Home » වැසුණු අලි මංකඩ නැවත සැකසීම අලි-මිනිස් ගැටුමට විසඳුමක් ද ?

වැසුණු අලි මංකඩ නැවත සැකසීම අලි-මිනිස් ගැටුමට විසඳුමක් ද ?

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

ටේ සංචාරක කර්මාන්තය හා සබැඳිව විශාල විනිමය ප්‍රමාණයක් උපයා දෙන වනජීවී සම්පතේ ප්‍රමුඛතම සාධකය ජනජීවිත විකල් කරන විනාශයක් බවට පත් වී තිබේ. අලි-මිනිස් ගැටුම ලෙස මේ අප ඉදිරියේ දිස් වෙමින් ඇත්තේ සම්පත් කළමනාකරණය අපොහොසත් වූ ඉතිහාසයක, සැලසුම් රහිත අවිධිමත් සංවර්ධන ව්‍යාපාරවල ජාතියක් ගිල්වා දැමූ ඉතිහාසයක වර්තමාන ප්‍රතිඵලයයි.

පසුගිය වසර 9ක කාලයේ ඉලක්කම් ලෙස ප්‍රකාශ වන අලි මිනිස් ගැටුමේ මරණය පිළිබඳ කියවෙන අවසන් දත්තය අපට පෙන්වා දෙන්නේ තීව්‍ර සමාජ ආර්ථික ව්‍යසනයේ ස්වරූපයය. එය කොළඹ සිට වින්දනය වෙනුවෙන් අලි සංරක්ෂණයට අලි කතා කියන සැහැල්ලු ප්‍රකාශනයන්ගෙන් ඔබ්බට ගිය සමාජ ප්‍රශ්නයක්, ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වන ආකාරය ඇහැටුවැව, දෙහිඅත්තකණ්ඩිය, විලච්චිය පැත්තට ගොස් විමසා බැලිය යුතුය. එක් රැයකින් තමන්ගේ සමස්ත ආර්ථික පැවැත්ම වන ගොවිපොළ විනාශ වන විට, හේන කුඹුර ඇතුළු බවභෝග විනාශ වන විට, නිවෙසින් එළියට බැස මහ මඟට බසින විට වන අලි ප්‍රහාරයක ගොදුරක් වන විට ඒ මිනිස්සුන් සහ වන අලින් අතර මේ වන විට ඇති වී තිබෙන ජීවිත යුද්ධය අප කියවා ගන්නේ හුදු සිදුවීම් රැසක් ලෙසය.

මේ ව්‍යසනකාරි ගැටුමේ ප්‍රතිඵල ලෙස පසුගිය වසරේ පමණක් මිනිස් ජීවිත 155ක් අහිමි වී ඇති අතර, වන අලි 385ක් මිය ගොස් ඇති බවට වාර්තා වේ. මේ දත්ත අතර ඇත්තේ සමස්ත වන අලි මරණය. ඒ ස්වභාවික හේතූ, අනතුරු, මිනිසුන්ගේ වක්‍රකාර මැදිහත්වීම් සහිත මරණ ප්‍රමාණයක් අන්තර්ගතය. ඍජුව වන අලින් සහ මිනිසුන් අතර ඇති වී තිබෙන විරසකය හේතුවෙන් සිදුවන ඍජු මරණ ප්‍රමාණය බොහෝ විට අලින් විසින් මරා දැමූ මිනිසුන්ගේ ප්‍රමාණයට වැඩි වන්නේ මඳකිනි. ගිය වසරේ වාර්තා වන්නේ පසුගිය වසර 9ක කාලය තුළ දෙවැනියට වැඩිම මිනිස් මරණ ප්‍රමාණයය. වැඩිම මිනිස් මරණ මෙන්ම අලි මරණත් වාර්තා වන්නේ ඊටත් පෙර අවුරුද්දේ ය. එනම් 2023 දී ය. මිනිස් මරණ 184කි. සමස්ත අලි මරණ ප්‍රමාණය 488කි.

