Home » නිදහසේ අරුණැල්ලෙන් පිබිදෙන නොනිදන නගරය යාපනය

නිදහසේ අරුණැල්ලෙන් පිබිදෙන නොනිදන නගරය යාපනය

by Mahesh Lakehouse
January 4, 2025 12:32 am 0 comment

තිස් වසරක යුද්ධයේ අමතක නොවන නගරයක්…එහෙත් සියල්ල අතීත මතකයන්ටත් වඩා සිහිනයක් පමණක් යැයි විටෙක සිතේ. කාලය විසින් සියලු සිද්ධි අකා මකා ගොස් ඇත්තේ අපූරු ආකාරයකටය. යුද්ධයේ බිහිසුණු බව ගෙවුණු වසර කිහිපයක් තුළ කණපිට හැරී ඇතිවා සේය. නැවුම් සංස්කෘතියකින් වර්ණ ගැන්වුණු යාපනය අද තවත් සුන්දර විවේකි ගමනාන්තයක් පමණක් නොව විවිධත්වයෙන් හැඩවූ නොනිදන නගරයක් බවට පත්ව ඇතැයි සිතේ. වර්තමානයේ සාමයේ සතුට හිස ඔසවමින් තිබෙන සුන්දර යාපනය දැන් සෑම අතින්ම අංගසම්පූර්ණය. මේ අපූරු සංචාරක ගමනාන්තය දියුණු නගරයක සිරි ඔසවයි. නෙතට අපූරු රසඳුනකි. රටට අලුත් බලාපොරොත්තුවකි.

ගෙවුණු වසර කිහිපය මුළුල්ලේමත් පසුගිය නත්තල් සමයේදීත් නත්තලේ සිරිය විඳ ගන්නට යාපනය, කන්කසන්තුරේ සංචාරයේ යෙදෙන අපට වසරක් පාසා එක් කරන්නේ උතුරටම උරුම වූ නැවුම් අත්දැකීම්ය‍. මතකයන්ට අලුත් සිහිවටනය. පසුගිය වසරේ ගෙවුණු නත්තලේ සිරි විඳි යාපනය අද බොහෝසෙයින් වෙනස්ව ඇති සේය. තල්ගස් මණ්ඩිය, වෙරළ සිඹිමින් හමන මහ සයුරේ සුන්දරත්වය පමණක් එදා මෙන්ම අදත් නොවෙනස්ව පවතින්නේය. ඒ සුන්දරත්වය අත්විඳින්නට කවුරුත් කැමැතිය. එදා තිස් වසරක යුද්ධයේ සාපයලත් යාපනය ජන ජීවිතය, නාගරික සංචාරය වේදනාකාරී අත්දැකීම් වළලමින් අද රටේ ආර්ථිකයට දක්වන්නේ දැවැන්ත ශක්තියකි. ඔවුන්ගේ ගමන දිනෙන් දින අලුත් වන බව නොකියාම බැරිය. අතීත මතක සියල්ල පසෙකලා ගෙවුණු අතීතයට විරාමයක් ලබා දෙමින් නැඟී සිටින්නට දරන වෙහෙස සීමාවක් නැත. යාපන අර්ධද්වීපයෙන් ඔබ්බට තමන්ට පෙනෙන මහ සයුරින් එහා ලෝකය දෙසට බැල්ම හෙළා එය ජයගන්නට වෙර දරන ඒ ජන ජීවිත ගැන කියන්නට බොහෝ දේ ඇත්තේය. එදා දෙනෙතට නැඟුණු කඳුළු බිඳු පරයමින් සිනාසෙන මේ ජන ජීවිතය රටට කියන්නේ මහ කතාවකි. දැන් යුද්ධය මතක් නොකර යාපනය ගැන කතා කරන්නට කාලය පැමිණ තිබේ. මේ, ඒ කතාවය.

