Home » ප්‍රමිතියෙන් තොර ක්‍රීම් ගාලා සුදු වෙන්නේ බලාගෙනයි!

ප්‍රමිතියෙන් තොර ක්‍රීම් ගාලා සුදු වෙන්නේ බලාගෙනයි!

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

සුන්දර වීමට කැමැති බොහෝ දෙනා පැහැපත්, නීරෝගි සමක් හිමි කරගැනීමට උනන්දු වීම අරුමයක් නොවේ. එහෙත් සම නීරෝගි සහ පැහැපත් කරගැනීම වෙනුවට ‘සම සුදු කරගැනීමේ’ උන්මාදයෙන් පෙළෙන යුවතියෝ සහ කාන්තාවෝද වත්මන් සමාජයේ විරල නොවෙති.

එබැවින්ම සම සුදු කරවන ආලේපන රාශියක් වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති අතර, ඒවා බහුතරය ප්‍රමිතියෙන් තොර ආලේපන වීම ඛේදනීය කරුණකි. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉකුත් සතියේ කරන ලද වැටලීම්වලින් ප්‍රමිතියෙන් තොර සම සුදු කරවීමේ ආලේපන අලෙවි කරන ස්ථාන රැසක් අනාවරණය කරගෙන තිබිණි. නීතිය මඟින් කළ හැක්කේ ඒවා පාලනය පමණක් වුවත්, එවැනි ආලේපන භාවිතයෙන් සමට සහ සෞඛ්‍යයට ඇති වන අයහපත් ප්‍රතිඵලවලින් මිදිය හැක්කේ ඒ පිළිබඳ පාරිභෝගිකයන්ට නිසි දැනුමක්, අවබෝධයක් ඇත්නම් පමණි. මේ කරුණ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ සිළුමිණට අදහස් දැක්වූයේ මෙලෙසිනි:

සිරුර සහ සම අතර සම්බන්ධය

මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රිය වන්නේ සමයි. එය මුළු ශරීරයම ආවරණය කරන අතර, තාපය, ආලෝකය, තුවාල සහ ආසාදනවලට එරෙහිව ආරක්ෂිත පලිහක් ලෙස කටයුතු කරයි. ඊට අමතරව සම ශරීර උෂ්ණත්වය නියාමනය කරයි. ජලය සහ මේදය ගබඩා කරමින්, සංවේදි ඉන්ද්‍රියක් ලෙස ක්‍රියා කරයි. සිරුර තුළට බැක්ටීරියා ඇතුළු ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වමින් සිරුර හා පරිසරය අතර බාධකයක් ලෙස ක්‍රියා කරයි. සම හිරු එළියට නිරාවරණය වීමෙන් විටමින් ඩී සෑදීමට ද උපකාරි වේ. සම ශරීරය පුරා විවිධ ඝනකමක්, වර්ණ සහ වයනයන් දක්වන අතර, වෙනත් ඕනෑම තැනකට වඩා හිසේ වැඩි වශයෙන් රෝම කූප අඩංගු වන්නේ එනිසාය.

සමේ වර්ණය ඇති වන අයුරු

පුද්ගලයකුගේ සමේ වර්ණය තීරණය වන්නේ ජානමය සාධක, පාරිසරික සාධක සහ ජීවවිද්‍යාත්මක ක්‍රියාවලීන්ගේ එකතුවකිනි. සමේ වර්ණය සඳහා වගකිව යුතු මූලික වර්ණකය මෙලනින් නම් වේ. එය නිපදවනු ලබන්නේ සමේ පිට ස්තරය වන අපිචර්මයේ ඇති මෙලනොසයිට් නම් විශේෂිත සෛල මඟිනි. මෙලනින් ප්‍රධාන වර්ග දෙකක් තිබේ. එනම් ඉයුමෙලනින් (දුඹුරු සිට කළු) සහ පියෝමෙලනින් (කහ සිට රතු දක්වා) ලෙසය. සම මඟින් නිපදවන මෙලනින් වර්ගය සහ ප්‍රමාණය සමේ විවිධ වර්ණ ඇති කිරීමට හේතු වේ. අඳුරු සමක් ඇති අය වැඩිපුර ඉයුමෙලනින් නිපදවන අතර, පැහැපත් සමක් ඇති අය ඉයුමෙලනින් නිපද වන්නේ අඩුවෙනි. පියෝමෙලනින් පැහැපත් සමෙහි වැඩි වශයෙන් ඇති අතර එය රතු හෝ කහ පැහැති වර්ණවලට දායක වේ.

