රන ගිරවා නිදි මල් ගොල්ලේ
වලි කුකුළා නිදි වැලි ගොල්ලේ
දොයි දොයි දොයි
සඳ හාවා නිදි සඳ මඬලේ
පුතු පැටියා නිදි මගෙ උකුළේ
දොයි දොයි දොයි
පුතු පැටියා නිදි මගේ උකුළේ…
ඇතෙකුට දළ අභිමානයකි
මොනරුට පිල ලංකාරයකි
රජ කිරුළ ද සිරසට බරකි
පරපුර ගෙනියන්නේ පුතෙකි…
චන්ද්‍රාලෝකය රසඳුනකී
මන්දාකිනියේ තරු රැසකී
මිහිකත ලොව ලස්සන සුරකී
මගෙ පුතු මට සක්විති රජෙකී
දොයි දොයි දොයි
මගේ පුතු මට සක්විති රජෙකි…
දොයි දොයි දොයි
පුතු දොයි දොයියා
බයි බයි බයි
පුතු බයි බයියා
ගායනය – ආචාර්ය නන්දා මාලනී
සංගීතය – විශාරද නවරත්න ගමගේ
පද රචනය – ධර්මරත්න පෙරේරා
හැම තාත්තකුටම ඇති සිහිනය තම දරුවන් මේ සමාජයේ යහපත් ලෙස වැජඹෙනවා දැකීමය. ඒ නිසා දරුවන් වෙනුවෙන් ඕනෑම දුකක් උහුලන්නට ඔවුහු අදිමදි නොකරති. අම්මා තරමටම දරුවන්ගේ කඳුළුවල තෙත හඳුනන, සුසුමක බර දන්නා කෙනකු ඇත්නම් මෙලොව ඒ තාත්තාය.
එය වෙනස් වන්නේ ද නැත. එසේ වුවත් අද සමාජයේ දුරාවාරයෙන් තැනකදී බෝසත් පිය පුතු බැඳීම් අතර වෛරයෙන් පිරුණ සිත් ඇත්තෝද අපට හමුවෙති. ඒ කොහොම වුණත් විවාපත් වූ පසු තම නම ගෙනියන්නට, තම සිතුම් පැතුම් සමඟ බැඳී හිඳින, අගනා පුතකු, දුවක සිටිනු දැකීම තාත්තා කෙනෙකුට මහත් ආඩම්බරයකි.
එවන් වූ ආඩම්බරයකින්, ආදරයකින් පියකුගේ සෙනෙහස ගී පදවලට පෙරළූ අයුරයි මේ:
‘චන්ද්‍රාලෝකය රසඳුනකී
මන්දාකිනියේ තරු රැසකී
මිහිකත ලොව ලස්සන සුරකී
මගෙ පුතු මට සක්විති රජෙකී…’
ගීතය ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පීනි ආචාර්ය නන්දා මාලනියයි. ගී පද ජ්‍යෙෂ්ඨ පුවපත්කලාවේදි ධර්මරත්න පෙරේරාගෙනි. ඒ පද සංගීතවත් කරන්නේ විශාරද නවරත්න ගමගේ විසිනි.
ස්වාභාවික පරිසරය, ඒ පරිසරයේ නැළවිල්ල, සතාසීපාවන්ගේ නැළවිල්ල මේ සියල්ලේ එකතුවෙන් බිලිඳුන් නළවන්නේ ඉහවහා ගිය කරුණාවෙනි; දයාවෙනි. තාත්තාගේ සෙනෙහසේ තරම කියන්නට බැරිය; මනින්නට බැරිය. එවන් වූ සෙනෙහස වචනවලට පෙරළා කියන්නේ හද පතුලෙන් නැඟි ආදරයයි.
ආදරයත්, දයාවත්, කරුණාවත් කැටි වුණ මේ පද පෙළ ගැන එහි නිමැවුම්කරු, ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදි ගීපද රචක ධර්මරත්න පෙරේරා පවසන්නේ මෙවැන්නකි:
“මේ වන විට මම ගීත රචනා කරන්න පටන් අරගෙන අවුරුදු හතළිහක් වෙනවා. දවසක් මම පුතාට කිවුවා මම ගීතයක් රචනා කළා කියලා. රංග පුතා මට කිවුවා ඒ ගීතය එයාගෙ වියදමින් කරමු කියලා.
දවසක් නවරත්න ගමගේ කොහේ හරි යන ගමන් අපේ ගෙදර ආවා. ඒ ආ වෙලාවේ මම නවාට මේ පද පෙළ දුන්නා. නවා ඒකත් සාක්කුවේ දාගෙන එයාගෙ ගමන ගියා. එදාම රෑ නවා මට කතා කරලා කියනවා ‘අයියට කා එක්ක ද මේ ගීතය කරන්න ඕනැ?’ කියලා. මම එවෙලෙ කිවුවා මම කැමැතියි නන්දා කියනවා නම් කියලා. එහෙම තීරණයකට ඇවිල්ලා තමයි මම නන්දා මාලිනියට කතා කළේ. ඇයට මම ගීතය ගැන කිවුවාම ඇය මගෙන් ඇහුවේ ‘කවුද මල්ලි මේක මියුසික් කළේ?’ කියලා. ‘මේක අමුතු තැනක තියෙන ගීතයක්’ කියලත් ඇය මට එදා කිවුවා.
ඉන් පස්සේ තමයි මේ ගීතය අපි කළේ. පුතෙක් කියන්නේ සක්විති රජෙක් කියන අදහසින්ම තමයි මම මේ ගීතය ලිවුවේ. නන්දා මාලනියගේ හඬත්, නවාගේ සංගීතයත් මගේ පද පෙළට ලොකු අරුතක් ගෙන දුන්නා.
ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනෑ. ඒ තමයි මම ලියූ ගීතයක් මුලින්ම ගැයුණේ 1981දී. මුල්ම කාලයේ ‘ජනතා’ පුවත්පතට ලිය ලියා හිටපු මම 1979 වසරේ තමයි ‘කුමරි’ පුවත්පතට බැඳෙන්නේ. මම මුල් කාලේ ඉඳලම පොත්වල කවි සින්දු ලිවුවා. මගේ ඥාතින් ඒක දැක්කේ පිස්සුවක් විදිහට. කුමරියෙ වැඩට ගියාට පස්සෙ දවසක් මම ප්‍රණීත්ට (මහාචාර්ය ප්‍රණීත් අබයසුන්දර) හෙමින් සීරුවේ මේ පොත දුන්නා ‘මල්ලි, මේක බලන්න’ කියලා. ප්‍රණීත් ඒක බලලා, එදාම හවස මාවත් එක්කගෙන අනිල් මිහිරිපැන්න හමු වෙන්න ගියා. ඒ පොතෙන් තෝරාගත්ත ගීතයක් ඔහු සංගීතවත් කරලා, එඩ්වඩ් ජයකොඩි තමයි ගැයුවේ. ඒ ‘සුවහසක් තරුමල්’ කියන ගීතය. අවුරුදු ගාණකට පස්සෙ කළ ‘රන ගිරවා නිදි මල් ගොල්ලේ’ කියන ගීතය පටිගත කරන දවසෙත් ප්‍රණීත් ඊට සහභාගි වෙන්න තකහනියෙම ආවා. ඒ මිත්‍රකමත් හරි අපූරුයි!”
ධර්මෙ අයියා පවසන්නේ බොහෝ ළෙන්ගතුවය.
ඉනෝකා සමරවික්‍රම