සියල්ල ඇත්ත ඇති සැටියෙන්ම වෙනස් වී ගොස්ය. ගෙවුණු වසර 25 ක කාලය තුළ අලුත් වසන්තයක් යාපනයට උදා වී ඇති සේය. වසරින් වසර අලුත් වන ඒ ජන ජීවිත රටේ ආර්ථිකය නංවන්නට, වෙනස් වූ නගරයක් සංස්කෘතියක් නිර්මාණය කරන්නට දායක වී ඇත්තේය.

අතීත මතක පරයා නැඟිටින ආර්ථිකය

කන්කසන්තුරෙයි සිට යාපනය දක්වා දිවෙන අතුරු මාර්ගයේ අතුරු පාරකට අප වාහනය හැරවූයේ එය චාවකච්චේරිය හන්දිය හරහා යාපනය කොළඹ දෙසට දිවෙන ඒ 9 මාර්ගයට කෙටි මාවතක් වූ බැවිනි. කිසිදා නොදැකි වෙනස්ම වූ මාවතට අප ප්‍රවිශ්ඨ වූයේ අහම්බෙනි. යාපනයේ ඒ 9 මාර්ගයෙන් ඔබ්බට බොහෝ දේ සැඟව ඇතැයි සිතුණු වාර අනන්තය.

“යාපනයේ ඇත්ත තත්ත්වය දකින්න ගම ඇතුළට යන්න ඕන…” කවුරුන් හෝ පැවැසූවා මතකය. වෙල්යාය මැදින් වැටි තිබුණු පාර, ගම් මැදින් යන ගමන, සියල්ල සිහිනයක් මෙන් ඇස් පනා පිටය. ආර්ථිකයේ තවත් හැවුම් ලක්ෂ්‍යයක් ගම තුළ නිර්මාණය වෙමින් පවතියි.

“යාපනයේ දැන් අපූරුවට වගා කරනවා..“

“යාපනයෙ වගාවන් තමයි කොළඹට එන්නේ…..“ දකුණේ දී අප ඇසූ කතා දැන් ඇස් පනා පිටය. කන්ද උඩරට උරුම වූ වගාව අද මේ කර්කෂ පොළොවේ සරුසාර වී ඇත්තේය. රතු ලූනු පමණක් නොව කන්ද උඩරට කැරට් ලීක්ස් ද මේ පොළොවේ වැවෙන හැටි අපූරුය. රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් යාපනය ගොවීහු කර්කෂ පොළොව තෙත් කරමින් වගා කළ හැකි සියල්ල වගා කරන්නේ රටට ආදර්ශයක් දෙමිනි. යාපනයේ සරුවට වැවෙන රතු ලූනු, මිරිස්, කර්තකොලොන්බන් අඹ, දුන්කොළ, කෙසෙල්, මිදි පමණක් නොව කැරට්, ලීක්ස්, මල්ගොවා වැනි පාත්ති පාර දෙපසය. ජාති ආගම් භේද පරයමින් තවත් රට වැසියකුගේ සුරතින් මේ ගොඩ නැඟෙන්නේ අලුත් බලාපොරොත්තුය.

යාපනයට උරුම වගා කර්මාන්තය

වැස්ස ළඟ ළඟ පැමිණෙන බව දන්නා යාපනයේ ගොවීහු ඒ ඒ කන්නය වෙනුවෙන් ලහි ලහියේ කුඹුරු සමඟ මහ සටනකි. ඔවුන්ගේ වගාව යල හා මහ කන්නයට පමණක් සීමා නොවෙති. අතරමැදි කන්නයේද අව් වැසි නොතකා වගා භූමියේ ඒ සටනම කරති. සමහරු ට්‍රැක්ටර් සමඟ හරඹයකය. දවාලේ කර්කෂ අව්ව නොතකා නත්තලේ සීතල විඳිමින් යාපනයේ ගොවියෝ රතු පසින් පිරි වගා භූමියේ ඔවුන්ම සාදාගත් කොම්පොස්ට් පොහොර වගා බිමට එක් කරති. වතුර නැති මේ කර්කෂ පොළොව සරු කර ගන්නට ඔවුන් ගන්නේ දැඩි වෙහෙසකි. කර්කෂ පොළොවේ වතුර උණන තෙක් වගා ළිං හාරා වගා බිම සරු කරවති. නත්තල ඇතද නැතද එය ඔවුන්ට අදාළ නැත. යාපනයට උරුම දෙළුම්, අඹ පමණක් නොව මිදි වතුද ඒ අස්වනු අතර සරු සාරෙට වැඩී ඇත. ඔවුන් වෙහෙසෙන්නේ අතමිට සරු කර ගන්නටය. එය තවත් පැත්තකින් රටේ අවශ්‍යතාවන්ට අත්වැලකි.

