරටට පැමිණි පසු මෙම සම්පත් මධ්‍යස්ථානවලට අනුයුක්ත කර, ඒවා S.T.E.M. අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කර අවට පාසල්වල දරු දැරියන්ටද ඒවායේ සේවය කරන ගුරු භවතුන්ටද මේ ආයතනවල සේවය දීපව්‍යාප්ත මට්ටමින් සැපයිය හැකිය.
විමලසේන පනන්ගල
අනුලා විද්‍යාලීය විශ්‍රාමික ඉංග්‍රීසි මාධ්‍ය
භෞතික විද්‍යා ආචාර්ය