– සරල ගී පරීක්ෂණයට ගුණදාස කපුගේ මහතාගේ ඇරයුමින් අයදුම්පත් යොමු කරනවා
– එදා රාත්‍රිය පහන් වෙද්දී මට ලැබුණු ජනප්‍රියත්වය වචනවලින් කියන්න බැහැ
– නංගිලා දෙන්නාටයි මල්ලිටයි කන්න හදලා දීලා මම අනේක වාරයක් කුසගින්නේ හිටියා
– ගීත දෙසීයක් පමණ ගයා තිබෙනවා ඒ එක ගීයක්වත් මගේ පෞද්ගලික වියදමින් පටිගත කළ ඒවා නෙවෙයි
“එපා තවත් ඔබ
මා රවටන්නට
ඇගේ සෙවණ මුදු
මල් යහනාවක් නම්
ඒ මල් යහනේ
ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන්
මට සමු දෙනු මැනවී…”
මේ ගීතය මම ගයද්දි විවාහයක් ගැන හිතලාවත් තිබුණේ නැහැ. බන්දුල නානායක්කාරවසම් මේ ගීතයෙන් මට මගේ දෛව පත්‍රය ලියලා දුන්නා. ඒ පදවලට ආචාර්ය රෝහණ වීරසිංහයන් තනුව යොදලා මුළු ජීවිත කාලය පුරාම ගයන්න මඟ විවර කරලා දුන්නා. අපමණ හැලහැප්පීම්වලට මුහුණ දෙමින් එක්තරා තැනකදී ජීවිතය එපා වෙන්න තරම් සිත් වුණු මොහොතක මට ජීවත් වෙන්න ප්‍රාණය දුන්නේ මගේ දරු දෙදෙනා සහ මේ ගීතයයි. මේක මහා පුදුම ගීතයක් බවට පත් වුණා. අදටත් “එපා තවත් ගීතය” නම් ඒ වසන්තා තිලකාංගනී බව මුළු ලොවටම කියන්නට මේ ගීතය තරම් තවත් දෙයක් නැහැ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුවේ ඉපදී හැදී වැඩුණු වසන්තා තිලකාංගනී තුන්වන පන්තිය දක්වා කෑගල්ල බෝයගම මහා විද්‍යාලයෙන් අකුරු කර පසුව කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයට ඇතුළත් වන්නීය. පාසලේ පැවති සංගීත ආශ්රිත සියලු කාර්යයන්හි මුල් තැන ගත්තී වසන්තාය. ගායනා තරග රැසකින් ඇය පාසලට ජයග්‍රහණ ගෙන ආවාය. අධ්‍යාපනික කටයුතු ද ඉතා සාර්ථකව නිම කර සංගීත ගුරුවරියක බවට පත් වූවා ය. ඇයගේ මව සෝමා හෙට්ටිආරච්චි ඉංග්‍රීසි ගුරුවරියකි. පියා චිත්‍ර ශිල්පියෙක් වූ ඩී. ඒ. සෝමතිලකයි. මේ දෙදෙනාගේ වැඩිමල් දියණිය වූ වසන්තා තිලකාංගනීගේ සංගීත දිවියේ මුල් ගුරුවරුන් වන්නේ ද ඔවුන් දෙදෙනායි. පියා ඉතාම දක්ෂ ලෙස ඩොල්කි වාදනයේ ද යෙදුණු අතර පුංචි පොල්අතු පැළ තුළ ඒ ඩොල්කි වාදනය හා බැඳෙමින් බොහෝ සැඳෑවල පැවති පැදුරු සාජ්ජවලදී මේ සිය පවුලම ගායනයෙන් එක් වූයේ ඒ නිවහන සෞන්දර්යයෙන් පුරවාලමිනි. වසන්තාගේ ගායන හැකියාවන් ඉස්මතු වෙමින් එය ඔපමට්ටම් වන්නේ ද මේ පුංචි පැලේ තිබුණු ඒ සොඳුරු පැදුරු සාජ්ජවලිනි. ඇයට බාල නැඟණියන් දෙදෙනෙක් සහ මල්ලි කෙනෙක් ද විය. ආර්ථික දුෂ්කරතාවලින් බොහෝ පීඩා විඳින්නට මේ දරු පවුලට සිදු වුවත් ගැයුම් වැයුම්වලින් පිරුණු සුන්දරත්වය ඒ දුක් ගිනි නිවා සනහාලු වාර අපමණ ය. එහෙත් ඒ සතුටට වැඩි ආයුෂ නොවුණි. පියා ක්‍රමයෙන් මත් වතුරට ඇබ්බැහිවීම නිසා පවුලේ සාමය සතුට ද ආර්ථිකය ද දිනෙන් දින බිඳ වැටෙන්නට විය. ඒ අතරතුර හදිසියේ මවගේ අභාවය සිදු වීමෙන් මේ දරුවන් සිවුදෙනාට අත් වූ ඉරණම විග්රහ කරන්නට වදන් පොහොසත් නොවේ.
