Home » හෙළ සිනමාවේ හෙට දවස
තාක්ෂණය හා නව අනුභූතීන් අයදින

හෙළ සිනමාවේ හෙට දවස

හෙළ සිනමාවේ 78 සංවත්සරය නිමිත්තෙනි

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment

හෙළ සිනමාවේ සැමරුම් සමයක් ආරම්භ වී ඇත. ප්‍රථම සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කොට වසර 78ක්, ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 52ක් පිරීමද මේ සැමරුම්වලට දායක වී ඇත.

සොඳුරු සිතුවිලි සමඟ වසර ආරම්භ වුවද රුපියල් කෝටි 17ක් වියදම් කොට තැනුවායි කියන ‘ගෞතම බුද්ධ මාතා’ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමේ උභතෝකෝටිකයකට අද නිෂ්පාදකවරු මැදි වී සිටිති. කලෙක බුද්ධාලම්භන ප්‍රීතියෙන් මෙවැනි චිත්‍රපට නැරඹූ ජනතාව බුදු සිරිත විවිධ අතට පෙරළමින් තමන් රැවටූ සිනමාවේදීන්ගේ නිවැරදි අරමුණු හඳුනා ගැනීම මීට ප්‍රධාන හේතුවක් වී ඇත. මෙහි අසාර්ථකත්වයට මීට අමතරව බුදු බ‍ණේදි නිතර නිතර සංඝයා මුවින් පිට වන පිරිහීමේ දොරටුවක් ගැනෙන ඔට්ටු ඇල්ලීමේ දැවැන්ත ව්‍යාපාරයකින් උකහා ගත් දෑ බොදු බැතිය පිරි ජනතාව වෙත සිනමා කෘතියක් සේ ඉදිරිපත් කිරීමද ඇතැමුන්ගේ මුවට ගෙන එන්නේ මඳ සිනාවකි. මෙය මෙසේ වුවද ‘හැව්ලොක් සිටි’ සිනමා සංකීර්ණයේ එක් සිනමා ශාලාවක චිත්‍රපටයක් නැරඹීමේදී එක් පුද්ගලයකුගෙන් අය කරන ගාස්තුව රුපියල් 3,500ක් වැනි ඉහළ තලයක පවතී. ඊට අමතරව කොළඹ නගරයේ ඇති PVR හා CCC සිනමා සංකීර්ණ තුළද තරමක ඉහළ මිලක් ගෙවීමෙන් සුව පහසු නවීන ශබ්දය හා ප්‍රමිතිගත ප්‍රක්ෂේපණයක් සහිතව චිත්‍රපට නැරඹීමේ අවස්ථාව උදා වී පවතී.

සිනමා හල පුරා බුලත් කෙළ ගසමින් සේවයේ යෙදෙන සේවකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද සහිත ග්‍රාමීය සිනමාහල්වලින් වර්තමානයේදි ප්‍රේක්ෂකයා දුරස් වෙමින් සිටී.

මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හෙවත් KCC සිනමා සංකීර්ණයේ ආරක්ෂක අංශයේ පූර්ණ අවධානයක් කුරුලු පැටවුන් වන් යොවුන් කාර්ය මණ්ඩලයේ සැලකීම්ද අවට ගම් නියම්ගම් පුරා ජනතාවක් ඒ වෙත ආකර්ෂණයට පාදක වී ඇත.

හපුතලේ ඔලිම්ර්ස් හෝටලයේ ඇති සිනමා ගෘහය මෙන් පෞද්ගලික ව්‍යාපාරයක් සිනමා හල් විවිධ තන්හි බිහි කළද සිංහල චිත්‍රපට නිර්මාණ කරුවාට ඒ තුළ තම චිත්‍රපට ප්‍රදර්ශනය ඉතාම අභියෝගාත්මක වී පවතී.

කොරෝනා උවදුරෙන් සිනමාව නැත්තටම නැති වී තිබුණු මොහොතක චානක පෙරේරා නම් තරුණ අධ්‍යක්ෂකවරයා නිර්මාණය කළ ‘ගජමෑන්’ ත්‍රිමාණරූපි චිත්‍රපටය ප්‍රේක්ෂක හදවත් පැහැර ගත්තේය. තාක්ෂණයෙන් පිරිපුන් සිනමාහල් දොළහක් ආරම්භක ප්‍රදර්ශනයට ලද ‘ගජමෑන්’ ලද අසීමිත ජනප්‍රියත්වය හේතුවෙන් තත්වගත විශිෂ්ට සිනමාහල් 25ක ප්‍රදර්ශනය ව්‍යාප්ත කිරීමට ‘ගජමෑන්’ වාසනාව ලද්දේය.

මේ චිත්‍රපට ඇතැම් යෞවන කණ්ඩායම් හත්-අට වතාවක් නැරඹුවේ මේ රටේදී මෙවැනි ත්‍රිමාණ වික්‍රමයක් තමන්ටද කළ හැකිදැයි අධ්‍යයනය කරනු පිණිසය. ආදායම් වාර්තා පිහිටවූ මේ චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබඳව එහි තිරණාටක රචක හා හඬ කැවීමේ ශිල්පී සුනෙත් චිත්‍රානන්ද සිංහල චිත්‍රපට ආදායම් ලැබිය හැකි පැතිකඩක් ගෙනහැර දැක්වුයේ මෙසේය:

“කොරෝනා කාලේ නිසා චිත්‍රපටය පෙන්වූ සිනාමා ශාලාවලදී ප්‍රේක්ෂකයාට දුන් ත්‍රිමාන නැරඹීමේ කණ්ණාඩියට අමතර රුපියල් 100ක මුදලක් ප්‍රේක්ෂකයකුගෙන් අය කළත්, අවසානයේදී ලාභය බෙදන විට ඉන් රුපියල් 50ක් චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමට දුන්නා. එය අලුත් තත්ත්වයක්. ඉන් ගජමෑන් ලද ආදායම ඉහළයි. මීට අමතරව රටවල් ගණනාවක ගජමෑන් ප්‍රදර්ශනය වුණා. උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගජමෑන් එක් දර්ශනයක අය කිරීම් වන ඩොලර් තිහෙන් ඩොලර් හත හමාරක් ගජමෑන් නිෂ්පාදකවරයාට ලැබුණා. “මෙල්බර් නගරයේ පැවැත්වෙන ක්‍රිකට් තරගයකට හතළිස් දහසක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැස් වෙනවා.

අපේ චිත්‍රපටයකට දස දහසක් නරඹන්නන් ගෙන්වා ගත හැකි නම් ඒ තුළ විශාල විදේශ විනිමයක් ලංකාවට ලබා ගන්න පුළුවන්. මේ ක්‍රමවේදය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාල හා තානාපති නිලධාරීන්ගේ අවධානය ඉතා වැදගත්. විදේශ රටවල සිටින ශ්‍රී ලංකිකයන් සිනමාව ගැන යාවත්කාලීන වු පිරිසක්. ඔවුන්ගේ ඇගයීමට ලක්වන චිත්‍රපට නිපදවීම තුළින් අපේ චිත්‍රපටවලට විදේශීය වෙළෙඳපොළක් ඇති කළ හැකි යැයි මා විශ්වාස කරනවා.”

මීට අමතරව වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටය මෙන්ම ‘විසල් ආදරය’ චිත්‍රපට ද්විත්වයද යොවුන් හදවත් දිනා ගත්තේය. මේ යොවුන් රසිකත්වය මෙසේ පවතිද්දී සිංහල සිනමාව අතරමග නතර වීමක් දිස් වේ. ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මේ විෂයය පිළිබඳව පළ කරන්නේ මෙවන් අදහසකි:

“අපේ සිනමාව ගැන කතා කරන්න අකැමැතිම තැනක මම ඉන්නේ. මොකද, පසුගිය අවස්ථා ගණනාවකදී අප කළ ප්‍රකාශ ඉල්ලීම් මේ වන තෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. චිත්‍රපට කර්මාන්තයක් ලෙස රඳා පවතින්නේ ඒ සඳහා මුදල් වියදම් කරන නිෂ්පාදකවරයාගේ හෝ නිෂ්පාදන කණ්ඩායමේ මූල්‍ය සුරක්ෂිතභාවය තුළයි. සිනමාවේ ප්‍රවර්ධනය විය යුතු විවිධ අංශ ගැන කතා කළත් තිරකතා හිඟ යැයි පවසන මෙකල පිටපත ලියන රචකයාට ගෙවන වටිනාකම කියන තැනේ ඉඳල මේ කර්මාන්තයට ඇගයීමක් ඇති වෙන්න ඕනෑ. හැකියාවෙන් පෝෂිත නිර්මාණවේදීන් නියමිත මිලක් සහිතව නිර්මාණයකට දායක කර ගැනීම තුළින් තමයි අපේ සිනමාව ඉදිරියට යන්නේ.”

මෙවැනි තත්ත්වයක් යටතේ අද චිත්‍රපට ප්‍රදර්ශනයේ අවසාන තීරණය චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල හා සිනමාහල් හිමියන් සතුව පවතී. එවැනි ඇතැම් සිනමාහල් තීරකයන්ට නිර්මාණකරුවාගේ පෙනුම දිරවන්නේ නැත්නම් ඔහුගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා බොරුය. ‘බහුචිතවාදියා’ නම් සිනමාත්මක කෘතිය අධ්‍යක්ෂණය කළ මාලක දේවප්‍රිය මෙසේ ගොදුරු වූ එක් පුද්ගලයෙකි. ඔහුගේ චිත්‍රපටය ප්‍රදර්ශනයට ප්‍රධානම බාධකය වූයේ අතිශයින්ම උද්ධච්ච සිනමාහල් තීරකයකුට ඔහුගේ පෙනුම දිරවන්නේ නැති වීමයි.

සුමිත් රත්නායකගේ ‘රං කොල්ලා’ චිත්‍රපටය මෙන්ම දර්ශන රුවන් දිසානායකගේ ‘ගොවි තාත්තා’ චිත්‍රපටයද මේ තීරකයා දැඩි සේ අකුල් හෙළුවේය. ‘පිං පොංව’ (රජිත හිරාන්) දිරවන්නේ නැති මේ පුද්ගයාට අප්‍රසන්නම චරිතයක් වූ ආචාර්ය හේමරත්න දිසානායකගේ ‘ජංගි හොරා’ චිත්‍රපටය ප්‍රදර්ශනය එළඹෙන දිනම ඔහුට එරෙහිව ඔවුන්ගේ මණ්ඩල තුළ බෙනට් රත්නායකගේ ‘කවුරුවත් දන්නේ නෑ’ චිත්‍රපටය මුදාහළේය.

හේමරත්නට වැඩ වරදිනවා වෙනුවට ‘කවුරුත් දන්නේ නෑ’ අබිබවා ‘ජංගි හොරා’ ප්‍රේක්ෂක ආකර්ෂණය ලද්දේය. අවසානයේ ඔවුන්ගේ සිනමාහල්වල ‘ජංගි හොරා’ ප්‍රදර්ශනය කොතරම් සාර්ථක වී ද යත්: ඔවුහු ඊට රාත්‍රී 9.30 දර්ශනයද එක් කොට ලාභ ලැබූහ.

බැලූ බැල්මට සිනමහල් කරා ප්‍රේක්ෂකයා කැඳවාගෙන පැමිණිය හැකි අනුභූතීන්හි විරල බව හෙළ සිනමාව පසුගාමී තැනකට තල්ලු කොට ඇත. මීට අනුගත වන අදහසක් රංගන ශිල්පිණී චුලක්ෂි රණතුංග පැවසුවේ මෙසේය:

“සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන විට හැම චිත්‍රපටයකටම සමාන ප්‍රදර්ශන වාර නොලැබීම කනගාටුදායක තත්ත්වයකි. මා රඟපෑ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය මේ බලපෑමට ගොදුරු වුණා.

පවතින වයසේදී රංගන ශිල්පිනියක් ලෙස කළ හැකි දේ අතපසු වනවා වැනි හැඟීමක් ඇති වෙනවා. සමාජ මාධ්‍යවල සැරිසරද්දි ගීත, විෂුවල් කලාව, තාක්ෂණය හා නිර්මාණාත්මක පැත්තෙන් ඉතා යාවත්කාලීන වූ අපූර්වත්වයක් පෙන්වනවා. අපේ ක්ෂේත්‍රයේ එසේ නොවන පසුගාමි බවකින් යුක්ත බව මට දැනෙනවා.”

තාක්ෂණය හා අනුභූතීන් අයදින හෙළ සිනමාවට අලුත් වසරේදී අලුත් අදහස් සහිත අලුත් නිර්මාණකරුවන්ගේ කෘති රාශියක් තිරගත වීමට නියමිතය. අපි එදෙස දෑස් දල්වා බලා සිටිමු.

පද්මකුමා පී. මෙත්තසේන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division