පාර දෙපස කුඹුරු වැනි ලියැදිවල එළවළු වවා ඇති අයුරු අපූරුය. යාපනයට උරුම රතු ලූනූ සරුවට වැවී ඇත්තේය. රටටම ඇවැසි රතු ලූනු දෙන්නට ඔවුන්ට හැකියාව ඇත. යාපනයේ වැසියන්ට රතු ලූනු තරම් දෙයක් තවත් නැත. බොම්බයි ලූනු ආහාරයට එක්කර ගන්නට ඔවුන් දක්වන්නේ මැළිකමකි. ඒ වෙහෙස පසෙකලා ආවේණික රසයට මුල් තැනක් දෙන බැවිනි. මේ ගමනනේදී යාපනයටම උරුම වූ බම්බු පිට්ටු රස විඳීමට හැකි විය. ඒ යාපනයටම උරුම වූ කකුළු වෑංජනයක්ද සමඟිනි. සියල්ලටම දැනෙන්නේ ප්‍රණීත, ආවේණික රසයකි. ඒ අවේණික රස නහර පිනායන ආහාර ඇති තරමට ඇත. සියල්ල සාධාරණ මිලකටය. යුද්ධයේ සුන්බුන් පරයමින් ගොඩනැඟෙන ඔවුන්ගේ ජීවිත අද වෙනස්ව ගොස් ඇති සැටි පුදුම සහගතය. අතීත අමිහිරි අත්දැකීම් බිමට සමතලා කරමින් ගොඩනැඟෙන මේ ජීවිත බෙහෙවින්ම ශක්තිමත් වී ඇත්තේ ලැබී ඇති නිදහස නිසාවෙනි.

එළවළු, පලතුරු ගස් මිතුරු සිතින් ගොවි අතමිට සරු කළද මේ ජීවිත බොහෝමයක් මිල මුදලින් පොහොසත්ය. වගා කරන්නේ මුදල් අපේක්ෂාවෙන්ම නොවූවද ඔවුන්ට ඇවැසි වී ඇත්තේ රටේ ආර්ථිකයට දායක වීමටය. කිලිනොච්චියෙන් හැරී ඉයෙක්කච්චි රීචා කාබනික ගොවිපොළ ඊට උදාහරණයකි. රීචා කාබනික ගොවිපොළ සියයට සියයක් කාබනික නිෂ්පාදනයන් හඳුන්වා දෙන උසස් තත්ත්වයේ ගොවිපළකි. උතුරේ නොවැවෙන දෑ අපූරුවට වගා කරමින් වස විසෙන් තොර නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළට ඔවුන් හඳුන්වා දෙන්නේ යාපනයේ වැසියන්ගේ සාඩම්බරය තවත් අර්ථවත් කරමිනි.

ඉන්දියාවට නොදෙවැනි යාපනයේ සළුපිළි

ඉන්දිය රජය හා ලංකා රජය එක්වී කන්කසන්තුරේ සිට ඉන්දියාවේ නාගපට්ටම් දක්වා යාත්‍රා සේවයක් ඇරඹියේ පසුගිය කාලයේය. මේ වන විට එය සාර්ථකව ආදළ කාලයන්හිඳී ක්‍රියාත්මක වන්නේ යාපනය ජන ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරමිනි. එපමණක් නොව පලාලි ජාත්‍යන්තර ගුවන්තොටේ සිට ඉන්දියාවේ තමිල්නාඩු දක්වා දිවෙන සෘජු ගුවන් සේවා නිසා යාපන නගර සංචාරය ද ඉන්දීය සාප්පු සංචාරයක උරුමය ගනියි.