“අම්මා නැති අපට ජීවිතය ඉතා ම දුෂ්කර වුණා. නංගිලා දෙන්නාටයි, මල්ලිටයි කන්න හදලා දීලා මම අනේක වාරයක් කුස ගින්නේ හිටියා. තාත්තා එන්න එන්නම මත් වතුර නිසා දිරාපත් වෙලා මියගියා. තාත්තා ධීවර සංස්ථාවේ නිත්‍ය චිත්‍ර ශිල්පියා ලෙස රැකියාව කළා. කිසිම පැන්සල් ඉරක් අඳින්නේ නැතුව එක පාරෙන්ම අකුරු අඳින්න තාත්තාට පුදුම හැකියාවක් තිබුණා. පුංචි කාලේ ඉඳලා ගමේ තිබුණු සෑම උත්සවයකටම, තරගයටම ගීත ගායනයක් ඉදිරිපත් කරන්න ලැබෙන සෑම අවස්ථාවකටම තාත්තා මාව එක්කගෙන ගිහින් ඒවාට මාව යොමු කළා. ගමේ පන්සලේ සල්පිල්, ගමේ උත්සව, සංගීත ප්‍රසංග හැම එකකම මම සින්දු කිව්වා. ඉන්ද්‍රාණි කුලතුංග මහත්මියගෙන් මුලින් සංගීතය හැදෑරුවා. එතුමිය ඒ කාලේ මගේ අම්මාට කිව්වා මේ ළමයාට හොඳට උගන්නවන්න, මෙයා කවදා හරි ලංකාවේ නමක් තියෙන ගායිකාවක් බවට පත් වෙනවා කියලා. පසුව මම ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ කලාශ්රමයට සම්බන්ධ වෙලා සංගීතය ඉගෙන ගත්තා. පුංචි කාලේ ඉඳලා මගේ ලෝකයේ සිටි වීරවරියක් තමයි නන්දා මාලිනී මහත්මිය කියන්නේ. මම පුදුම උනන්දුවකින් එතුමියගෙන් සංගීතය ඉගෙන ගත්තා. එතුමියත් නිර්ලෝභීව ඉගැන්නුවා. විභාගවලට යොමු කරවලා ඉහළට යන්න අත දුන්නා. අම්මා කැබිතිගොල්ලෑව මහා විද්‍යාලයේ උගන්වන කාලේ රජරට සේවයට යොමු කළ අයදුම්පතකට හඬ පරීක්ෂණය සඳහා මාව කැඳෙව්වා. එතකොට මට වයස අවුරුදු 17යි. ඒ කටහඬ පරීක්ෂණය අවස්ථාවේදී මට විශාරද ගුණදාස කපුගේ මහතා සහ සංගීත ක්ෂේත්රයේ දැවැන්තයින් මුණ ගැසෙනවා. සරල ගී පරීක්ෂණයටත් මම ගුණදාස කපුගේ මහතාගේ ඇරයුමින් අයදුම්පත් යොමු කරනවා. ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් බවට පත් වෙනවා. රජරට සේවයේ නවරැල්ල වැඩසටහනට මට අවස්ථාවක් ලැබුණු වෙලාවේ ඒ සඳහා ඉදිරිපත් කරන්න මට ගීතයක් තිබුණේ නැහැ. නන්දා මාලිනී මහත්මිය මට ගීතයක් තෝරලා දීලා, ඒකට ලස්සන තනුවක් එතුමියම හදලා, පුහුණු කරවලා මාව ඒ සඳහා යොමු කළා. ඊට පස්සේ අනෙකුත් ගුවන්විදුලි නාළිකාවලිනුත් මට ඇරයුම් ගලාගෙන ආවා. ඒවාටත් මම සම්බන්ධ වුණා. ඒ කාලේ මේ ක්ෂේත්රයට විශාල ගරුත්වයක් තිබුණා. ඒ ගරුත්වය එදා රජරට සේවයෙන් ගායිකාවක් වශයෙන් මේ ක්ෂේත්රයට ප්රවිශ්ට වීමේදී නොඅඩුව මටත් ලැබුණා. හැම කෙනෙකුගේ ම සහාය මට ලැබුණා. ඒ උදව් කිරීම්වල ප්‍රතිඋපකාර අපේක්ෂාවන් තිබුණේ නැහැ. මුදලට යට නොවූ මනුස්සකමක් මේ ක්ෂේත්රයේ ඒ කාලේ තිබුණා. ප්‍රවීණයින් පුදුමාකාර විදිහට නවකයින්ට මඟපෙන්නුවා. මම දුෂ්කරතා මධ්‍යයේ ගොඩනැඟුණු කෙනෙක් වුණත් මට මේ ක්ෂේත්රයේ දුෂ්කර බවක් ඒ කාලේ දැනුණේ නැහැ. අදටත් මගේ යාළුවෝ, හිතවතුන්, ක්ෂේත්රයේ සමීපතමයින් සහ කලාකාරිනියක ලෙස ආදරය කරන බොහෝදෙනා මට උදවු කරනවා. ඒ හැමෝටම මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා. දැන් නම් විශාල කලකිරීමක් මේ ක්ෂේත්රයේ වෙන දේවල් සහ පෙනෙන දේවල් නිසා දැනෙනවා.