සම සූර්යාලෝකයට නිරාවරණය වන විට, පාරජම්බුල කිරණවලට එරෙහිව ආරක්ෂිත යන්ත්‍රණයක් ලෙස වැඩි මෙලනින් නිපදවීමට එය මෙලනොසයිට් උත්තේජනය කරයි. පාරජම්බුල කිරණවලට නිරාවරණයට ප්‍රතිචාර වශයෙන් සම මෙලනින් නිෂ්පාදනය වැඩි කරයි. පාරජම්බුල කිරණ මඟින් සමේ සෛලවලට හානි සිදු විය හැකි බැවින් මෙලනින් ස්වාභාවික හිරු ආවරණයක් ලෙස ක්‍රියා කර, හානිකර කිරණ අවශෝෂණය කරයි. ඓතිහාසික වශයෙන් විවිධ කලාපවල පාරජම්බුල විකිරණවල තීව්‍රතාව වැනි භූගෝලීය සහ පාරිසරික සාධකවලට ප්‍රතිචාර වශයෙන් සමේ වර්ණය පරිණාමය විය. සමකයට සමීපව ජීවත් වන ජනයා පාරජම්බුල විකිරණවලට වැඩි වශයෙන් නිරාවරණය වන බැවින් සාමාන්‍යයෙන් අඳුරු සමක් ඇත.

අඳුරු සම මේ පිළිකා සහ විකිරණවල හානිකර බලපෑම්වලට එරෙහිව ආරක්ෂාව සපයයි. අඩු පාරජම්බුල කිරණ සහිත ශීත කලාපික ප්‍රදේශවල පැහැපත් සමක් පරිණාමය වූයේ විටමින් ඩී නිෂ්පාදනයට ආධාර කරමින් වැඩි පාරජම්බුලකිරණ ප්‍රමාණයක් සම විනිවිද යෑමට ඉඩ සලසන බැවිනි.

ගැබිනි සමයේදී හෝ දැරියක වැඩිවිය පැමිණීමේදී නිකුත් වන හෝමෝන, මෙලනින් නිෂ්පාදනයට බලපාන අතර, සමේ වර්ණයට ඉන් බලපෑම් කළ හැකිය. කැරොටිනොයිඩ් බහුල ආහාර (කැරට් සහ බතල වැනි) ද සමේ වර්ණය ඇති කිරීමට තරමක් බලපාන අතර, ඇතැම් සෞඛ්‍ය තත්ත්වයන් සහ ඖෂධ ද සමේ වර්ණකයට බලපෑ හැකිය. උදාහරණයක් ලෙස: විටිලිගෝ (මෙලනොසයිට් විනාශ වන රෝගයකි) වැනි රෝගී තත්ත්වයන් සමේ පැහැපත් පැල්ලම්වලට තුඩු දෙන අතර, තවත් සමහර රෝගවලදී සමේ අඳුරු වර්ණක ඇති විය හැකිය.

සම පැහැපත් කිරීම

සම පැහැපත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ සමේ වර්ණය පැහැපත් කිරීමට හෝ අඳුරු පැල්ලම් සහ වර්ණක අඩු කිරීමට විවිධ නිෂ්පාදන සහ ක්‍රම භාවිත කිරීමය. සමේ වර්ණය ස්ථිරවම සුදු පැහැයට හැරවීමට වෛද්‍යමය වශයෙන් ආරක්ෂිත ක්‍රමයක් නැත. සම පැහැපත් කිරීමේ ප්‍රතිකාර ගත හැකි වුවද, ඒවා තාවකාලික වන අතර බොහෝ විට සමේ හානි හෝ වෙනත් සෞඛ්‍ය සංකූලතා සහිත වේ.

රූපලාවණ්‍ය ක්‍රම මඟින් සම පැහැපත් කරගැනීම මතභේදාත්මක විය හැකි අතර, ඒ සඳහා භාවිත කරන ආලේපන හා ඖෂධවල සෞඛ්‍ය රක්ෂිත බව සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය. සම පැහැපත් කිරීම ඇතුළු රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි වැඩිම සැලකිල්ලක් හා වියදමක් දරන ජන වර්ග ලෙස ඉදිරියෙන්ම සිටින්නේ ජපානය, දකුණු කොරියාව හා අමෙරිකා එක්සත් ජනපදයයි.

සම පැහැපත් කිරීමේ ප්‍රචලිත ක්‍රම

සම පැහැපත් කර ගැනීම සඳහා වර්තමානයේ වඩාත් ජනප්‍රිය ආලේපන සහ ක්‍රීම්වල බහුලව භාවිත කරන අමුද්‍රව්‍යවලින් එකක් වන්නේ හයිඩ්‍රොන්විනෝන් ය. එය මෙලනින් නිෂ්පාදනය වළක්වන අතර, අඳුරු ලප, මෙලස්මා සහ අව්වට පිලිස්සුණු සමට ප්‍රතිඵල දායක වේ. කෙසේ වෙතත්, දිගුකාලීන භාවිතය සමේ අසාත්මික ඉදිමුම් වැනි අතුරු ආබාධ ඇති කළ හැකි අතර, සමහර රටවල සෞඛ්‍ය අවදානම් හේතුවෙන් එහි භාවිතය නියාමනය කර හෝ තහනම් කර ඇත.

රෙටිනොයිඩ තුළ විටමින් ඒ මියගිය සෛල ගැලවීම පධනය කරන අතර, එමඟින් අඳුරු පැල්ලම් ඉවත් කිරීමට සහ සමේ වයනය වැඩි දියුණු කිරීමට උපකාරි වේ. විටමින් සී (ඇස්කෝර්බික් අම්ලය) මෙලනින් නිෂ්පාදනය අඩාළ කිරීමෙන් සම පැහැපත් කළ හැකි ප්‍රති ඔක්සිකාරකයකි. නියාසිනාමයිඩ් හෙවත් විටමින් බී3 ද මෙලනින් නිෂ්පාදනය අඩු කිරීමට උපකාරි වන අතර, සම පැහැපත් වීමට උපකාරි වේ. ආර්බියුටින් මෙලනින් නිෂ්පාදනය වළක්වන අතර, බොහෝ විට සම පැහැපත් කරන නිෂ්පාදනවල දක්නට ලැබේ.

රසායනික පීල් මඟින් සම ඉවත් කිරීමට සහ පිටත ස්තර ඉවත් කිරීමට අම්ල කිහිපයක් භාවිත කරයි. මෙය සමේ සෛල විභාජනය වේගවත් කිරීම සහ වර්ණක අඩු කිරීම මඟින් සම පැහැපත් කිරීමට උපකාරි වේ. සමේ අසමානතාවය, අඳුරු පැල්ලම් සහ මෙලස්මා සඳහා මෙමඟින් ප්‍රතිකාර කළ හැකිය. ඊට අමතරව ලේසර් කිරණ ද සම පැහැපත් කිරීමට යොදා ගනී. එමඟින් සමේ නව සෛලවල වර්ධනය උත්තේජනය කරන අතර, සමේ වර්ණය පැහැපත් කරයි. එමෙන්ම සම පැහැපත් කිරීම සඳහා විටමින් සී සහ ඇල්ෆා-ලිපොයික් අම්ලය වැනි අමුද්‍රව්‍ය අඩංගු ඖෂධ අතිරේක ද භාවිත කරයි. සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම ද සම පැහැපත් කර ගැනීම සඳහා භාවිත කරන ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ක්‍රමයකි.

ආලේපන තෝරාගැනීම

මිනිස් මුහුණේ සම වෛද්‍ය විද්‍යානුකූලව එකිනෙකට වෙනස් වර්ග දහසයකට බෙදිය හැකි නමුත් මූලික වශයෙන් එය සාමාන්‍ය, තෙල් සහිත, වියළි, මිශ්‍ර සහ සංවේදි ලෙස වර්ග 5කට බෙදා ඇත. සම පැහැපත් කරන ආලේපන තෝරාගැනීමේදී අපගේ සමේ වර්ගය දැන සිටිය යුතු අතර, ඊට ගැළපෙන වර්ගයක් භාවිත කළ යුතුය.

ඖෂධ හා විලවුන් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආලේපනයේ අඩංගු අමුද්‍රව්‍යවල සංයුතිය සඳහන් විශ්වසනීය වෙළෙඳ නාමයක් සහිත මුහුණු පැහැපත් කිරීමේ ආලේපනයක් එකක් තෝරාගත යුතුය. සම පැහැපත් කරන ආලේපනවලට සම තාවකාලිකව පැහැපත් කර වර්ණය අඩු කළ හැකි නමුත් එහි බලපෑම ස්ථිර නොවේ. විශේෂයෙන් හිරු එළියට නිරාවරණය වීමත් සමඟ හෝ ආලේපන පාවිච්චිය නතර කර කාලයක් ගත වීමත් සමඟ සමේ ස්වාභාවික වර්ණය නැවත පැමිණිය හැකිය.

සම පැහැපත් කරන ස්වාභාවික පිළියම්

සම පැහැපත් කිරීම සඳහා භාවිත කරන පොදු ස්වාභාවික ද්‍රව්‍ය ලෙස ලෙමන් යුෂ, කෝමාරිකා, කහ, යෝගට් සහ මී පැණි හැඳින්විය හැකිය. සම අඳුරු වීම වැළැක්වීමේ වැදගත්ම සාධකයක් වන්නේ පාරජම්බුල කිරණවලින් සම ආරක්ෂා කරගැනීමය. හිරු එළියට නිරාවරණය වීමෙන් ඇති වන අඳුරු පැල්ලම් සහ වර්ණක ඇති වීම වැළැක්වීමට හිරු ආවරණ ආලේපන (Sun cream) භාවිත කළ හැකිය.

