අපරාධ සිදුකර සැඟවී සිටීම ලේසි පහසු නැත. මොනයම් මොහොතක හෝ ඔහු හෝ ඇය නීතියේ රැහැනට කොටුවෙනවාමයි. කවරදාවත් හසු වන්නේ නැතැයි සිතා අපරාධ සිදු කරන අය ද නීතියේ රැහැනට හසුවූ අවස්ථා අනන්තය; අප්‍රමාණය. තවත් සමහරු අපරාධ සිදුකර සැඟවී සිටින ගමන් තමන්ගේ කට නිසා එහෙමත් නැත්නම් පණ්ඩිතකම නිසා ද පොලිසියට කොටුවූ අවස්ථා ඇත. මෙය ‘ඒ වර්ගයේ’ කතාවකි. මේ සිද්ධිය වාර්තා වන්නේ මුල්ලේරියාව පොලිස් ස්ථානයෙනි.
මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්තය. කලක් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේද සේවයේ නියුතුව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් ප්‍රසන්න අපරාධ විමර්ශනයෙහි දක්ෂයෙකි. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ධුරය දරද්දී අපරාධ ගණනාවක සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගත් නිලධරයෙකි.
මුල්ලේරියාව පොලිසියේ නිලධරයන් විසින් කිසියම් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නේ පසුගිය දිනෙකය. ඒ ඔහුට, ඔහුගේ අනන්‍යතාව හෙළි කිරීමට කිසිම ලේඛනයක් ඔහු සතුව නොතිබුණු බැවිනි. ජාතික හැඳුනුම්පතද නැත. එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයන් ඔහුගෙන් තොරතුරු විමසන්නේ අඩුම ගණනේ පදිංචිය පිළිබඳව හෝ විස්තර හෙළිකර ගැනීම සඳහාය.
මේ අතර මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්තට දුරකතන ඇමතුමක් ලැබිණි. ස්ථානාධිපතිවරයා ඊට නිසි ප්‍රතිචාර දැක්වීය. ඇමතුම දුන්නේ රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටි අයෙකි. ඔහු තමා හඳුන්වා දුන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ‘ෆොන්සේකා’ ලෙසය. ඔහු මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්තගෙන් ඉල්ලා සිටියේ ජාතික හැඳුනුම්පත නොමැතිව එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මුදා හරින ලෙසටය.
මේ ඇමතුම ගැන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලොකු සැකයක් ඇති විය. එලෙස කතා කරන පුද්ගලයා පොලිස් නිලධරයෙකු නම් නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්තට වැටහිණි. ඒ ගැන ඇමතුම දුන් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට තැත් කරද්දී රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති ‘සී.අයි. ෆොන්සේකා’ ලෙස පෙනී සිටි පුද්ගලයා ඇමතුම විසන්ධි කළේය.
මේ ඇමතුම සම්බන්ධ කිසියම් රහසක් ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයාට පැහැදිලි වන්නට වැඩි වේලාවක් ගියේ නැත. කෑගල්ල පොලිස් කොට්ඨාසයට අයත් රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් එලෙස කතා කළ පුද්ගලයා බොරුකාරයකු බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් ප්‍රසන්නට වැටහිණි. ඔහු ඉන් අනතුරුව සිදු කළේ මේ ගැන විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමයි.
ඇමතුම දුන් පුද්ගලයා ගැන තොරතුරු ඉතා සූක්ෂ්මව සොයාගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත කළේ එම තැනැත්තා ගැන සිය පෞද්ගලික ඔත්තුකරුවන් යොදවා තොරතුරු දැන ගැනීමයි. එම තැනැත්තා කොළඹ රාත්‍රී සමාජ ශාලාවල සේවය කරන නළඟනන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන අයකු බවට තොරතුරු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්න සොයා ගන්නේ ඔය අතරය. මේ තැනැත්තා අයිස් මත්ද්‍රව්‍ය තොග පිටින් මිලට ගෙන පැකට් කර ඒවා රාත්‍රී සමාජ ශාලාවල නළඟනන්ට අලෙවි කරන බවද හෙළි විය.