දුෂ්කරතා මධ්‍යයේ වුවත් ඇය විභාග සමත් වූවා ය. සංගීත ගුරුවරියක ලෙස රජයේ පත්වීමක් ලැබුවාය. ඇයගෙන් ඉගෙනීම් කළ දරුවන් සියයට සියයක්ම විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගෙන තිබිණි. විභාග කිට්ටු වෙද්දි ඇය ළමයින්ව ගෙදරට ගෙන්වාගෙන කිසිදු මුදල් ඉපයීමකින් තොරව විභාග සඳහා සූදානම් කළාය. සමස්ත ලංකා ගායන තරගවලට ඇය ඉදිරිපත් කළ දරුවන් බොහෝදෙනෙකුට ජයග්‍රහණ අත්වී තිබිණි. ඉගැන්වීමෙහි සූරකම්, කැපවීමෙන් දරුවන්ට ඉගැන්වීම, දරුවන් විශිෂ්ට ජයග්‍රහණ හිමි කර ගැනීම ආදිය මත ගුරුවරියක ලෙස ඇයට පැසසුම්, ඇගයීම්, සම්මාහිමි විය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් සංගීත ක්ෂේත්රයේ කාර්යබහුල වීමත්, සංගීත ගුරුවරුන් නොමැති පාසල් කිහිපයකට අනුයුක්තව රාජකාරි කිරීමට සිදුවීම නිසා ඇති වූ තෙහෙට්ටුව සහ අපහසුතා හේතුවෙන් ඇය නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර ගුරු වෘත්තියට සමු දී සංගීත කටයුතුවලටම යොමු වූවාය.
“1987 වර්ෂයේදී අතිශය තරගකාරී ජනප්‍රිය ගායන තරගයක් වූ “ගයන්න ගී” සඳහා අහඹු ලෙස ඉදිරිපත් වෙන්න මට වාසනාව පෑදුණා. කටහඬ පරීක්ෂණ කිහිපයකටම ඉදිරිපත් වෙමින් දිගින් දිගට තරග වදිමින් අවසන් ගායිකාවන් තිදෙනා අතරට මාවත් තේරුණා. එතැනදි මියුසික් ට්‍රැක් තුනකට ගීත තුනක් පටිගත කරලා සිංග්ලංකා ආයතනයට භාර දෙන්න තිබුණා. අපේ ආර්ථික ගැටලු එක්ක එහෙම දෙයක් කරන්න ශක්තියක් අපට තිබුණේ නැහැ. නමුත් තාත්තාගේ හිතවත් සංගීත පවුලක් රාගම හිටියා විසිදාගම පවුල කියලා. තාත්තා මාව එහේට එක්කගෙන ගිහින් ඔවුන්ගේ උදව්වෙන් ගීත තුනම පටිගත කරලා සිංග්ලංකා ආයතනයට ගිහින් භාර දුන්නා. ඒකෙන් ගායිකාවන් තිදෙනෙක් සහ ගායකයින් තිදෙනෙක් තෝර ගත්තා. ගායිකාවන් තිදෙනා වුණේ මමත්, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුජීවා ප්‍රියන්ති යි. ගායකයින් තිදෙනා වුණේ ගාමිණී ජීවරත්න, බණ්ඩාර සෙනෙවිරත්න සහ අනුර රාජපක්ෂයි. අපට ලැබුණු තෑග්ග වුණේ අපි හය දෙනාගේ ගීත දෙක බැගින් අලුතෙන් නිර්මාණය කරලා සිංග්ලංකා ආයතනය කැසට් පටයක් නිකුත් කළා. ඒ සඳහා බන්දුල නානායක්කාරවසම් ලියලා රෝහණ වීරසිංහයන් තනුව යොදලා “එපා තවත් ඔබ” ගීතය මට ලබා දුන්නා. ඒ ගීත එකතුව සෑම නාළිකාවකින් ම ප්‍රචාරය වුණා. පුදුමාකාර ජනප්‍රියත්වයක් ඒ සඳහා මට ලැබුණා.”
