Home » සාධු ජන රාවය

සාධු ජන රාවය

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

ඉන්දියාවේ උප ජනාධිපතිවරයකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකු ද වූ එස්. රාධා ක්‍රිෂ්ණන් 1960 වසරේදී ශ්‍රී ලංකාව ගැන ඉතා වැදගත් ප්‍රකාශ කර තිබේ:

“දර්ශනීය භූමි ප්‍රදේශයන්ගෙන් ද, ස්වාභාවික සම්පත්වලින් හා කලාකාමි ජනතාවගෙන් ද සමන්විත වූ ලංකාව අංග සම්පූර්ණ කුඩා දේශයකි. හොඳ හිතත් සහයෝගයත් ඇති වුව හොත් පරිපූර්ණ ජීවිතයෙන් යුතු ජනතාවකට වාසභූමි වූ සමෘද්ධිමත් රාජ්‍යයක් බවට ලංකාව පමුණුවනු ලැබිය හැකි ය. ලංකාවාසි ජනතාව විසින් අදහනු ලබන්නා වූ විවිධ ආගම්වලින් ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයත්, උදාර ජීවිතයක් වෙනුවෙන් ස්වකීය ජීවිතය කැප කිරීමත් අවධාරණය කරනු ලැබ තිබේ. මේ ප්‍රතිපත්ති නියම ලෙස පිළිපදිනු ලැබුව හොත් ලංකාවට ශ්‍රේෂ්ඨ අනාගතයක් බලාපොරොත්තු විය හැකි ය.”

රාධා ක්‍රිෂ්ණන් මහතා වසර 65කට පෙර එසේ ප්‍රකාශ කළ නමුත්, අපේ රටේ පාලකයන් අපට හොඳ හිතත්, සහයෝගයත් දුන්නේ නැත. ගත වූ වසර හැත්තෑහය මුළුල්ලේම ඔවුන් කළේ දේශපාලන තක්කඩිකම්වලින්, යටිකූට්ටු ගේම්වලින් බලය අල්ලා ගෙන, ජනතාව මුළා කොට රටේ සම්පත් තමන්ගේ ගිණුම්වලට බහා ගැනීම ය.

බලයේ සිටි පාලකයන් සොරා කෑවා ය කියන කතාව ආවාට ගියාට කියන කතාවක් නො වේ. ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය දුන් නඩු තීන්දුවකින් ම එය සනාථ කර තිබිණි. එකී නඩු තීන්දුවට අනුව; රටට සිදු කළ ආර්ථික විනාශයට හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන් ම හිටපු මුදල් ඇමැතිවරයකු වූ බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් ද, ඔවුන් වටා සිටි රාජ්‍ය නිලධාරීන් ද වග කිව යුතු බව ප්‍රකාශයට පත් විය. කෙසේ වුව ද අධිකරණය මඟින් හෝ ඒ නඩු තීන්දුවෙන් ඔබ්බට කිසියම් ඉදිරි පියවරක් නිර්දේශ කර තිබුණේ නැත.

එකල ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන සන්දර්භයට අනුව පාලකයන් සතුටු කිරීම සඳහා නිවැරදි නොවන දත්ත දීමට රාජ්‍ය නිලධාරීන්ට සිදු ව තිබුණු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පසු ව ප්‍රකාශ කර තිබිණි. එක් අවස්ථාවක මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළේ “අවුරුදු දෙකක් තිස්සේ මුදල් මණ්ඩලයේ සිටින විට මේ රට කඩාවැටෙන විත්තිය මම හොඳින් ම දැක්කා. ඒ වෙනුවෙන් මම වින්ද දුක දන්නේ මගේ භාර්යාව විතරයි” යනුවෙනි. “ශ්‍රේෂ්ඨාධිකරණය මේ අර්බුදය සම්බන්ධයෙන් දුන් තීන්දුවට මම ගරු කරනවා. මොකද, ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත දිහා එදා බලපු නැති එකයි මට තියෙන ප්‍රශ්නය” යනුවෙන් ද මුදල් ලේකම්වරයා ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති අනුර දිසානායක සිය ධුරයෙහි වැඩ භාර ගනිමින් ප්‍රකාශ කළේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් මෙන් ම පුරවැසියන් ද ස්වකීය හෘදයසාක්ෂියට එකඟව, අවංක භාවයෙන් ක්‍රියා කළ යුතු බවයි.

