අපරාධ සිදු කර අත්අඩංගුවට ගන්නා බොහෝ පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් බන්ධනාගාරගත වී ඇප මත මුදා හැරීමෙන් පසු සහ දඬුවම් කාලය සම්පූර්ණ කර බන්ධනාගාරවලින් එළියට පැමිණීමෙන් අනතුරුවද ගත කරන්නේ තමාට පෙර පුරුදු අපරාධ චර්යාවමයි.
උදාහරණයකට කිවහොත් රන්මාල කොල්ලකෑම්, ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් පැහැර ගැනීම්, මත්කුඩු අලෙවිය යනාදි වැරදිවලට අත්අඩංගුවට ගන්නා බොහෝ පුද්ගලයන් බන්ධනාගාරගතව සිට දඬුවම් විඳ හෝ ඇප මත එළියට පැමිණීමෙන් අනතුරුවද සිදු කරන්නේ තමාට පෙර පුරුදු අපරාධ බව පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී තිබේ. මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවී සිටින අපරාධකරුවන් මේ අතර සුවිශේෂීය.
මොරටුව පොලීසියෙන් පසුගියදා අල්ලාගෙන තිබූ මත්ලෝලී අපරාධකරුවන් දෙදෙනෙකු අතරින් එක් අයෙකු රන්මාල කොල්ලකෑම් සියයකට වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබුණු අතර බන්ධනාගාරගත වී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව එළියට පැමිණ ඔහු නැවත කළේද රන්මාල කොල්ලකෑමයි.
මෙලෙස තමාටම ‘හුරු පුරුදු’ අපරාධම එක දිගට සිදු කරන අපරාධකරුවන් සිටින බවද මේ පුද්ගලයන්ගේ චර්යා නිරීක්ෂණය කරන පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ. කළුතර, පාණදුර, මතුගම ප්‍රදේශවල සැරිසරන ‘ලැප්ටොප් හොරෙකු’ මීට හොඳම උදාහරණයකි. ඔහු සොරකම් කරන්නේම ලැප්ටොප් පරිගණක පමණි. රන් ආභරණ, ජංගම දුරකතන, මුදල්, විදුලි උපකරණ, ත්‍රීවිල්, ස්කූටි සහ ඊට වඩා ලොකු වාහන පමණක් සොරකම් කරන අපරාධකාරයෝද සිටිති. අධිකරණවලින් දඬුවම් නියම කරන මේ පුද්ගලයෝ එම දඬුවම් කාලය සම්පූර්ණ කර එළියට පැමිණි පසු ද සිදු කරන්නේ තමාට හුරු පුරුදු අපරාධ වීමද සුවිශේෂී කාරණයකි.
එලෙස ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන පමණක් සොරකම් කිරීමට හුරු පුරුදු වූ පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ මහරගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් එදිරිසිංහ ඇතුළු කණ්ඩායමක් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.
මහරගම නගරයේ සුපිරි වෙළෙඳසැලක් බිඳ එහි තිබූ ලැප්ටොප් පරිගණක 04ක් සහ මිල අධික ජංගම දුරකතන 12ක් සොරකම් කිරීමේ සිද්ධියක් පිළිබඳව මහරගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේ පසුගියදාය. ඒ මහරගම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුවය.
අදාළ සුපිරි වෙළෙඳසැලට ගිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඇඟිලි සටහන් නිලධාරීන් ද එහි කැඳවා සී.සි.ටී.වී. දර්ශනද නිරීක්ෂණය කරමින් මේ ගැන විමර්ශනයක් ආරම්භ කළේ සැක කටයුතු පුද්ගලයන් ගැන සහ ප්‍රදේශයේ සිටින ලියාපදිංචි අපරාධකරුවන් ගැන ද සොයා බලමිනි. මේ අතර ‘මේ වර්ගයේ’ සොරකම් මීට පෙර මහරගම පොලිස් වසමේ සිදු වී තිබුණා ද යන්න ගැනද පොලිස් නිලධරයන්ගේ අවධානය යොමු වී තිබුණු අතර ‘මේ වර්ගයේ’ සොරකම්වලට සම්බන්ධ පුද්ගලයන් ගැන ද සොයා බැලීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රංජන් එදිරිසිංහ ඇතුළු කණ්ඩායම කටයුතු යොදා තිබුණි. විමර්ශන මෙසේ පැවැත්වෙන අතරේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රංජන් එදිරිසිංහට ඉතා වැදගත් එමෙන්ම විශ්වාසවන්ත තොරතුරක් ලැබුණි. ඉන් කියැවුණේ මහරගම සුපිරි වෙළෙඳසැලක් බිඳ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයා කොහුවල සරණංකර පාරේ සිටින බවය.
