මෙවර ජන්ම අංක 09 හිමියෝ
ඔබ උපන්නේ ඕනෑම මාසයක 9,18,27, යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක 9 යි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ජන්ම අංක 9 හිමි ඔබගේ උපන් දිනයට අදාළ ජය සංකේත පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමටයි. ඔබගේ උපන් දිනයට අදාල ජය සංකේත භාවිතා කිරීම තුළ සාර්ථකත්වයත් ජයග්‍රහණයත් අත්පත් කර ගැනීමට ඔබට පහසුවෙන්ම හැකියාවක් පවතිනවා.
මේ පිළිබඳව ඔබ උනන්දු වන කෙනෙක් නම් ඔබට මෙය ඉතා වැදගත් වෙන අතර මෙම කාරණාවන් අනුගමනය කිරීම තුළ ඔබේ කටයුතු සාර්ථකත්වයට පත්කර ගන්නට ඔබට පහසුවක් සැලසේවි.
ජන්ම අංක නවය හිමි ඔබට මාර්තු 15 වැනි දා සිට අප්‍රේල් 15 දා දක්වා කාලය යහපත් මෙන්ම සුබදායක කාලයක් වෙයි. ඔක්තෝම්බර් 13 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා කාලය ද යහපත් කාලයක් වශයෙන් දැක්විය හැකියි. ඔබට මඟ පෙන්විය හැකි යහපත් මිතුරකු ලැබෙන්නේ වයස අවුරුදු 30 න් පසුවය. ඔබ ඉතාමත් බුද්ධියෙන් සිතා බලා කටයුතු කළ යුතු අතර ආත්ම ගරුත්වය ගැන අනවශ්‍ය ලෙස සිතීම පාලනය කළ යුතුය. ඔබ අනුන්ගේ වැරදි කතා නොකළ යුතු අතර ප්‍රියමනාප ලෙස ජීවත් වීමට හුරු වීම හොඳයි. ජන්ම අංක 9 හිමි ඔබට ගැලපෙන යහපත් වර්ෂ වන්නේ 9, 3, 6, 18, 27, 36, 45, 54, 63, 72 යන වර්ෂ වන අතර ඔබගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සැලසුම් මේ කාලවල යොදා ගැනීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. එසේම මාසයක් ඇතුළත යෙදෙන ඉහත දිනයන් ද සුබපල දෙන දින වෙයි. ආර්ථිකමය වශයෙන් ඉතාමත් වාසනාවන්ත පුද්ගලයෙක් බවට ඔබට පත්විය හැකිය. මුදල් ඉපයීමට ඔබ ඉතාමත් දක්ෂ වෙයි. එමෙන්ම හිතුමතේ වියදම් කිරීම ද දක්නට ලැබෙයි.මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වෙයි. මොවුන්ට දේපළ වෙළඳාම වගේම ව්‍යාපාර ද ඉතාමත් හොඳින් පලදේ. විශේෂ ව්‍යාපාර වශයෙන් ඉඩකඩම් සහ දේපළ වෙළඳාම යාන වාහන අමතර කොටස් විවිධ තාක්ෂණික යන්ත්‍රෝපකරණ, ආදිය වෙළඳාම ඔබට ගැළපෙන අතර ආරක්ෂක අංශය, විශාල ව්‍යාපාරික ස්ථාන පාලන කටයුතු, විධායක ශ්‍රේණියේ තනතුරු, ආදියද හොඳින් ගැලපේ. වකුගඩු සහ මුත්‍රා ආබාධ සම්බන්ධයෙන් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු අතර හෘදයාබාධ සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළ යුතුය.
යහපත් විවාහ සම්බන්ධතාවයක් සඳහා ඔබට ගැළපෙන්නේ ජන්ම අංක 9, 3, 6 හෝ ඕනෑම මාසයක 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 29 යන දිනවල උපන් අයයි.
ඔබට ජයග්‍රාහී වර්ණ වන්නේ රතු පාට, රෝස පාට සහ රතු පාටට හුරු දම් වර්ණයයි. මෙම වර්ණ හැකි සෑම අවස්ථාවකම භාවිතා කිරීම තුළින් ජීවිතයේ සාර්ථකත්වය සහ සතුට ජයග්‍රහණය උදා කර ගත හැකිය. විශේෂයෙන් දොර රෙදි, ජනෙල් රෙදි, ඇඳ ඇතිරිලි කොට්ට උර, ලේන්සු ආදිය සඳහා මේ වර්ණ හැකි තරම් යොදා ගැනීමටමට උනන්දු වන්න.
එමෙන්ම තද කොළපාට වර්ණය ඔබට ඉතා අසුබ වර්ණයක් වන අතර එය භාවිතා කිරීම අවම කරන්න. ඔබ වාහනයක් මිලදී ගන්නේ නම් එහි අංකය තනි අංකයක් ලෙස එකතු කළ පසු 3, 6, 9 අංකයක් වේ නම් ඉතා යහපත් වෙන අතර අනතුරුවලින් ද ආරක්ෂාව සැලසේ.එමෙන්ම ඔබේ ගමන් බිමන් ද සාර්ථක කර ගත හැකිය. වාහනයේ වර්ණය ඉහත සඳහන් ආකාරයට ඔබට සුබ වර්ණයක් නම් වඩාත් යහපත් වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක