Home » සියලු අපල උපද්‍රව දුරු කරන මහා බලගතු හනුමාන් දේව පූජාව

සියලු අපල උපද්‍රව දුරු කරන මහා බලගතු හනුමාන් දේව පූජාව

නිසි වත් පිළිවෙත් අනුගමනය කර දින 07ක් පුද පූජා පවත්වන්න

by Mahesh Lakehouse
January 11, 2025 12:29 am 0 comment

දුක් කරදර, කම්කටොලු, අපල උපද්‍රව දිගින් දිගටම එන විට ඕනෑම කෙනෙකුගේ මනසද අවුල් වන බව නොරහසකි. ඒරාෂ්ඨක අපල, සෙනසුරු, රාහු, කේතු අපල වාගේම නීච ග්‍රහයින්ගේ අපලද අපට ගෙන දෙනුයේ කටුක අත්දැකීම්ය. පැහැදිලි අරමුණක් නැතිවා සේම කඩා වැටුන මානසික මට්ටමකදී දුකකට පත්වන අප මේ නිසාම තවත් පත්වෙනුයේ අගාදයකටමය.

තමන් සතු ව්‍යාපාර බංකොලොත් වී දේපොළ ද විනාශ වී මහ පාරට ඇද වැටුන අය කෙතරම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පසුපස හඹා ගොස් ප්‍රතිඵලයක් නැතිව ණය බරින්ද හෙම්බත් අයකු එමටය. විවාහ දිවියේ නොයෙකුත් කම්කටොලු, දරු සම්පත් නොමැතිකම සමහරවිට සුදුසු විවාහයක් පවා නැතිව සෝ සුසුම් හෙළන අය දෙවරක් නොසිතා මා මෙවර ඉදිරිපත් කරන ඉතා හාස්කම් සහිත මේ හනුමාන් පූජාව සිදු කරන්න. ජීවිතය පැරදුනු, නීරස වු අයට මෙය මහඟු අස්වැසිල්ලක් වනු නොඅනුමානයි.

මහා බලගතු හනුමාන් දෙවිඳුගේ ආකර්ෂණය ලබා ඔබේ සියලු දුක් කරදර කම්කටොලු ඉවත් කර දෙන මහා පූජාවකි. මෙය ගෞරවය, භක්තිය, විශ්වාසය පළමුව ඔබේ මනසට ගොඩනඟා ගන්න. සියලු දුක් කම්කටොලු හිරු දුටු පිණි මෙන් ඉතා ඉක්මනින් ඉවත් වෙනු ඇත.

ඔබේ ධනය වටිනා කාලය වැය විය යුත්තේ ඉමහත් ගෞරවණීය සාර්ථක කාර්යක් වෙනුවෙන් බව සිතා ගන්න. හනුමාන් මහා පූජාවට පළමු ඔබ දින 07ක් වත් නිර්මාංසව පේවිය යුතුය. දේව පූජා වලදී එය ඇරඹිය යුත්තේ පුර පස දිනෙක මෙන්ම ඔබද ස්නානය කර පිරිසිදු ඇඳුමින් සැරසී ඉතා සුවඳවත්වය.

පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය:- උතුම් හනුමාන් දෙවිඳුගේ දේව ප්‍රතිමාවක් හෝ පින්තූරයක්, සුවඳ පලතුරු වර්ග 07 ක් ඇතුළත් පූජා වට්ටියක්, බුලත් කොළ මාලයක්, පුවක්, හකුරු, නොයෙක් වර්ණවල මල් වර්ග කීපයක්, ටීපෝවක්, එළඟිතෙල් දැමු පහනක්, සුවඳ හඳුන්කූරු, සුදු හඳුන්, කට්ටකුමංජල් සහිත සුවඳ කුඩු, රතු තිරයක්, බැදපු කඩල, පරිප්පු මිටක්, පැන් බෝතලයක්.

ඔබේ වත්ත, නිවස පුරා දෙහි මිශ්‍ර කහ වතුර ඉසින්න. කට්ට කුමංජල් සුවඳ දුම් අල්ලන්න. පූජාවට පෙර දින 07 ක් නිර්මාංශව පේවු ඔබ සිතේ ඇති සියලුම කරදර උතුම් හනුමාන් දෙවිඳුට පවසන්න.

“ශ්‍රී රාම ජෙයම්” යැයි තෙවරක් කියා හනුමාන් දෙවිඳුට පින් දෙන්න. ඉටු කරගත යුතු කරුණු කාරණා හනුමාන් දෙවිඳුට පවසන්න.

පූජාව පටන් ගත යුත්තේ පුරපස අඟහරුවාදා උදය හෝ සවසයි.

හනුමාන් දේව ප්‍රතිමාවට හෝ රූපයට පෙනෙන ලෙස රතු තිරය එලා ටිපෝව තබන්න. කහ දියරින් සෝදා ගත් පළතුරු ඒ මත තබන්න. එළඟිතෙල් පහන පත්තු කර බුලත් කොළ මාලය උතුම් දෙවිඳුට පලඳවන්න. මෙම දේව වන්දනාවට ප්‍රථම ඔබ පන්සිල් ගෙන බුදුන් වැඳිය යුතුය. ඉතාම ගෞරවයෙන් භක්තියෙන් 108 වරක් දෙවිඳුන් සිතේ මවාගෙන පහත සඳහන් ශ්ලෝකය කියන්න.

ශ්‍රී රාම් භක්ත හනුමාන්
(3 වරක් කියන්න)

තෙද බල සහ ශක්තියේ මූර්තිය
විදුලිය බඳු වේගයෙන් හඹා යන
මහා වීර ශ්‍රී හනුමාන් දෙවිඳුන්
අඳුරු නොපහන් සිතුවිලි සිඳ බිඳ

ආලෝකය දී පිහිට වන්න මට (3 වරක් කියන්න)

මෙම බලවත් ශ්ලෝකය මා හට ලැබුණේ දෙමළ භාෂාවෙනි. ඔබ වෙනුවෙන් පරිවර්තනය කර ඉදිරිපත් කළෙමි. භක්තිමත්ව ශ්ලෝකය කියමින් දෙවිඳු වෙනුවෙන් හඳුන්කූරු දල්වා සියල්ල පූජා කරන්න. සඳුන් කුඩු පිළිමයට ඉසින්න.

“රාම දෙවිඳුට සීතාවන්ට පිහිට වු ලෙස මගේ දහසකුත් කම්කටොලුවලට පිහිට වන්න” යයි උන්වහන්සේගෙන් ඉල්ලන්න. ඉතාම බලගතු ප්‍රබල පූජාවක් බැවින් එක දිගට මෙලෙසින් දින 07 ක් පේවී පූජාව තබන්න. දෙවිඳුට පින් දී උන්වහන්සේගේ පිහිට එක දිගට දින 07 ම ඉල්ලන්න. මෙය කිසිදා නොවරදින මහඟු හාස්කම් ඇති අති ප්‍රබල දේව පූජාවකි. ඔබේ ජීවිතය වාසනාවන්ත වී බලාපොරොත්තු ඉටුවන හනුමාන් දෙවිඳු වන්දනා මාන කිරීම සහ පින්දීම දිගටම සිදු කිරීමෙන් ඔබ නොසිතූ ප්‍රතිඵලයක් ජීවිතයට ලබාගත හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division