රළු පරළු වූ මහා කළුගල් සියුම් කලා නිර්මාණ බවට පත් වූයේ මහා ඉවසීමේ ගුණයත්, මනා සංයමයත් කැටි කොට භාවනාවට සමවැදුණු කලාකරුවකුගේ හැඩතල රේඛා තුළින් මුදු සුමුදු වූ අපූරු නිර්මාණයන් රැසකට ජීවය දෙමිනි. එකී අපූරු නිර්මාණ පිළිබඳ ගැයුණු බොහෝ ගී සින්දු, කලාකරුවාගේ හෘදය ස්පන්දනයේ හඬ මිනිස් සන්තානයට සමීප කොට තිබීම ද එහි මහ අරුත අපට සංවේදි කරවයි.
දිනෙන් දින අපෙන් ගිලිහෙන ශිලා කලා සංස්කෘතිය කෙමෙන් මැකී වියැකී යන මොහොතක කටුවට මිටියට අත හිත යොමන අපූරු ශිලා නිමැවුම් ශිල්පියකුගේ කතාවකි මේ.
ඔහු නමින් එල්.ආර්.එම්. සිරිපාලය. ලොකු වැඩ කරන සිහින් සිරුරක් හිමි ඔහු ගල් කොරිය, සමනල වැව, බෙලිහුල්ඔය ප්‍රදේශයේ ජීවත් වෙයි. හැත්තෑවියෙහි පසු වන මොහු එදා මෙදා තුර ගමන පාපැදියෙනි. කිලෝමීටර් දහයක් පහළොවක් වුවද ඔහුගේ ගමන් සගයා වනුයේ පාපැදියයි. තැනිතලාවක් නොවූ බෙලිහුල්ඔය ප්‍රදේශය කඳු පල්ලම්වලින් ගහන වූ පෙදෙසකි. හැමට සිනාවෙන් සංග්‍රහ කරමින්ම බැරි තැන පාපැදිය තල්ලු කරමින් කඳු නඟින ඔහු තම ගමන් සගයා පණ සේම රකියි.
දහතුන් වැනි වියේ සිට සිය පියාගේ අඩි පාරේ යමින් ජන්මයෙන් ලද කලාව තමන් විසින්ම පෝෂණය කර ඔපමට්ටම් කරගැනීමට ඔහු සමත්ව ඇත. කටුව, මිටිය හා අනෙකුත් මෙවලම් උපයෝගි කරගනිමින් මහා කළුගල් සුමට නිමැවුම් කරන ගල් කැටයම්කරුවෙකි. මුරගල්, සඳකඩපහණ, ලංකා සිතියම් ඇතුළු බොහෝ දෑ ඔහු අතින් නිමා වූ අතර, මේ වන විට නිවෙසේ අවශ්‍යතාවන්ට සරිලන උපකරණ රැසක් සකසයි.
කොළඹ බදුලු පාරේ කරගස්තලාව ආසන්නයේ කුඩා මැස්සක සිය නිමැවුම් තබා ඔහු තම වෙළෙඳාම කරගෙන යයි. ඔහු අතින් නිමැවුණු ශිලා නිර්මාණ අතර කැපී පෙනෙන නිමැවුම් ලෙස කොරොවක් ගල, මුරගල, පුන්කලස් සහ සඳකඩපහණ නිර්මාණ අදටත් ඌවතැන්න, මරංගහවෙල, ශ්‍රී බෝධි මුදලින්දාරාම විහාර භූමියේදී අපට දැකගත හැකිය.
“මම කුඩා කාලෙ ඉඳලා මේ ගල් කැටයම් කරන්නේ. එතකොට මට වයස අවුරුදු දහතුනක්. උදේ හවස ගල් එක්ක වැඩ කරද්දී ඉතාම දුෂ්කරයි. මේ වෘත්තිය වෙහෙසකර වුණත් මේක භාවනාවක්…” ඔහු පවසයි.
