Home » පිය පුතු හබ වුණාපුතුගේ ඉරණම විසඳුණා

පිය පුතු හබ වුණාපුතුගේ ඉරණම විසඳුණා

by thanushika
January 11, 2025 12:30 am 0 comment

දරුවකුගේ ජීවිතය ඔහුට ජීවය දුන් දෑතින්ම විනාශ කිරීමට සිදු වේ නම් එය කොතරම් අභාග්‍යයක්ද? එහෙත් එවැනි ශෝචනීය පුවතක් පසුගියදා වාර්තා වූයේ පයාගල ප්‍රදේශයෙනි. ඒ පියා විසින් තියුණු ආයුධයකින් ඇන තම පුතු ඝාතනය කිරීමේ සිද්ධියයි. මේ කතාව පෙළගැසෙන්නේ මෙසේය.

තිස්හත් හැවිරිදි වන ‘අමිත්’ තවමත් හැදී වැඩෙන්නේ පියාගේ රැකවරණය යටතේ යැයි කීවොත් මුසාවක් නොවේ.

විවාහකයකු වන ඔහු දෙදරු පියෙකි. එහෙත් ඔහු ජීවත් වෙන්නේ තනිකඩයකු ගානටය. ඔහුගේ බිරිය අවුරුදු 14 සහ 10 වයස්වල පසුවන දියණියන් දෙදෙනා ද රැගෙන අමිත් අතහැර ගියේ මීට වසර හය හතකට පමණ ඉහතදීය. ඇය වෙනත් පුරුෂයෙකු සමඟ පලා ගිය පසුව තනි වුණ අමිත්ගේ තනි නොතනියට සෙවණැල්ල සේ සිටියේ ඔහුගේ පියාය.

දරු තිදෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැනියා වන්නේ අමිත්ය. වැඩිමල් සහෝදරිය විවාහ වී මහගෙදර කිට්ටුවම පදිංචිව සිටින අතර, බාල සහෝදරයා විවාහ වී පදිංචිව සිටින්නේ තරමක් දුර බැහැර ප්‍රදේශයකය. අමිත්ගේ මව මේ වන විට සිටින්නේ විදේශගතවය.

රැකියාවක් නොකරන පියා අමිත්ගේ මව විසින් වරින්වර එවන මුදල් ප්‍රයෝජනයට ගනිමින් නිවෙසේ වැඩ කටයුතු කරගෙන ගියේ අමිත්ගේ අඩුපාඩුද සොයා බලමින් නොපිරිහෙළා ඉටුකරමිනි. නිවෙසේ ඉවුම් පිහුම් කටයුතු මෙන්ම වත්ත පිටියේ සහ අනෙකුත් සියලු කටයුතු ද සිදු කෙරුණේ පියාගේ දෑතිනි.

බිරිය අමිත් හැර ගිය පසුව අමිත්ගේ ලෝකය සම්පූර්ණයෙන්ම කඩාවැටීමට ලක්වූයේ ඔහුට ජීවිතය එපා කරවන තැනට පත් කරමිනි. එතැන් පටන් ඔහු මත්පැන් පානයට පුරුදු වූ අතර, අවසානයේ මත්ද්‍රව්‍ය පානයට ද හුරු වූයේ ඔහුගේ හිතේ ඇවිළුණු ගින්දර නිවා ගැනීමට එකම මඟ එය යැයි සිතූ නිසා විය යුතුය.

අමිත් රැකියාව කළේ මතුගම, යටදොළ ඉන්ධන පිරවුම්හලේ පවත්වාගෙන යන සර්විස් සෙන්ටර් එකේය. ඔහු එහි වාහන සේදීම සහ ඔයිල් මාරු කිරීම වැනි කටයුතු ද සිදු කළේය. ඔහු නිවෙසට එන්නේ රෑ බෝවීමෙන් පසුව මත්පැන් පානය කිරීමෙන් අනතුරුවය. එලෙස පැමිණෙන අමිත්ගෙන් පියාට නම් හොඳක් සිදු වන්නේ නැත. ඔහු පියා සමඟ ආරවුල් ඇතිකර ගන්නේ හේතුවක් නොමැතිවය. එම අවස්ථාවල දෙදෙනාගේ වාග් ප්‍රහාරවල කිසිදු අඩුවක් දැකගැනීමට ලැබෙන්නේ නැත.

එදින ද අමිත් නිවෙසට ආවේ සුපුරුදු පරිදිම බීමත්ව රාත්‍රී හතහමාරට පමණය. පියා සිටියේ සාලයේ පුටුවේ වාඩිවී ඔහු රාත්‍රියට පානය කරන බෙහෙත් තෝරන අතරය. ගෙට ගොඩ වුණ අමිත් සුපුරුදු පරිදිම සිංහ ගර්ජනා පැවැත්වීමට කටයුතු කළේ අවට නිවැසියන්ට ද කන්දොස්කිරියාවක් වන අයුරිනි. පියාගේ කටට ද ‘පණ’ ආවේ ඉබේටමය.