මතු කරන සෞඛ්‍ය ගැටලු

මුහුණේ සම රතු පැහැ වීම, මුහුණ කැසීම, මුහුණේ සෑම තැනකම කුරුලෑ ඇති වීම, මුහුණේ සම තුළින් රුධිරවාහිනී මතු වී පෙනීම, මුහුණේ පෙර තිබූ ලප කළු, නිල් හෝ අඳුරු පාටට හැරීම, මුහුණේ සිහින් හිසකෙස්,රෝම මතුවීම (කම්මුලේ හා ඇස් යට), දිගු රේඛා වැනි කැලැල් ලකුණු මතු වීම, මුහුණේ බිබිළි, දද හා තුවාල ඇති වීම, සම වියළී ගැලවී යෑම හා කොරල මතු වීම

අමෙරිකා එක්සත් ජනපදයේ සම පැහැපත් කිරීමේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස රසදිය යොදා ගැනීම තහනම් කර ඇතත් වෙනත් රටවල් විසින් නිෂ්පාදනය කරන ආලේපනවල තවමත් රසදිය අඩංගු වේ.

වසර 2014දී සිදු කළ අධ්‍යයනයකදී අන්තර්ජාලයෙන් සහ වෙළෙඳසල්වලින් මිල දී ගත්, සම පැහැපත් කරන ක්‍රීම් වර්ග 549න් සියයට 12කට ආසන්න ප්‍රමාණයක රසදිය අඩංගු වී තිබිණි. මේ නිෂ්පාදනවලින් අඩක් පමණ එක්සත් ජනපද වෙළෙඳසල්වලින් නිකුත් කර තිබිණි. අත්පා හිරිවැටීම, අධි රුධිර පීඩනය, තෙහෙට්ටුව, ආලෝකයට සංවේදිතාව, වෙව්ළීම, මතකය අඩු වීම හා වකුගඩු අක්‍රිය වීම රසදිය විෂ වීමේ රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකිය.

බොහෝ සම පැහැපත් කිරීමේ නිෂ්පාදන අඳුරු සමක් ඇති අය සඳහා නිර්දේශ නොකරන අතර, එහිදී සම තවදුරටත් තද පැහැ වීම (hyperpigmentation) ඇති විය හැකිය. සම පැහැපත් කිරීමේ ප්‍රතිකාර ළමයින් හෝ ගැබිනි හෝ කිරිදෙන මවුවරුන් සඳහා භාවිත කිරීමට ද නිර්දේශ නොකරයි. එන්නත් කළ හැකි සම පැහැපත් කිරීමේ නිෂ්පාදන තිබුණ ද අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය (FDA) විසින් ඒවා ද නිර්දේශ නොකරන්නේ ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන බවට ප්‍රමාණවත් සාක්ෂි නැති වීම සහ සෞඛ්‍ය අවදානම් තත්ත්වයන් තිබිය හැකි නිසාය.

සුදු වෙන්නම ඕනද?

පැහැපත් සමක් සඳහා ඇති ආශාව මානසික සෞඛ්‍යයට සහ ආත්ම අභිමානයට අහිතකර ලෙස බලපෑ හැකි සමාජ පීඩන තත්ත්වයකි. සම සුදු කිරීමේ ආලේපන සහ ප්‍රතිකාරවල ඇති අවදානම් බව තේරුම් නොගෙන ඒවා අධික ලෙස භාවිත කිරීම ඇබ්බැහියක් දක්වා වර්ධනය විය හැකිය.

සම සුදු කිරීමේ ප්‍රතිකාර මඟින් කෙටිකාලීන රූපලාවණ්‍ය ප්‍රතිඵල ගෙනදිය හැකි වුවද ඒවා සමේ හානි, කැසීම්, අාසාත්මිකතා සහ අක්මාව හෝ වකුගඩු හානි වැනි පද්ධතිමය සෞඛ්‍ය ගැටලු ඇතුළු සැලකිය යුතු දිගුකාලීන සෞඛ්‍ය අවදානම් ඇති කරයි. සෞඛ්‍යයට අහිතකර, ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය නිෂ්පාදනවලට වඩා සමේ සෞඛ්‍යය සහ යහපැවැත්මට ප්‍රමුඛත්ව දීම අත්‍යවශ්‍ය වේ. ඔබ සමේ අවපැහැගැන්වීම ගැන සැලකිලිමත් වන්නේ නම්, සුදුසුකම්ලත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීම ආරක්ෂිත ප්‍රවේශයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division