මොහොතක් හෝ සිය සංයමය, හික්මීම, අවධානය බිඳුණොත් සාර්ථක නිර්මාණයක් කළ නොහැකි බවත්, මුල් කාලයේ දෑත් දෙපා බොහෝ අවස්ථාවල තුවාල වීමට ලක් වූ බවත් පවසන ඔහු කල් යත්ම දිගු කාලීන අභ්‍යාසය හා පුහුණුව ඇසුරෙන් මෙවලම් තමාට නතු කරගැනීමටත්, ඒ තුළින් නිපුණතාව වර්ධනය කරගැනීමටත් හැකි වූ බව කියා සිටී.
ශිලා ශිල්පයෙහි නිරත සිය වැඩිමහල් පුත්‍රයා හදිසි අනතුරකින් මිය යෑම ඔහුගේ සවිය හීන කළ බව පවසන අතර හුදෙකලාවම ගල් සමඟ පොරබදන බව ඔහුගේ අදහසයි.
“මේ ශිල්පය ඉදිරියට ගෙනයන්න කෙනෙක් නොවීම ගැන කනගාටුයි. ඒ දැනුම දෙන්න මම සූදානම්” අභිමානයෙන් ගෙනා ආ ශිල්පය මතු රැකෙන්නට වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔහු මතු කරයි. “කවුරුවත් මේ දේවල්වලට උදවු කරනවා නම් කැමැත්තෙන් භාර ගන්නවා… මං මේවා කරන්නේ සතුටින්. මේ භාණ්ඩ විකුණුවොත් මුදලක් ලැබෙනවා; ඒත් ඊට වඩා සතුටක් දැනෙනවා.”
ශ්‍රී බෝධි මුදලින්දාරාම විහාරාධිපති මරංගාවෙල පඤ්ඤාතිස්ස හිමියන් ඔහු පිළිබඳ අදහස් එක් කළේ මෙලෙසය:
හොඳ ගතිගුණ ඇති දක්ෂ කැටයම් ශිල්පියෙක්. මේ වගේ නිර්මාණවලට අපේ පැත්තෙ ඉන්න එකම කෙනා තමයි මේ සිරිපාල බාසුන්නැහේ. වැඩි ප්‍රසිද්ධියක් නැහැ. සැබෑ දක්ෂයෙක්. ඒක උපතින්ම ආපු හැකියාවක්.”
මේ ශිල්පියාගේ දක්ෂතාව මතු පරපුරට දායාද කළ හැකි අයුරින් ගුරුහරුකම් ලබා ගන්නට අධ්‍යයනයට අවස්ථාවක් සලසන්නේ නම් ඉන් මේ ශිල්පයේ සුරක්ෂිත බව තහවුරු වන වග උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. නැති වී යන කලාවක් රැකගැනීමට රජයේ අවධානය යොමු වීම වැදගත් බව සඳහන් කළ උන් වහන්සේ මෙවන් කලා ශිල්ප කෙරෙහි පසු පෙළක් යොමු කිරීමේ වගකීම බලධාරීන් සතු බවද පැවසූහ.
ඉකුත් 2023 වසරේ කෑගල්ල ප්‍රදේශයේ පැවති ප්‍රදර්ශනයක් සඳහා රත්නපුර ජාතික ශිල්ප සභාව විසින් සිය නිර්මාණ රැගෙන ගිය බව කියන මූර්ති ශිල්පි සිරිපාල ඒවා ඉතා අසීරුවෙන් නැවත ගෙන්වා ගැනීමටත් සිදු වූ බවද පැවසීය.
තම නිර්මාණ තබාගැනීමට පවා හරි ඉඩකඩක් නැති බව පවසන නිර්මාණකරු සිය නිර්මාණ සිදු කරනු ලබන්නේ ඉතා කුඩා ඉඩ ප්‍රදේශයක වන බවත් එයද අනවසර බිම්කඩක් වන බව සඳහන් කළේ ශෝකීවය. වැළලී, වියැකී යන කලාවක් අනාගතයට උරුම කරන්න නම් එය සංරක්ෂණය කළ යුතුය; පෝෂණය කළ යුතුය. එය ලබාගන්නට එකී කලාවට යොමු කරන්න අධ්‍යයනයට ඉඩ අවස්ථා සලසන්නට දෙවන පෙළක් තනන්නට ඉඩ අවස්ථා සැලසිය යුතු බව ඔහුගේ අදහසයි.
සමන්තා කංකානම්ගේ - බෙලිහුල්ඔය