මත්ලෝලියාට තැනක් නොතැනක් නැත. ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගැනීමයි. ඒ සඳහා ඔහු නොකරන දෙයක් නැත.
මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයෝ ඒ සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගැනීම සඳහා ඕනෑම දෙයක් සොරකම් කරති. පොලිසිය මත්ලෝලියාගේ ‘චර්යාව’ අධ්‍යයනය කර ඇති ආකාරයට ඔහු ‘බිම බලමින්’ දිනකට විශාල දුරක් පයින් ගමන් කරයි. ඒ විකිණීමට ඇති කුමක් හෝ සොයාගන්නා තෙක්ය.
රෙදි වැලක වේළෙන්නට දමා ඇති තෙත රෙදි හෝ සොරකම් කිරීම මත්ලෝලියාගේ සිරිතයි. සෙරෙප්පු ඇතුළු පාවහන් ද කුඩා යකඩ කැබැලි, අල්පෙනෙත්ති පවා ඔහු එකතු කරන්නේ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් අතරින් ශතයක් හෝ එකතු කරගැනීම සඳහාය.
බිලිඳකුගේ මළ සිරුරක් දමා තිබුණ ගමන් බෑගයක් සොයාගත් මත්ලෝලියෙක් බිලිඳු සිරුර පසෙක දමා ගමන් බෑගය ගෙන ගොස් රුපියල් තුන්සීයකට අලෙවි කළ සිද්ධියක් පිළිබඳ පුවතක් පසුගියදා වාර්තා වූයේ දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිදු කළ විමර්ශනයකදී හෙළි වුණු තොරතුරුවලට අනුවය.
මේ සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය.
දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාරට පසුගියදා දුරකතන ඇමතුමක් ලැබුණි. ඇමතුම දුන්නේ දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.
මේ ඇමතුමෙන් කියැවුණේ දෙමටගොඩ ගුවන් පාලම යට රෙදිවලින් ඔතන ලද උපන් හැටියේ බිලිඳියක සිටින බවය. ලද තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති කපිල බණ්ඩාර වහාම එතැනට යන්නේ පොලිස් කාන්තාවකද සමඟය.
තොරතුරුකරු කී හැටියටම උපන් බිලිඳියක රෙදි කැබැලිවලින් ඔතා ගුවන් පාලම යට දමා ගොස් ඇති බව පොලිස් ස්ථානාධිපති කපිල බණ්ඩාරට නිරීක්ෂණය විය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කාන්තාව සමඟ එක්ව බිලිඳිය රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් බිලිඳිය මෙලොව හැර ගොස් සිටියාය. බිලිඳිය ඒ මොහොතේ පරීක්ෂා කළ වෛද්‍යවරුන් පොලිස් ස්ථානාධිපතිවරයාට මේ බව දැනුම් දී තිබිණි.
සිරුර හොඳින් වැඩී තිබුණ මේ බිලිඳිය දිනකට හෝ දෙකකට පෙර ඉපදෙන්නට ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි.
මේ බිලිඳිය බිහි කළ මව සොයා පොලිසිය ඊළඟට විමර්ශන ආරම්භ කළේය. දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාරගේ උපදෙස් මත මේ ගැන මූලික විමර්ශන ආරම්භ කළේ දෙමටගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා කොස්තාපල් (12697) අමරසිංහ මෙණෙවියයි.
ස්ථානාධිපතිනිය ඇතුළු කණ්ඩායමක් දෙමටගොඩ සහ කැටවලමුල්ල ප්‍රදේශවල පවුල් සෞඛ්‍ය සේවිකාවන් සොයා ගොස් ඔවුන්ගෙන් මෑතකදී දරුවකු බිහිකළ කතුන් පිළිබඳ තොරතුරු විමසා තිබිණි.
බොරැල්ල සහ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශවල සේවයේ නිරත පවුල් සෞඛ්‍ය සේවිකාවන් හමුවට ද ගොස් ඒ පිළිබඳව තොරතුරු විමසා දැන ගැනීමට ද පොලිස් නිලධාරීන් ඒ අතරේ පියවර ගෙන තිබිණි.
මේ අතර පොලිසියට මේ ගැන තවත් හෝඩුවාවක් ලැබිණි. ඒ මේ බිලිඳියගේ සිරුර පාසල් බෑගයක බහා ගුවන් පාලම යට තිබුණු බවටය. මත්ලෝලියකු විසින් බිලිඳු සිරුර ඉවත් කර එම බෑගය රැගෙන ගොස් ඇති බවද පොලිසියට තොරතුරු ලැබී තිබුණි.
මේ හෝඩුවාවද පොලිසියට ඉතා වැදගත් එකක් විය. ඒ බිලිඳියගේ සිරුර මුලින්ම තිබී ඇත්තේ පාසල් පොත් බෑගයක් ඇතුළේ බවට ලැබුණු තොරතුරු නිසාය. මත්ලෝලියා සහ එම පොත් බෑගය සොයා ගැනීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවය.
මේ මත්ලෝලියා සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට වැඩි වේලාවක් ගියේ නැත. සැකකාර මත්ලෝලියා සොයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී පොලිසියට ලැබුණු තොරතුරු නිවැරදි බව හෙළි විය.
මත්ලෝලියා පොලිසියට කියා ඇත්තේ ගුවන් පාලම යටින් තමා යන විට පාසල් පොත් බෑගයක් දැක පරීක්ෂා කළ අවස්ථාවේ ඒ තුළ තිබුණ බිලිඳු මළ සිරුර දුටු බවයි. බිලිඳු සිරුර බෑගයෙන් ඉවතට දමා බෑගය ලබාගෙන එය දෙමටගොඩ පොළේ වෙළෙන්දියකට රුපියල් තුන්සියයකට අලෙවි කළ බව මත්ලෝලියා පොලිසියට කියා ඇත. මත්ලෝලියාගේ එම ප්‍රකාශයෙන් අනතුරුව ඇය සොයා ගිය පොලිස් නිලධරයන් එම බෑගය ඇගෙන් ලබාගෙන ප්‍රකාශයක් ද ලබාගෙන තිබුණි.
බිලිඳියගේ මරණය ඝාතනයක් ද යන්න සොයා ගැනීමට මේ වන විට විමර්ශන ආරම්භ වී හමාරය. කොළඹ උතුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධරයෙක්ද බිලිඳු සිරුර තිබුණු ස්ථානයට පැමිණ සිය විමර්ශන ආරම්භ කළේය. පොලිස් නිල සුනඛයෝද කැඳවනු ලැබූහ. බිලිඳු සිරුර රිජ්වේ ආර්යා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණි.
බිලිඳු සිරුර පාසල් පොත් බෑගයේ තිබී මුලින්ම සොයාගත් මත්ලෝලියා වැල්ලම්පිටිය වඩුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු 24 හැවිරිදිය. එම සැකකරුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කළත් බිලිඳියගේ මවගේ හෝ වෙන යම් පුද්ගලයකු පිළිබඳ හෝ තොරතුරු හෙළි වුණේ නැත.
දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාරගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
දීපාල් සමරසේකර