පහළොස් දෙනකු ඝාතනය කරමින්, තවත් පිරිසකට තුවාල සිදු කරමින් ජනවාරි පළමු වැනි දා නිව් ඕර්ලියන්ස්හි සිදු වූ ප්‍රහාරය, අන්තවාදි ඉස්ලාමීය කණ්ඩායම්වල අනුග්‍රහය ලත් පුද්ගලයන්ගෙන් අමෙරිකා එක්සත් ජනපදයට දිගින් දිගටම එල්ල වන තර්ජනය යළි සිහිපත් කිරීමක් ලෙස සැලකිය හැකිය.
මධ්‍යම රාත්‍රිය එළඹී පැය කිහිපයකට පසු නිව් ඕර්ලියන්ස්හි ප්‍රංශ කාර්තුවේදී ට්‍රක් රථයක් ජනකායක් දෙසට ධාවනය කරමින් සිදු කෙරුණු ප්‍රහාරය එක්සත් ජනපද හිටපු හමුදා සෙබළකු වන ෂම්සුදීන් ජබ්බර් විසින් සිදු කළ බව අමෙරිකානු බලධාරීහු පවසති. අනතුරුව පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගිය ජබ්බර්, දෙසැම්බර් 31 වැනි දින පළ කරන ලද අන්තර්ජාල වීඩියෝ පටවලට අනුව ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට පක්ෂපාතී බවට ප්‍රතිඥා දී ඇතැයි එෆ්බීඅයි ආයතනය වාර්තා කරයි.
එය 2017දී නිව් යෝර්ක් නගරයේදී පුද්ගලයන් අට දෙනකුට මරු කැඳවූ ට්‍රක් රථ ප්‍රහාරයෙන් පසු, ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම හෝ ඊට අනුබද්ධ කණ්ඩායමක බලපෑම් ලත් පුද්ගලයකු විසින් අමෙරිකානු නගරයකට එල්ල කළ දරුණුතම ප්‍රහාරයයි.
නිව් ඕර්ලියන්ස් ප්‍රහාරය, එම පෙර සිදුවීම මෙන්ම වැදගත් කරුණක් අවධාරණය කරයි. එනම්: ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ දේව රාජ්‍යයක් බිහිකිරීමේ සිහිනය සිරියානු සහ ඉරාක භූමිය තුළ බොඳව ගියද, අන්තර්ජාල ප්‍රචාරණය සහ දෘෂ්ටිවාදිමය බලපෑම් මඟින් එක්සත් ජනපද භූමිය තුළ ත්‍රස්තවාදි ක්‍රියා උසිගැන්වීමට අයිඑස් ත්‍රස්තවාදීන්ට තවදුරටත් හැකියාව පවතින බවයි. රැඩිකල්කරණයට ලක් වූ අමෙරිකානු සොල්දාදුවකු වන ජබ්බර්ගේ සිද්ධිය පසුගිය දශකය පුරා බටහිර රටවල එවැනිම හුදෙකලා වෘක ප්‍රහාර මාලාවක තවත් එක් ප්‍රතිරාවයක් පමණි.
නිව් ඕර්ලියන්ස් ප්‍රහාරය අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම්වල බලපෑම මැදපෙරදිග දේශසීමාවෙන් ඔබ්බට විහිදී පවතින බැව් යළි සිහිගැන්වීමකි. බටහිර බලවත් රාජ්‍යයන් විසින් ත්‍රස්තවාදයට එරෙහි සටනේදී අනුගත ‘මගේ සතුරාගේ සතුරා මගේ මිතුරා ය‘, යන දෙබිඩි පිළිවෙත අත්හරින තාක් ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම සහ අනෙකුත් රැඩිකල් සටන්කාමි කණ්ඩායම්වල ආභාසය ලත් හුදෙකලා වෘකයන්ගේ ප්‍රහාරවල තර්ජනයන්ට එක්සත් ජනපදයට මෙන්ම අනෙකුත් ජාතීන්ටද මුහුණ දීමට සිදු වනු ඇත.
යූන් සුක් යෙයෝල්!
දකුණු කොරියාවේ ඉහළ පෙළේ නිලධාරීන් සඳහා වූ දූෂණ විමර්ශන කාර්යාල (CIO) නිලධාරීන් දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට සිකුරාදා උදෑසන උත්සාහ කළ නමුත් ජනාධිපති ආරක්ෂක සේවය යටතේ සේවය කරන හමුදා නිලධාරීන් ඊට අවහිර කළ බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
යූන්ගේ ආධාරකරුවන් දහස් ගණනක් ඔහුගේ නිවෙස අසලට රැස්ව සිටි අතර, අත්අඩංගුවට ගැනීමේ උත්සාහය එයින් තවදුරටත් සංකීර්ණ විය. යොන්හැප් ප්‍රවෘත්ති සේවාවට අනුව, බ්‍රහස්පතින්දා දිනයේදී විරෝධතාකරුවෝ 30 දෙනෙක් පමණ පොලිස් බාධක බිඳදමා නිලධාරීන් සමඟ ගැටුණහ. ඉකුත් දෙසැම්බර් 3 දින යුද නීති ප්‍රකාශය සැලසුම් කිරීම, කැරැල්ලක් මෙහෙයවීම සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කරමින් සෝල් අධිකරණයක් අඟහරුවාදා යූන්ට එරෙහිව වරෙන්තු නිකුත් කළේය. මේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස යූන් වෙත යවන ලද සිතාසි තුනක් නොසලකා හැරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කෙරිණි.
සිකුරාදා උදෑසන දකුණු කොරියානු විමර්ශකයන් ජනාධිපති යූන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන විට, ඔහුගේ ආධාරකරුවෝ ජාතික ධජ දෙකක් ලෙළවමින් ජනාධිපති මන්දිරයෙන් පිටත රැස් වූහ. එනම්: දකුණු කොරියානු තේගුක්ගි සහ තරු සහ තීරු සහිත අමෙරිකානු ධජයයි.
යූන් හිතවාදී කණ්ඩායම් තම ප්‍රතිවාදීන් උතුරු කොරියාවේ ගැත්තන් පිරිසක් ලෙස සලකන අතරම, එළිපිටම අමෙරිකා එක්සත් ජනපදයට තම ගරුත්වය පුද කරති. අමෙරිකා එක්සත් ජනපදය කොරියාව ජපන් යටත් විජිත ආධිපත්‍යයෙන් මුදාගත් බවත්, 1950-53 කොරියානු යුද්ධයෙන් තමන් ආරක්ෂා කළ බවත්, ක්‍රිස්තියානි සාරධර්ම තුළ අන්තර්ගත වූ ප්‍රජාතන්ත්‍රවාදයේ දිව්‍යමය ආරක්ෂකයකු ලෙස අමෙරිකාව තමන් ආරක්ෂා කරන බවත් යුන් ඔවුහු විශ්වාස කරති.
වැඩි න්‍යෂ්ටික ගිනි බලයක් අඩු ආරක්ෂාවක්
2025 වසරේ ජනවාරි මස 20 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ ඔරලෝසුවේ මධ්‍යාහ්නය සටහන් කෙරෙන විට, න්‍යෂ්ටික ගැටුමක අවිනිශ්චිතතාව සහ වර්ධනය වන යුද අවදානමක් මධ්‍යයේ ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපදයේ න්‍යෂ්ටික අවි ගබඩාවේ භාරකරු වශයෙන් නැවත වරක් පත් වනු ඇත. යුක්රේන-රුසියා යුද්ධය, මැද පෙරදිග යුද ගැටුම්වල අස්ථාවරත්වයේ සිට කොරියානු අර්ධද්වීපයේ ආතතීන් සහ තායිවානය සහ දකුණු චීන මුහුද අවට ඇති විය හැකි ගැටුම් දක්වා අන්තරායන් හමුවේ ලොව පුරා දැඩි අවිනිශ්චිතතාවක් පවතී.
දශක ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රමයකින් ඇති කරගත් අවි පාලන ගිවිසුම් සහ 1989 සහ 2009 අතර එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග විශාල වශයෙන් අඩු කිරීමෙන් පසු, පිරිහෙන ගෝලීය ආරක්ෂක පරිසරය මධ්‍යයේ න්‍යෂ්ටික අවි මත වැඩි විශ්වාසයක් තැබීමට රටවල් උත්සුක වන බවක් දැකිය හැකිය. න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ජාතීහු තම න්‍යෂ්ටික අවි ගොන්න නවීකරණය කරමින්, ඔවුන්ගේ න්‍යෂ්ටික තොග වැඩිදියුණු කරමින් හෝ පුළුල් කරමින් සිටිති. න්‍යෂ්ටික අවි සඳහා වන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ජාත්‍යන්තර අවි පාලන ගිවිසුම් සියල්ල මේ වන විට මුළුමනින්ම පාහේ අත්හැරදමා ඇත, න්‍යෂ්ටික භාවිතය සඳහා වන සීමා ක්‍රමයෙන් පහත වැටෙමින් තිබේ.
න්‍යෂ්ටික අවි, විශේෂයෙන්ම උපක්‍රමශීලි (tactical nuclear weapons) න්‍යෂ්ටික අවි යොදා ගන්නා බවට සිදු කෙරෙන තර්ජන හමුවේ, අප වැරදි දිශාවකට ගමන් කරන බවට න්‍යෂ්ටික විශ්ලේෂකයන් සහ විශේෂඥයන් අනතුරු අඟවා ඇත. 2024 වසර මුල, පරමාණුක විද්‍යාඥයන්ගේ බුලටිනය (Bulletin of the Atomic Scientists) මඟින් පවත්වාගෙන යනු ලබන ලෝක විනාශයේ අවදානම දැක්වෙන සංකේත ඔරලෝසුවේ (the Doomsday Clock) තත්පර කට්ට මධ්‍යම රාත්‍රියට තත්පර 90 දක්වා ආසන්නයට ගෙනවිත් ඇත.
එක්සත් ජනපදය එහි පවතින න්‍යෂ්ටික අවි නවීකරණය සඳහා ඉදිරි වසර 10 තුළ ඩොලර් බිලියන 756 ඉක්මවා වියදම් කිරීමට සූදානමින් සිටී. එහෙත් අවි පාලන සංගමයේ (Arms Control Association) විධායක අධ්‍යක්ෂ ඩැරිල් කිම්බල්ට අනුව, මේ සංඛ්‍යාව ඊටත් වඩා බොහෝ සෙයින් වැඩි විය හැකිය. කිම්බල් පැවසුවේ විශාල න්‍යෂ්ටික අවි ගබඩාවක් මූල්‍යමය වශයෙන් දරාගත නොහැකි වන අතරම, අමෙරිකාව අනුව යමින් රුසියාව සහ චීනය පොලඹවනු ඇති බවයි. “අවසානයේදී කිසිවකු අවි තරගයකින් ජය ගන්නේ නැත. අප සතුව ඇත්තේ වැඩි න්‍යෂ්ටික ගිනි බලයක් සහ අඩු ආරක්ෂාවක් පමණි“ කිම්බල් පවසයි.
ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ ලැයිස්තු හුවමාරු කරගනී
වසර 30ක් පැරණි ගිවිසුමකට අනුව අසල්වැසි රාජ්‍ය ඔවුනොවුන්ගේ න්‍යෂ්ටික ස්ථාපනයන් එකිනෙකාට දැනුම් දීමට බැඳී සිටී. ජනවාරි 1 දා, නව වසරේ ආරම්භයත් සමඟ ඉන්දියාව සහ පාකිස්තානය තම න්‍යෂ්ටික ස්ථාපනයන් පිළිබඳ ලැයිස්තු හුවමාරු කරගනිමින්, එවැනි පහසුකම්වලට පහර දීම තහනම් කිරීමේ ද්විපාර්ශ්වික ගිවිසුම දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන යෑමේ සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දුන්නේය.
මේ ගිවිසුම 1988දී අත්සන් කරන ලද අතර, 1991දී අනුමත කරන ලදි. 1992 වසරේ ජනවාරි 1 දින පළමු වරට සිදු වූ එම ලැයිස්තු හුවමාරුවේ 34 වැනි අඛණ්ඩ හුවමාරුව මෙවර සටහන් කෙරිණි.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) විසින් කරන ලද ඇස්තමේන්තුවකට අනුව, 2024දී ඉන්දියාව සහ පාකිස්තානය පිළිවෙළින් න්‍යෂ්ටික යුද ශීර්ෂ 172කට සහ 170කට හිමිකම් කියයි.
විජය දිසානායක