Home » දොස්තර මත් කර කෝටි දෙකක ආභරණවලට විද්ද තෙරපිවරයා අතුරුදන්

දොස්තර මත් කර කෝටි දෙකක ආභරණවලට විද්ද තෙරපිවරයා අතුරුදන්

by thanushika
January 11, 2025 12:30 am 0 comment

‘ස්පා’ කතා දිනෙන් දින පුවත් මවයි. තලංගම ඇතුළු ප්‍රදේශ කීපයක පිහිටා ඇති ‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ගණනාවකට කඩා වැදී එහි සිටි සේවිකාවන්ට පහර දී මිල මුදල් භාණ්ඩ කොල්ලකෑ කල්ලියක් පොලිසියට කොටු වුණේ පසුගියදාය. එසේම එම කල්ලිය මිරිහානේ ‘ස්පා කොල්ලයකට’ ආ අවස්ථාවකදී එහි සිටි තෙරපිවරියකගේ හිසට මැහුම් 17ක් දමන්නට තරමේ තුවාලයක් සිදුකර පලා ගියේ මන්නයකින් පහර එල්ල කරමිනි.

ඒ අතර රජයේ රෝහලක වෛද්‍යවරයෙකු අන්තර්ජාලයෙන් සොයාගත් සම්බාහන සේවකයකුගේ, සේවය ලබා ගැනීමට වැල්ලවත්තේ මහල් නිවාසයකට ගිය අවස්ථාවකදී එහි සිටි සංවිධානාත්මක පිරිසක් වෛද්‍යවරයාට පහරදී ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පතින් රුපියල් ලක්ෂ ගණනක මුදල් පැහැර ගැනීමේ සිද්ධියක් ද පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.

ඒ හා ඉතා සමානම තවත් සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඒ නාරාහේන්පිට ප්‍රදේශයෙනි. නාරාහේන්පිට පොලිසිය සිදු කළ විමර්ශනයකදී මේ කතාව අනාවරණය විය.

ඔහු වෛද්‍යවරයෙකි. සේවය කෙළේ පෞද්ගලික රෝහලකය. මේ තරුණ වෛද්‍යවරයාගේ වයස අවුරුදු 31කි. ඔහු පදිංචිව සිටියේ නාරාහේනපිට මලලසේකර මාවතේ දෙමහල් නිවෙසකය. ඒ ඔහුගේ මිතුරකු සමඟය. මේ මිතුරා රූපලාවණ්‍ය ශිල්පියෙකි. මිතුරාගේ වයස අවුරුදු 38ක් පමණය.

මිතුරා පසුගිය දිනෙක වෛද්‍යවරයාගෙන් සමුගෙන නුවරඑළිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගිවීම සඳහා ගියේය. නිවෙසේ සිටියේ වෛද්‍යවරයා පමණි. අන්තර්ජාලයේ සැරිසරන වෛද්‍යවරයා තමාට සම්බාහනයක් ලබා ගැනීම සඳහා තෙරපිවරයකු නි‍ෙවසට ගෙන්වා ගැනීමට කල්පනා කරන්නේ ඔය අතරේය.

අන්තර්ජාලයේ සැරිසරන වෛද්‍යවරයාට තෙරපිවරයකු හමුවන්නේ ඔය අතරය. මිල ගණන් සහ සෙසු කරුණු කාරණා කතාබහ කරගැනීමෙන් අනතුරුව තෙරපිවරයා සිය රාජකාරියට කැමැත්ත හෙළි කළේය. වෛද්‍යවරයා ලබා දුන් ‘ලොකේෂන්’ අනුව තවත් සුළු වේලාවකින් තෙරපිවරයා වෛද්‍යවරයාගේ මලලසේකර මාවතේ දෙමහල් නිවෙසට පැමිණෙන්නේ සම්බාහනය සඳහා අවශ්‍ය අඩුමකුඩුම ද රැගෙනය.

නි‍ෙවසට පැමිණි තෙරපිවරයා දැනහඳුනාගත් වෛද්‍යවරයා සම්බාහනය ලබා ගැනීම සඳහා සූදානම් විය. සම්බාහන කටයුතු අවසන් වීමෙන් අනතුරුව වෛද්‍යවරයාට ‘ඖෂධ කරලක්’ අදාළ තෙරපිවරයා විසින් දෙන්නේ එය ඒ මොහොතේම ලබා ගන්නා ලෙස දන්වමිනි.

තවත් ටික වේලාවක් ගතවිය. ගනුදෙනුව ද නිමවීමෙන් අනතුරුව ඉතා සුහදශීලීව වෛද­්‍යවරයාගේ නිවෙසින් තෙරපිවරයා පිට විය. තවත් පැය කීපයකට පසු තෙරපිවරයා වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක් ගෙන පවසන්නේ තමාගේ ජංගම දුරකතනයේ ‘බැටරි ආරෝපණය’ අමතක වීමකින් වෛද්‍යවරයාගේ නිවෙසේ දමාගොස් ඇති නිසා එය ලබා ගැනීමට නැවත නි‍ෙවසට පැමිණෙන බවයි.