දිනෙන් දින අලුත් වන යාපනයේ සල්පිල් සවාරිය ගෙන දෙන්නේ අලුත්ම අත්දැකීමකි. ඉන්දීය සාරි ඇති තරමට යාපනයෙන් අඩු මිලට ලබා ගන්නට හැකි වෙතැයි පවසන්නේ අත්දැකීමෙනි. රැයක් දවාලක් යාපනයේ නගරයට නැත. විටක එය නොනිදන නගරයකි. සංචාරකයන්ගෙන් පිරී යන්නේ ඇති තරමට සාප්පු සවාරි අත්දැකීම් විඳින්නට හැකි වන නිසාය.

“මේ වගේ අඩු මිලට මේ සාරි කෙහෙන්වත් ගන්න බැහැ. “ කොළඹ සිට පැමිණි අපිට ඔවුන් කියන්නේ එසේය. එය ඇත්තකි.

“අපිට මේ තරම් අඩුවට දෙන්න පුළුවන් වෙන්නේ දැන් ඉන්දියාවෙන් ඇති තරම් බඩු යාපනයට ලැබෙන නිසා. මේවා කොළඹට යනකොට මිල ගොඩාක් වැඩි වෙනවා….“

ඉන්දියාවේ සාප්පු සවාරි යාමට නොහැකි අයට ඊට හොඳම තෝතැන්න යාපනයේ සාප්පු සවාරිය. වසරින් වසර නැවුම්ව දලුලන යාපන නගරයේ රෙදිපිල්, කඩසාප්පු පමණක් නොව මාල, වළලු, තොරම්බල් විලාසිතා කඩසාප්පු ද පිරී ඉතිරි යන්නේ ඉන්දීය විලාසිතාවන්ගෙනි. නගරයේ පේමන්ට් පුරා විවිධ විලාසිතාවන් අරක්ගෙනය. අප මේ සිටින්නේ ලංකාවේම කොටසක දැයි සිතන්නට පවා අපහසු තරමට සියල්ල වෙනස්ව ගොස් ඇත්තේය. මේ නොනිදන නගරයේ සැරිසරන විට විඩාව නිවන්නට ඉන්දීය, දමිළ හා හින්දු ගිමන්හල් ඇති තරමට නගරයේ විසිර ඇත. රියෝ අයිස්ක්‍රීම් කාටත් අමතක නැත. යාපනයේ ගිමන් හලේ ආවේණික හුරුවට අතේ ඇති මිලට ආහාරපාන ඕනෑ තරම්ය.

පලාලි සිට දිවෙන ඉන්දීය ගුවන් සේවා මෙන්ම නාගපට්ටම් සිට කන්කසන්තුරෙයි දක්වා දිවෙන බෝට්ටු සේවය හරහා ඇති තරමට රෙදිපිළි යාපනය නගරයට එක් වන්නේය. යාපනය ජන වැසියන්ට දැන් අලුත් නිදහසක් ලැබී ඇති සේය. මිල මුදල් සමඟ හැප්පෙන්නේ ලාභ ඉපැයීමේ අරමුණින් නොවේ. ආසන්න රටින් ගෙනා මිලටම සංචාරකයන්ගේ පොකැට්ටුවට සරිලන පරිදි රෙදිපිළි පමණක් නොව සිය දේශීය නිෂ්පාදනයන් ඔවුන් සංචාරකයන්ට ලබා දෙන්නේ දිගු ගමන වඩාත් අර්ථවත් කරමිනි.

