වර්තමාන ආණ්ඩුව ජනමාධ්‍ය දඩයම් කරන බවට පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තෙන් පසුගිය දිනවල කන්කෙඳිරියක් ඇසිණි. මේ චෝදනාව ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ස්වකීය දේශපාලන ජීවිතයේ අවසන් අදියරේ දී සජබ සමඟ එක් වූ හිටපු ඇමැතිවරයකු වන ඩලස් අල්හප්පෙරුම විසිනි.
මාධ්‍ය නිදහස රාජපක්ෂලාගේ රෙජිමයේ යකඩ සපත්තුවට පෑගී තිබූ යුගයක, ඒ රෙජීමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපෙළේ විශ්වසනීය ඇමැතිවරයකු ලෙස කටයුතු කළ ඩලස් වර්තමාන මාධ්‍ය තත්ත්වය පිළිබඳ කරන විවේචනය සැබවින් ම ජුගුප්සාජනක ය.
මේ ප්‍රකාශය කළ ඩලස් එදා රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඩලස් ම ද යන්න ගැන කෙනකුට සැක සිතිය හැකි ය. රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් ‘ප්‍රේමදාස අපි සූදානම්’ කියා ලිවුවේත් මේ ඩලස් ම ද යන ප්‍රශ්නය ඉතිරි වේ. පසු ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් පෙනී සිටි අලහප්පෙරුම මේ වන විට සජිත් ප්‍රේමදාස සමඟ එක් ව සිටී! රාජපක්ෂලා සිය පැවැත්ම වෙනුවෙන් ඊනියා දේශප්‍රේමය සහ ජාතිය, ආගම යොදා ගත් අතර, මේ කිසිවකු එදා ඊට එරෙහිව පෙනී සිටියේ නැත.
ශ්‍රී ලංකාවේ විපක්ෂය විශ්වාස කරන්නේ මාධ්‍ය නිදහස යනු තමන්ට අවශ්‍ය අවස්ථාවල පමණක් ප්‍රයෝජනයට ගන්නට පෙට්ටගමක බහා ඇති පෞරාණික භාණ්ඩයක් කියා ය. මාධ්‍ය නිදහස පිළිබඳ ඩලස් වගුරමින් සිටින මේ කඳුළු කොතරම් ‘අවංක’ ද යන්න සොයා බැලීම වැදගත් ය.
රාජපක්ෂ රජයේ දූෂණය හා භීෂණය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම රටේ පමණක් නො ව, ලෝකය පුරා ම ප්‍රසිද්ධ ය. ධර්මරත්නම් සිවරාම්, ලසන්ත වික්‍රමතුංග ඇතුළු උතුරේත්, දකුණේත් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඝාතනය කෙරුණු අතර, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් අය අතුරුදන් කරවනු ලැබූහ. කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකට පහරකෑමට සිදු වූ අතර, තවත් පිරිසකට ජීවිතාරක්ෂාව පතා රටින් පලා යෑමට සිදු විය.
මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඒ යුගය නම් දරා සිටි අතර, මාධ්‍ය ආයතන සීල් තැබීම, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගැනීම, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම රාජපක්ෂලාගේ අවිචාර පාලන සමයේ එදිනෙදා සුලභ සිදුවීම් ය. 2006 ජනවාරියේ සිට 2015 ජනවාරිය දක්වා වූ කාලයේ මාධ්‍යවේදීහු 13 දෙනෙක් ඝාතනය වූහ. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් අතුරුදහන් වූහ. මාධ්‍යවේදීහු 87 දෙනෙක් පහර කෑමට ලක් වූහ. මාධ්‍යවේදීහු බුරුතු පිටින් අත්අඩංගුවට පත් වූහ. පෞද්ගලික මාධ්‍ය ආයතන 4කට පහර දීම්, ගිනි තැබීම් සිදු විය.
අද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්තිය විවේචනය කරන පිරිස එදා රාජපක්ෂලාගේ මාධ්‍ය දඩයම අනුමත කරමින් මුවින් නොබැණ සිටි අයුරු මේ රටේ ජනතාවට අමතක නැත.
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබෙන්නේ කැත, කිලිටි ඉතිහාසයකි. ශ්‍රී ලංකාව ජනමාධ්‍යවලට අනතුරුදායක රටක් හැටියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය තීරණය කර තිබිණි. පසුගිය දශක කිහිපය තුළ මේ රටේ බලයේ සිටි ආණ්ඩු මාධ්‍යයට වල්බූරු නිදහසක් දිය නොහැකි බව පවසමින් මාධ්‍ය දඩයම සාධාරණීය කළේ ය.
එදා මහ දවල් මහ මඟ ඝාතනය කරනු ලැබූ ලසන්ත වික්‍රමතුංග ගැන කතා කරන විට “හූ ඊස් ලසන්තා?” කියා ඇසූ පුද්ගලයා රටේ ජනාධිපති කිරීම වෙනුවෙන් මේ පිරිස් ඉදිරියෙන්ම වැඩ කළ බව රටේ ජනතාව දනිති.
මුද්‍රිත මාධ්‍ය හැරුණු විට මෙරට විදුලි සංදේශ නියාමන කොමිසම යටතේ සංඛ්‍යාත ලබා දුන් රූපවාහිනී ආයතන 33ක්, සැටලයිට් ටීවී 8ක්, ගුවන්විදුලි නාළිකා 54ක් තිබේ. ඒ සියල්ලට අමතරව, අද වඩාත් බලපෑම් සහගත මාධ්‍යය වී තිබෙන්නේ සමාජ මාධ්‍යයයි. මේ සියල්ල දඩයම් කිරීම සඳහා බලයේ සිටිය ආණ්ඩු විවිධ අණ පනත් සම්මත කර තිබේ. වර්තමාන ආණ්ඩුව ඒ කිසිවකට අත තබා නැත.
මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවට ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහතික වී ඇත. එසේ තිබිය දී ආණ්ඩුවේ භාවිතාව ගැන වැරදි අර්ථකථන දීම අපරාධයකි.