මේ පුද්ගලයා මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි අයකු බවට තොරතුරු සොයාගත් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති සුනිමල් සුසන්ත ඇතුළු කණ්ඩායමක් සැකකරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නේ අනතුරුවය. අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටියදී ඔහු සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර රැඳවුම් නියෝග මත මේ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
මේ තැනැත්තා සමඟ තවත් පුද්ගලයකු මීට සම්බන්ධ බව එහිදී හෙළි විය. මේ දෙදෙනා එක්ව පසුගිය නොවැම්බර් 26 වැනිදා මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි හලක් කොල්ලකෑමේ සිද්ධියක් ගැන තොරතුරු හෙළිවන්නේ ඔය අතරය.
එම රන් ආභරණ කොල්ලය සිදු කිරීමට යුද හමුදාවේ හිටපු කපිතාන්වරයකු ද සම්බන්ධ බවට මේ සැකකරු කළ හෙළිදරව්වෙන් අනතුරුව පොලිසිය විමර්ශන ආරම්භ කළේ එම ‘හිටපු කපිතාන්’ අල්ලා ගැනීම සඳහා ය. එම හිටපු කපිතාන් ත්‍රිකුණාමලය අයකු බවද ඔහු මේ වන විට ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික ආරක්ෂක අංශයක සේවයේ නිරතව සිටින අයකු බවටද තොරතුරු මේ සැකකරු හෙළි කළේය.
එම හිටපු කපිතාන් යැයි කියන පුද්ගලයා අල්ලා ගැනීම ඊළඟ සැලැසුම විය. අත්අඩංගුවේ සිටින සැකකරු ලවා ඔහුට දුරකතන ඇමතුමක් දී ඔහු කැලණිමුල්ල ප්‍රදේශයට ගෙන්වා ගැනීමට පොලිස් ස්ථානාධිපති සුනිමල් සුසන්ත ඇතුළු කණ්ඩායමට හැකි විය. එලෙස ආ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ඔහු හිටපු කපිතාන්වරයකු නොව හිටපු හමුදා සෙබළකු බව තොරතුරු අනාවරණය විය.
දෙල්ගොඩ ස්වර්ණාභරණහල් ‘රොබරිය’ ගැන පොලිසිය මේ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ ඔහු තමා රාජකාරි කළ ස්ථානයට අයත් මෝටර් බයිසිකලයෙන් පැමිණ රන් ආභරණ හලේ කොල්ලය සිදු කර ඇති බවයි. ඒ සඳහා වෙනත් මෝටර් බයිසිකලයක ලියාපදිංචි අංක තහඩුවක් යොදාගෙන ඇති බව හෙළිවූ නිසා ඒ ගැන ප්‍රශ්න කරද්දී අනාවරණය වී ඇත්තේ පිළියන්දල බෝකුන්දර සුපිරි වෙළෙඳසැලක් අසල නවතා තිබුණු මෝටර් බයිසිකලයක අංක තහඩුවක් ගලවාගෙන එය තමාගේ මෝටර් බයිසිකලයේ සවි කරගෙන ගොස් මේ කොල්ලය සිදුකර ඇති බවකි. අදාළ මෝටර් බයිසිකලය 16 හැවිරිදි තරුණයකුට අයත් එකකි.
මේ දෙදෙනාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මුල්ලේරියාව සල්මල් මාවතේදී කාන්තාවක සතු රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියක් ද හෙළි වූ අතර එම කොල්ලය සිදුවී ඇත්තේ 2022 වසරේදීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පෙනී සිටිමින් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්තට ඇමතුමක් දුන් පුද්ගලයාට එරෙහිව පාණදුර සහ ඇඹිලිපිටිය උසාවිවලින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද හෙළිවී තිබේ.
දීපාල් සමරසේකර