තවත් නොබෝ දිනකින් මේ ගමනේ අරුණලු දකින්නට තලේමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා වූ නෞකා ගමන එක් වන්නේය. ඒ සඳහා වත්මන් නායකත්වය යටතේ ඉන්දීය රජයත් සමඟ පැවැත්වෙන සාකච්ඡා අවසන් වී ඇත. මගීන් 1500ක් සමඟ රැගෙන යා හැකි පැය 4කින් රාමේෂ්වරම් දක්වා ළඟා වෙන සෘජු නෞකා සේවය හරහා නව අරුණැල්ලක සේයාවන් ඉස්මතු වන්නේය.

සියල්ල කොතරම් වෙනස් වී ඇත්ද? තිස් වසරක සුන්බුන් පරයමින් නැඟී සිටින උතුරේ ජන ජීවිතය දැන් බොහෝසෙයින් වෙනස්ව ඇත්තේය. එදා විවිධ පිරිස්හි වුවමනා එපාකම් අනුව උතුරේ ජන ජීවිතයේ හොල්මන් කරවූ සන්නද්ධ කල්ලි අද නැත. යාපනය ඇතුළු උතුරු ජන ජීවිතය බියෙන් මුසපත් කළ ආවා වැනි කල්ලිවලට අද ඉඩක් නැත. නව පාලනය යටතේ සියල්ල නොදැනීම පලා ගොස් ඇති සෙයකි. දැන් පෙරටත් වඩා යාපනයේ ජන ජීවිතය සාමකාමීය. සංචාරකයෝ පිරී ඉතිරි ගොස් ඇත්තේය. යාපනය විදෙස් සංචාරකයන්ගේ හොඳම ගමනාන්තයක් බවට පත්ව ඇත්තේය. ලංකාවේ හොඳම සංචාරක ගමනාන්ත අතරට යාපනය ඉහළින්ම එසවී සිටින්නේය. ඒ වසර පුරාම හොඳම හා උපරිම සංචාරක අත්දැකීම් යාපන සංචාරයේදී විඳින්නට හැකි වන නිසාය.

සියල්ල කෙසේ සිදු වෙතත් ලංකාවට අනන්‍ය වූ යාපනය තවමත් එසේය. යාපනය ජන ජීවිතයේ අනන්‍යතා ලකුණු නොවෙනස්ව තිබීම සතුටට කරුණකි. තල් වැටින් වටවූ නිවෙස් පාර දෙපසය. නිවෙස් සියල්ල ඉදිවී ඇත්තේ ඒ පළාතේ අනන්‍යතාව සුරැකෙන අයුරිනි. සුඛෝපභෝගී කාර්, වෑන් මැද ඔස්ටින් කේම්බ්‍රිජ්, බයිසිකල් නගරය පුරා සැරි සරයි. සරල බව තවමත් රජ කරයි. තල් ගෙඩියෙන් මැවුණු නිමැවුම්, තල් කොළයෙන් නිමැවූම් වූ පැදුරු, වට්ටි ආම්පන්න මෙන්ම තල් ගසෙන් සකස් වූ තල් ආහාරපාන නගරයේ ඕනෑ තරම්ය. සියල්ල අඩු මිලටය. තැනක යාපනයටම උරුම වූ මිදි ය. ඊට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ ඇල්මක් දක්වති. තවත් තැනක යාපනයටම ආවේණික වූ පලතුරු ය. නැතිනම් වෙනත් ආහාරපානය. යාපනයේ කරවල, හාල්මැස්සෝ ඇතුළු දේට ඇත්තේ ද විශාල ඉල්ලුමකි. මේ සියල්ල යුද්ධයේ බිහිසුණු බව පරයමින් ඔවුන් ගොඩනඟාගත් දේය. බිහිසුණු අතීතයේ ජීවත් වන්නට ඔවුන්ට ඇවැසි නැත. ජාත්‍යන්තරයට විවර වූ නව ලෝකයට ඔවුන් පිය නඟා ඇත. මේ අතීතයට ආයූබෝවන් කියා නැඟිට ගත් අපේම ජන කොටසකගේ කතාවකි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division