මේ ඛේදවාචකයේ ගැඹුර තේරුම් ගැනීමට 2015 වසරේ දත්තය සමඟ සැසඳීම පමණක් ප්‍රමාණවත්ය. 2015 දී වාර්තා වන්නේ මිනිස් මරණ 63කි. අලි මරණ 205කි. එතැන් සිට වසර නවයක් තුළ මිනිස් මරණ ප්‍රමාණය දෙගුණයකටත් වැඩි වී තිබේ. අලි මරණ දෙගුණයකට ආසන්න වී ඇත. මිනිස්සු වන අලි උවදුරක් ලෙස සලකා වීදි බැස සිටිති. මේ වීදි බැස සිටින්නේ වන අලි රංචු දකිමින් ‘ලන්දේ කකා කන්දේ යන බෝසත්තූ’ ලෙස මේ දැවැන්තයන්ගේ අනතුරු රහිත බෝසත් ගුණ දැක දැක පැල් කවි කී අතීත ගොවි පරම්පරාවක උරුමයක් ඇති මිනිස්සුය. බෝසතුන් යක්ෂයන් කළ, පරිසරය සහ සතා සීපාවා සමඟ ජීවිතය බෙදා හදා ගෙන පරිසරයේ කොටසක් වී ජීවත් වූ මිනිසුන් ඒ සත් සන්දර්භයෙන් ඉවතට ඇද දමා මහා ගැටුමක් නිර්මාණය කළ මුග්ධ දේශපාලන සහ සංවර්ධන ව්‍යාපෘතියක් අවසානයේදී ජන ජීවිතය ඇද දමා ඇති තැන දැන් සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ප්‍රකාශිතය.

ප්‍රායෝගික මානය

අලි මිනිස් ගැටුම සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දකින්නේ වඩාත් ප්‍රායෝගික මානයකි. වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් අපි ඒ ගැන විමසුවෙමු:

“අවුරුදු ගණනක සිට සත්තුන්ගේ වාස භූමි, පුරුදු හඳුනාගන්න, ඒ අයගේ කොරිඩෝ විනාශ වීම වළක්වා ගන්න අපේ සැලසුමක් තිබුණා. ගමේ මිනිස්සු සහ අලි අතර තිබෙන ගැටුම අඩු කරන්න විදුලි වැට ගහන්න, ගමට ඇවිත් මිනිස්සු එක්ක ගැටෙන සත්තු ඉවත් කරන්න, පර්යේෂණ වැනි විශාල පරාසයක වැඩ අපි කරගෙන ආවා. ඒ වැඩ සමහර ඒවා අවසන් නෑ. විදුලි වැට පද්ධතිය සකසන විදිහක් තිබෙනවා. සමහර තැන්වල වැට ගහනවට ජනතාව කැමති නෑ. හඳුනා ගත් අලි කොරිඩෝ තිබෙනවා. ඒ ඉඩම් රජය සතු නම් කිසි ගැටලුවක් නෑ නිදහස් කරගන්න. නමුත් ජනාවාස වෙලා නම් ඒ තැන් නිදහස් කරගැනීමේදී ගැටලු මතු වෙනවා. නමුත් අලි කොරිඩෝ සම්බන්ධව වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන කරුණු සම්බන්ධව ලොකු බරක් අපි දෙනවා. එය ප්‍රායෝගිකව කළොත් මෙතෙක් අවසන් නොවූ ව්‍යාපෘතිවල විසඳුමකට එන්න පුළුවන්. මෙතෙක් ගෙය ගිය වැඩපිළිවෙළේ හිදැස් සම්පූර්ණ කිරීමයි අපේ පළමු කාරණය.”