වචනයෙන් දෙකෙන් ආරම්භ වුණ ‘සටන’ උච්ච අවස්ථාවට පත් වූයේ අමිත් විසින් සාලයේ තිබූ මල් වාස් එක ඔසවා පියාගේ පිටට පහර දුන් විටය.

පියාගේ හිසට අතින් පහරක් ගැසූ පුත්‍රයා ඉන් නොනැවතී මල් පෝච්චියෙන් ද පියාට දමා ගැසීය. වටපිට බැලූ පියාගේ අතට ක්ෂණයෙන් හසු වූයේ කුඩා පිහියකි. ඊළඟ තත්පරයේ පිහි තුඩ අමිත්ගේ උදරය සහ පපුව සිපගෙන නතර වූයේ ‘සිංහ ගර්ජනාව’ ද අඩපණ කරමිනි. එක වහලක් යට වසර ගණනාවක් තිස්සේ දුකට සැපට සිටි අමිත් සාලයේ වැටී අසරණව සිටි අයුරු දුටු පියා බියවී දුවගෙන ගියේ නිවෙස කිට්ටුව පදිංචිව සිටින දියණියගේ නිවෙසටය.

“අනේ ලොකු ළමයෝ… ඉක්මනට ඇවිත් මල්ලිට මොකද වෙලා තියෙන්නේ කියල බලපන්…” පියා එලෙස කීවේය.

අමිත්ගේ අක්කා අනුෂිව කැඳවාගෙන පියා ආපසු ගියේ අමිත්ට සිදුව ඇත්තේ කුමක්දැයි සැක හැර දැනගැනීම සඳහාය. ඇය දුටුවේ සාලයේ උඩුබැලි අතට අමිත් වැටී සිටි අයුරුය. ඔහුගේ උදර ප්‍රදේශයේ සහ පපුවේ කුඩා සලකුණු දෙකක් තිබුණත් එයින් රුධිරය වහනය වීමක් පෙන්නුම් කර නොතිබීම ඔවුන්ගේ සැනසිල්ලට හේතුවක් වී තිබිණි. ඇය විසින් එම ස්ථාන දෙකේ කහ ස්වල්පයක් ආලේප කිරීමට කටයුතු කළේ විෂබීජ ඇතුළුවීම වළක්වා ගැනීමට විය යුතුය.

“එහෙනං අක්කේ උඹ උදේට වරෙන්…”

අමිත් එලෙස අක්කා අනුෂිට පවසා ඇත්තේ ඔහුට එතරම් අමාරුවක් නොතිබූ නිසා විය යුතුය. මල්ලීට ගණන් ගත යුතු තරමේ කරදරයක් සිදුවී නොමැති බව සිතූ දියණිය ආපසු ගිය පසුව අමිත් සමඟ නිවෙසේ තනි වුණ පියාගේ හිතට දැනුණේ විශාල බියකි. ඒ අමිත් කොයි මොහොතේ හෝ නැඟිට විත් තමාට පහර දේ යැයි කියාය. මේ නිසා නිවෙසෙන් පිටවූ පියා කලමුල්ල ප්‍රදේශයේ මුහුදු වැල්ලට ගොස් ධීවරයන් නතර වීමට ඉදිකර ඇති අට්ටාලයක රැය පහන් කළේ නින්දත් නොනින්දත් අතර පසුවෙමිනි. උදෑසන නිවසට ආ පියා දුටුවේ ලේ විලක් මැද නිසොල්මන්ව අමිත් වැතිරී සිටින බවය. ඔහු අසල්වාසීන්ට මෙන්ම දියණියට ද මේ බව පවසා සිටීමෙන් පසු පයාගල පොලිසියට මේ බව දැන්වීමට කටයුතු කළේය.

මෙසේ මියගොස් සිටියේ බත්තරමුල්ල ගමගේ අමිත් ප්‍රියදර්ශන නමැති තිස් හත් හැවිරිදි දෙදරු පියෙකු බවත් ඔහු කළුතර, කලමුල්ල, සණස පාරේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය අනාවරණය කර ගන්නේ ඉන් පසුවය. කළුතර වැඩබලන මහේස්ත්‍රාත් තුසිතා දිසානායක ස්ථානීය පරීක්ෂණය සිදු කළාය. මියගිය අමිත්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ රෝහලේදී සිදු කරන ලෙසට පොලිසියට නියෝග කළාය. කසිප්පු සහ මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුව සිටි අමිත් වරෙන්තු පිට ද සිට ඇති බව මෙහිදී අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

බීමත්කම නිසා සුළු සිද්ධියක් මුල් කරගෙන ඇති වූ පිය පුතු ගැටුම අවසානයේ නතර වූයේ පියාගේ ජීවිතයේ අවසාන කාලය මහඋළුගෙදරට සින්න කර අවුරුදු තිස් හතක් වැනි අඩු කාලයකින් පුතාට මෙලොව හැර යෑමට නොවේද?

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්තගේ අධීක්ෂණයෙන්, පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකරගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක ලසන්ත, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි, කොස්තාපල් 77827 ප්‍රියදර්ශන යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division