නව වසර ආරම්භ කරමින් ආණ්ඩුව ක්‍රියාත්මක කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනෙහි අන්තර්ගත ගැඹුරු හරය වන්නේ ‘අප සියලු දෙනාගේ අධ්‍යාත්මයේ සිට සමස්ත පරිපාලන දේහය ම ක්ලීන් විය යුතු ය’ යන්න බවත්, අප හැම දෙනාගේ ම චර්යා රටාවන්ගේ සිට අප අනුගමනය කරන ප්‍රතිපත්ති පිරිසුදු විය යුතු බවත් ය. රටක් පොහොසත් රටක් වන්නටත්, ලස්සන රටක් වන්නටත් පුරවැසියෝ ජාති, ආගම් දේශපාලන භේදවලින් තොර සාධු ජනයෝ විය යුත්තාහ. ශ්‍රී ලංකාව පරිහානියට පත් වූයේ සාධු ජනයන්ගේ රාවය යටපත් වී, දුර්ජන මිනිසුන්ගේ හඬ උස්ව නැඟුණු නිසා ය.

බලය අහිමි වූ ප්‍රතිවාදීන් ආණ්ඩුවට කැටකැබිලිතිවලින් දමා ගසමින්, ජන මනස පලුදු කරන්න වෑයම් කරන බව රහසක් නොවේ. සමස්ත රාජ්‍ය යන්ත්‍රය ම යහපත් පදනමකට ගෙන ඒම සඳහා ගත වූ දින 100 තුළ ආණ්ඩුව ශක්තිමත් දැලක් එළා ඇත. නැති ප්‍රශ්න මවා පෙන්වා පුරවැසියන් මුළා කිරීමට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බලවේග දරන වෙහෙස පිළිබඳ අප පුදුම විය යුතු නැත.

තමන් පාර්ලිමේන්තුවට පත් කර එවූ මිනිසුන්ගේ ගෞරවය රැකෙන අන්දමේ හැසිරීමක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දක්නට නොලැබේ. ඔවුන් අපේ රට ලෝකයේ නරක ම තැනට පත් කරන්න දායක වූ පිරිසක් බව රටේ ජනතාව දනිති. වර්තමාන ආණ්ඩුව රට භයානක ඉරණමකට පත් වීමෙන් ගලවා ගත් බව යහපත් මිනිස්සු දනිති.

ලෝකයේ නරක ම රාජ්‍ය ලෙස සලකා පසෙකට තල්ලු කර දැමූ රටවල් තිබේ. ගූගල් සෙවුමේ worst passport countries යනුවෙන් සඳහන් කළ විට අපට ඒ රාජ්‍යයන් දැන ගත හැකි ය. සුඩානය, යේමනය, සෝමාලියාව, එරිත්‍රියාව, ඇෆ්ගනිස්තානය ආදි රාජ්‍ය සමූහයක් එවිට අපට හමු වේ. අපේ දරුවන්ගේ වාසනාවට ශ්‍රී ලංකාව ඒ තත්ත්වයට වැටීමෙන් ගලවා ගැනීමට ජනාධිපති අනුර දිසානායක සමත් විය. එහෙත් ශ්‍රී ලංකාව අග්නිදිග ආසියාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානය වනවා නම්, අප හේතු ඇති ව හෝ නැති ව නිකරුණේ මරා ගන්නවා නම්, ජාතිය හෝ ආගම ඉදිරියට දමා අනෙකා සමග ආරවුල් ඇති කර ගන්නවා නම්, ලෝකය ම ආදරය කරන අපේ වනාන්තර වනසා දමා පරිසරය කාන්තාරයක් වන්නට ඉඩ හරිනවා නම්; අවි ගත් පාතාලයන්ට අවශ්‍ය ආකාරයට සමාජය හසුරුවන්න ඉඩ දෙනවා නම්; අපේ රට ගර්හිත රාජ්‍යයන් අතරට වැටීම වළක්වා ගත නොහැකි ය.

ආණ්ඩුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ආරම්භ කළේ කෝටි දෙක හමාරක ජනතාවගේ ආශීර්වාදය ඇති ව, සහයෝගය ඇති ව ශ්‍රී ලංකාව පොහොසත් රටක් කරන්න ය.

එළඹී තිබෙන්නේ සාධු ජනයන් රාව නඟන කාලයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division