ඔහු පවසන්නේ නව තාක්ෂණික ප්‍රවේශ වෙත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එළඹී ඇති බවය. විදුලි වැට සම්බන්ධව නිශ්චිත වෙලාවේදී තොරතුරු ගැනීම, අලින්ගේ සංචරණය පිළිබඳ දත්ත ගැනීම, අලින්ගේ චර්යා රටා අධ්‍යයනය හරහා ගොඩනගා ගන්නා විද්‍යාත්මක දැනුම භාවිතයෙන් ඉදිරියේදී මේ ගැටලුවට වඩාත් තියුණු ප්‍රවේශයක් ගන්නා බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අපට කීවේය.

අලි මිනිස් ගැටුම සම්බන්ධව අතිශය ප්‍රායෝගික පර්යේෂණ රැසක් කරමින් වන අලි සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් ජීවිතය කැප කළ විශිෂ්ට විද්වත්හු අප අතර වෙති. ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ඉන් අයෙකි. ඔහු කරන විද්‍යාත්මක විග්‍රහයට මේ රටේ කිසිවකු සාවධාන වන්නේ නම් මේ ගැටුමේ පත්ල ස්පර්ශ කළ හැකි බව අපි විශ්වාස කරමු:

“මෙතැන ප්‍රශ්න දෙකක් තිබෙනවා. පළමුවැන්න: රක්ෂිතවල ආහාර සුලබ කිරීම. දෙවැන්න: රක්ෂිතවලින් පිටත තිබෙන මංකඩවල් හැරීම. මේ වන විට රක්ෂිත කීපයක අලි මැරෙනවා කන්න නැතිව. විශේෂයෙන්ම අලි පැටවු. යාල, ලුණුගම්වෙහෙර, උඩවලව, තබ්බෝව වගේ රක්ෂිතවල. එයට තිබෙනවා හේතු සාධක දෙකක්. එකක් තමයි සමහර අවස්ථාවල රක්ෂිතවලට අලි පන්නලා කොටු කර වැටවල් ගහලා තිබෙනවා. එතැනදි යැපුම් ධාරිතාව ඉක්මවා ගිහින්. උද්‍යාන තුළ විශාල කැලෑ ගහන ඝනත්වය අඩු කර, තෘණ භූමි වැඩි කරගත යුතුයි.

අනෙක් කාරණාව: ඔක්කොම අලි එක වගේ නෑ. අලින්ගේ පැහැදිලි සමාජ රටාවක් තිබෙනවා. ගැහැනු අලි තමයි රංචුවේ ඉන්නේ. පිරිමි අලි පරිණත වෙද්දි රංචුවෙන් ඉවත් වෙලා හුදෙකලා ජීවිතයක් ගත කරන්නේ. අපි තනි අලි කියන්නේ ඒ අයට. අලි මිනිස් ගැටුමට දායක වන්නේ වැඩි වශයෙන්ම මේ තනි අලින්ගෙන් කොටසක්. විශේෂයෙන්ම ගම්මානවලට ඇවිත් ගෙවතු වගා හානි කරන්නේ, ගෙවල් කඩන්නේ, වගා බිමකින් පන්නන්න හදනකොට හැරිලා ඇවිත් ආයෙම ගොවි මහත්වරුන්ට හානි වෙන්නේ මේ තනි අලින්ගෙන්.

අලි කලාප අතර සංචරණය

අලි කොරිඩෝ සම්බන්ධ කතාව ඇති වී තිබෙන්නේ ලංකාවෙ අලි විශාල දුරක් සංචරණය කරනවා යන අදහසින්. යාල ගත්තොත් යාලෙන් ගල්ඔයට, ගල්ඔයෙන් මාදුරු ඔයට. මාදුරු ඔයෙන් වස්ගමුවට, වස්ගමුවෙන් විල්පත්තුව දක්වා අලින්ට යන්න ඕනෑ යැයි මතයක් තිබෙනවා. ඒකත් මිනිස්සු පොදුවේ දරන මතයක්. ඒ අනුවයි 1959 දී අලින් රක්ෂිතවලට සීමා කර ඒ රක්ෂිත මේ කොරිඩෝවලින් යා කරන්න ඕන යන මතය ආවේ.