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී මුලින්ම හෙළිවන්නේ ඔහු ‘කොහුවල මුබාරක්’ ලෙසින් හඳුන්වන අපරාධකරුවකු බවය.
එම සැකකරුගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන්නේ පොලීසිය සොයන ලැප්ටොප් පරිගණක සොරා ඔහු බවය. මේ පුද්ගලයා මහරගම අදාළ සුපිරි වෙළෙඳසල මුල් වරට කඩා තිබුණේ 2022 වසරේ නොවැම්බර් 25 වැනිදාය. ඔහු එදින එහි තිබී ලැප්ටොප් පරිගණක 4ක් සොරකම් කර තිබිණි. මිරිහාන ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් කඩා එහි තිබූ ලැප්ටොප් පරිගණක 4ක් ද මේ පුද්ගලයා විසින් සොරකම් කර තිබුණ අතර එහි තිබුණ ජංගම දුරකතන 10ක් ද සොරකම් කර තිබුණි.
සැකකරුගෙන් ලද තොරතුරට අනුව මහරගම සුපිරි වෙළෙඳසල වතාවන් දෙකකදී බිඳ සොරකම් කළ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන සහ මිරිහානේ සුපිරි වෙළෙඳසල බිඳ සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. සොරකම් තුනකට අදාළ ජංගම දුරකතන 23ක්, ලැප්ටොප් පරිගණක 12ක් සැකකරුගේ නිවසේ තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. මේ භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වේ.
මේ සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වූයේ ඔහු විසින් මෙලෙස සොරකම් කරන ලද තවත් භාණ්ඩ කිහිපයක් ද අඩු මිලට අලෙවිකර ඇති බවයි. එම භාණ්ඩද පොලීසිය විසින් සොයා ගෙන තිබිණි.
‘කොහුවල මුබාරක්’ මෙලෙස සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන විවිධ පුද්ගලයන්ට අලෙවිකර ඇත්තේ ඉතා අඩු මිලකටය. ඒ එකක් රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් රුපියල් දසදහසට පමණය. රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ජංගම දුරකතනයක් රුපියල් පන්දහසකට පමණ අලෙවි කර තිබුණු බවද අනාවරණය විය.
මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටින මේ සැකකරු මේ භාණ්ඩ විකුණා ලැබුණ මුදල්වලින් මත්ද්‍රව්‍ය මිලදීගෙන පානය කර ඇති බවද හෙළිවන්නේ පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදීය.
‘කොහුවල මුබාරක්’ මහරගම සුපිරි වෙළෙඳසලක විදුලි කාර්මිකයකු ලෙස සේවය කළ අයෙකි. ඔහු මේ සොරකම් සිදු කරගෙන ගොස් ඇත්තේ එලෙස සේවයේ නිරතව සිටියදීය. ඒ 2022 වසරේ සිටය. සැකකරුගේ වයස අවුරුදු 41කි.
‘කොහුවල මුබාරක්’ගෙන් ප්‍රශ්න කරන පොලිස් නිලධාරීන් ඉන් අනතුරුව හෙළිකර ගන්නේ ඔහු මීට පෙර රටේ විවිධ ප්‍රදේශවල පිහිටි අලෙවිහල් 18ක් බිඳ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොරකම් කර ඇති බවය. ඒ සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්ව කලක් බන්ධනාගාරගතව සිටි ‘මුබාරක්’ ඇප මත එළියට පැමිණ ඇත්තේ ද මෑතකදීය. ඉන් අනතුරුව ද ඔහු, ඔහුට හුරුපුරුදු ‘අපරාධ චාරිකාව’ එලෙසම දිගටම සිදුකරගෙන ගොස් තිබිණි.
මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂගේ උපදෙස් මත මහරගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් එදිරිසිංහ ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
දීපාල් සමරසේකර
ඡායාරූප – නුගේගොඩ සමීර අබේසිංහ