තෙරපිවරයා නිවසට පැමිණෙන අවස්ථාවේ වෛද්‍යවරයා තද නින්දේ පසුවූ අතර ඊට කලින් නුවරඑළියේ මඟුල් ගෙදර ගිය වෛද්‍යවරයාගේ මිතුරා වන රූපලාවණ්‍ය ශිල්පියා වෛද්‍යවරයාගේ නි‍ෙවසට පැමිණ ඇති අතර, ඔහු තද නින්දේ පසුවන බැවින් ඔහුගේ ගමන් බෑගය මේසය මත තබා පැලඳගෙන ගිය වටිනා දිමයන්ති මාලය සහ කරාබු ජෝඩුව මේස ලාච්චුවේ දමා නිවෙසින් පිටව ගොස් තිබුණේ ඔහුගේ පියා බැලීම සඳහාය. වෛද්‍යවරයාගේ මිතුරා නිවසට පැමිණ පිටව ගිය පසු එම නිවසට පැමිණි තෙරපිවරයා ඔහුගේ අමතක වූ බැටරි ආරෝපණය ගෙන ගොස් තිබිණි.

පියා බැලීම සඳහා ගිය වෛද්‍යවරයාගේ මිතුරා වන රූපලාවණ්‍ය ශිල්පියා වෛද්‍යවරයාගේ නිෙවසට නැවත එන්නේ එදින රාත්‍රී 7.30ට පමණය. ඒ වන විටත් වෛද්‍යවරයා පසුව ඇත්තේ තද නින්දේය.

රූපලාවණ්‍ය ශිල්පියා තමන් වෛද්‍යවරයාගේ නිෙවසට ආ අවස්ථාවේ ගෙන ආ ගමන් බෑගය සොයා බලද්දී එය නොමැති බව දැන වෛද්‍ය මිතුරා අවදි කර ඒ ගැන විමසද්දී ගමන් බෑගයක් නොදුටු බව ඔහු කියා තිබේ. සැකයක් ඇතිවූ නිසා රූපලාවණ්‍ය ශිල්පියා මේස ලාච්චුවේ දමා ගිය වටිනා දියමන්ති මාලය සහ කරාබු යුගලය සොය බලද්දී එයත් නොමැති බව දැනගෙන නිවස පුරා සෝදිසී කරද්දී තමන් ගෙන ගිය බෑගයේ තිබුණු රෙදිපිළි පමණක් කිසිවකු ඇද දමා ගොස් ඇති බව දැන ඇත.

නිවෙසේ විසිත්ත කාමරයේ තිබුණු විදේශීය මත්පැන් බෝතල් කීපයක අඩුවක් ද පසුව මේ දෙදෙනාටම නිරීක්ෂණය වී ඇත. මේ දියමන්ති මාලය සහ කරාබු යුගලය රූපලාවාණ්‍ය ශිල්පියා විසින් වෛද්‍යවරයාගෙන් ඉල්ලාගෙන ගොස් තිබුණේ නුවරඑළියේ විවාහ මංගල්‍යයට සහභාගි වීම සඳහාය.

ඊට අමතරව මේ දෙදෙනාටම අයත් රන් ආභරණ ද අස්ථානගතව තිබූ අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් කෝටි 2ක් පමණ වන බවද හෙළි විය.

සිදුවී ඇති දේ පිළිබඳ දැනගත් වෛද්‍යවරයා සහ මිතුරා නාරාහේන්පිට පොලීසියට ගොස් මේ ගැන පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය.

නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. අයි. හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායම මේ ගැන විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධරයන් සහ ඇඟිලි සටහන් විමර්ශන නිලධරයන් අදාළ නිවසට ගොස් මේ ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර තවත් පොලිස් කණ්ඩායමක් ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීම සඳහා යොදවා තිබිණි.

වෛද්‍යවරයාව සම්බාහනය කිරීමට පැමිණි තෙරපිවරයා වෛද්‍යවරයාට කිසියම් මත් කරලක් පානයට සලස්වා ඔහු තද නින්දේ සිටියදී මේ සොරකම සිදුකළාදැයි පොලීසිය සොයාගෙන යන අතර සැක කටයුතු ජංගම දුරකතන අංකයක් ද විමර්ශන නිලධරයන් විසින් මේ වනවිට සොයාගෙන තිබේ.

පැති කිහිපයක් ඔස්සේ මේ ගැන විමර්ශන සිදු කැරේ.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division