නමුත් පහුගිය අවුරුදු 30ක කාලය තුළ ලංකාවේ අලින්ට රේඩියෝ කරපටි 250කට වඩා දමා තිබෙනවා. ඒ අනුව අලින්ගේ සංචරණය ගැන ලෝකෙන්ම හොඳම දත්ත තිබෙන්නේ ලංකාවේ. එම දත්තවලින් අපට පෙන්වා දී තිබෙන වැදගත්ම සාධකය වන්නේ මෙතෙක් රේඩියෝ කරපටි දැමූ එකම අලියෙක්වත් මෙච්චර දුර සංචරණය නොකිරිමයි.

ඒත් මේ සත්තු ඉන්නේ එක් එක්නෙකාට ආවේණික වාස භූමි ප්‍රදේශයක. සාමාන්‍යයෙන් අලියකුගේ වාසභූමි ප්‍රදේශය වර්ග කිලෝ මීටර 200ක් 250ක් විතර. ඉපදෙන්නෙත් ජීවත්වෙන්නෙත් මැරෙන්නෙත් මේ වාසභූමි ප්‍රදේශවල. අපි බැලුවොත් මේ වාසභූමි ප්‍රදේශ මොනවද කියලා සමහර ඒවා සම්පූර්ණයෙන්ම රක්ෂිත අස්සේ. ඒ සත්තු අලි මිනිස් ගැටුමකට යොමු වෙන්නේ නෑ.

ඊට වඩා සුළුතරයක් ඉන්නවා. එයාලගෙ වාසභූමි රක්ෂිතය හා අවට ප්‍රදේශ. එහෙම සතුන්ගෙන් සමහරු වැටක් නිසා රක්ෂිතයෙන් පිට වී යන්න බැරිව ඉන්නවා. ඒ විදිහෙ තනි අලි වැට කඩාගෙන එළියට එනවා. උදේ පාන්දර වෙද්දි වැට කඩාගෙන රක්ෂිතයට යනවා. තව අලි කාණ්ඩයක් ඉන්නවා. ඒ අයගේ වාසභූමිය රක්ෂිත භූමියෙන් පිට. මේ පිට වාසය කරන අලින්ගෙන් සමහරක් අලි මිනිස් ගැටුමට දිගින් දිගටම යොමු වෙනවා.

ලංකාවේ 30%ක් පමණයි වනජීවී සහ වන සංරක්ෂණ ප්‍රදේශවල ජීවත් වෙන්නේ. අලි ඉන්න ප්‍රදේශවලින් 70%ක් තියෙන්නේ මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශවල. ඒ ප්‍රදේශවල ඉන්න සත්තු කවදාවත් රක්ෂිතවලට යන්නේ නෑ. රක්ෂිතවලට ගිහිල්ලත් නෑ.

අලි පැන්නීම සාර්ථක ද?

නිවැරදි ද නැන්ද හෝ සාර්ථක ද නැද්ද යන්න තීරණය කළ යුතු වන්නේ අතීත දත්ත එක්ක. අලි පන්නලා යම් කිසි ප්‍රදේශකින් අලි සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා නම් ඒක සාර්ථකයි කියලා කියන්න පුලුවන්. අපි අවුරුදු 70ක් 80ක් ලංකාවේ නොයෙක් ප්‍රෙද්ශවලින් අලි පන්නලා තිබෙනවා. මහවැලි ව්‍යාපාරය එක්ක මහා පරිමාණ අලි පැන්නීමක් සිදු කළා. මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ අලි පැන්නීම්වලින් සිදු වෙන්නේ ඒ ප්‍රදේශවලින් අලි සම්පූර්ණයෙන් ඉවත් කර ඒ මගින් අලි මිනිස් ගැටුම අඩු කරගන්න. නමුත් අවුරුදු හැත්තෑවකට වඩා අලි පන්නලා අද වෙලා තියෙන්නේ අලින්ගෙන් සියයට 70ක් මිනිස්සු ඉන්න ප්‍රදේශවල සිටීමයි. එහෙමනම් මේ අලි පැන්නීම සාර්ථක නෑ. අපට කියන්න තියෙන්නෙ අලි පැන්නීම් ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියලා.

අලි මංකඩක් කියන්නේ කුමක්ද?

වනජීවී දෙපාර්තමේන්තුව මීට සෑහෙන කාලයකට කලින් අලි මංකඩ 16ක් හඳුනාගෙන තිබෙනවා. අලි රක්ෂිත අතර ගමන් කරන්න මංකඩක් හදන්න ඕනෑ කියලා තිබෙන අදහස මත රක්ෂිත යා කරමින් තමයි මේ අලිමංකඩ හඳුනාගන්නේ. මේ උපකල්පන මත අලිමංකඩවලින් මිනිස්සු අයින් කළා කියලා අලි මිනිස් ගැටුමේ වෙනසක් වෙන්නෙ නෑ. මොකද අලින්ගේ එහෙම සංචරණ රටාවක් නෑ.

නමුත් කරපටි දමා අලි වාසභූමි ප්‍රදේශය නිරීකෂණයේ දී අලි මංකඩවල් කියලා හරියට හඳුන්වන්න යම් යම් ස්ථාන තිබෙනවා. වීරවිල පාර ගත්තොත් මිනිස්සු පාර දෙපැත්තෙම පදිංචි වෙලා. අලින්ට පාර පනින්න බෑ. ඒ කියන්නේ බුන්දල පැත්තෙ ඉඳලා හම්බ්තොට, මත්තල පැත්තට පනින්න එක තැනයි තියෙන්නෙ. එතැන තිබෙනවා සොහොන් පිටියක්. එය වැදගත් අලි මංකඩක්. එතැන යම් යම් ක්‍රියාකාරකම් නිසා දැන් අවහිර වෙනවා නම් එය ගැටලුවක්. ඒ වගේම අලි රේල් පාරක් පනින්නේ එක තැනකින් වෙන්න පුළුවන්. එතැන අලි මංකඩක්. ඒ වගෙම ගම්මාන අතරින් යන්න පුළුවන් එක තැනක් විතරයි නම් ඒක අලි මංකඩක්. ඒ විදිහෙ හඳුනාගත් අලි මංකඩවලට බාධා නොකර පවත්වා ගන්නවා නම් අලි මිනිස් ගැටුමට කිසියම් ධනාත්මක විසඳුමක් ලැබේවි.”

ආචාර්ය පෘථිවිරාජ්ට අනුව අප මේ ගැටලුව අල්ලාගෙන ඇත්තේ විද්‍යාත්මක පදනමකින් නොවන බව පැහැදිලිය.

එමෙන්ම අලි ගම්වැදීම නැවැත්වීම සඳහා ඈත කැලයට කුණු ගොඩගැසීම මේ වන විට අලින් සම්බන්ධව ඇති කර තිබෙන සෞඛ්‍ය ප්‍රශ්නය මෙන්ම රක්ෂිත තුළ ඇති වී තිබෙන පාරිසරික ප්‍රශ්නය පිළිබඳ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් විද්‍යාත්මක පරීක්ෂණයකින් අනතුරුව හෙළිදරවු කරගෙන තිබේ.

මෙලෙස අලි මිනිස් ගැටුම ලෙස ප්‍රකාශ වී ඇති මේ පාරිසරික, සමාජ ආර්ථික මෙන්ම චින්තන විකෘතියේ ස්වරූපය පිළිබඳ නිසි බරකින් අවබෝධ කර නොගෙන; අවිද්‍යාත්මක, ගතානුගතික ආකල්ප අනුව කටයුතු කිරීම තවත් ගැටලු නිර්මාණය කිරීමට ඉඩ සලසන බව ප්‍රමාණිකයන්ගේ අදහසයි. ඉදිරි වැඩ සැලසුම්වලදී ඒ සියලු අදහස් සැලකිල්ලට ගැනීම වැදගත් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division