ගීතය කොතරම් ජනප්‍රිය වුවත්, වසන්තා තිලකාංගනී කවුදැයි බොහෝ අය රුවින් හඳුනාගෙන සිටියේ නැත. 2001 වසර උදාවන රාත්‍රියේ රවීන්ද්‍ර මුණසිංහයන්ගේ අධ්‍යක්ෂණයෙන් ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු “වසරාන්ත සංගීත තිළිණ” සංගීත වැඩසටහනට එතුමාගේ අධ්‍යක්ෂණයෙන් කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දර්ශනතලයේදී සෙනිත් සංගීත කණ්ඩායමේ සංගීතයට අනුව මේ ගීතය 2000 වර්ෂය ගෙවී 2001 උදා වූ මධ්‍යම රාත්‍රි 12.03ට පටිගත කිරීමකින් ජනගතවීම දෛවෝපගත සිදුවීමක් බවට පත් විය.
“. අතිවිශාල රසික පිරිසක් මට ඇති වුණා. ආදරණීය ලිපි, සුබපැතුම් නිර්මාණ විශාල ප්‍රමාණයක් මට ලැබෙන්න පටන් ගත්තා. ලංකාවේ හැම නාළිකාවකම ජනප්‍රියතම ගීතය බවට මෙය පත් වුණා. ලංකාවේ සතර දෙසින් මට සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන් සඳහා ආරාධනා ගලාගෙන ආවා. ඊට පස්සේ විදේශ රටවලින් ආරාධනා ලැබුණා. හැම නාළිකාවකින්ම මගේ අනෙකුත් ගීතත් සොයමින් පටිගත කරන්න පටන් ගත්තා. ගුවන්විදුලියේ පටිගත වෙලා තිබුණු ගීත සොයමින් ප්‍රචාරය කරන්න පටන් ගත්තා. 2001 වර්ෂයේදී මගේ මුල්ම ගීත එකතුව එළි දක්වනවා. රවීන්ද්‍ර මුණසිංහයන් මැදිහත් වෙලා පත්මකුමාර මෙත්තසේනයන්ට මාව හඳුන්වාදීමෙන් පසුව ඔහුගේ උදව්වෙන් “එපා තවත් ඔබ” නමින්ම මගේ පළමු ගී එකතුව එළිදක්වනවා. “මනෝහාරී” සංගීත වැඩසටහනටත් මේ ගීතය ඉදිරිපත් කළා. පුදුමාකාර පෙරළියක් මගේ ජීවිතයේ ඒ වසරේ ඇති වුණා. මේ වන විට මම ගීත දෙසීයක් පමණ ගයා තිබෙනවා. ඒ එක ගීයක්වත් මගේ පෞද්ගලික වියදමින් පටිගත කළ ඒවා නෙවෙයි. මට සංගීත ක්ෂේත්රයේ විවර වුණු හැම දොරටුවක්ම මමගේ පවුල් ජීවිතයේ තිබුණු අර්බුද නිසා ඉතා ඉක්මනින් වැසී ගියා. විදේශ සංචාරවලට මට යන්න බැරි වුණා. ජීවිතයේ තාඩන පීඩන ඉවසන්න බැරුව මේ ගීතයේ වගේම මම එ් අඳුරු මතකයට සමු දීලා දරු දෙදෙනා සමඟ 2012 දී හුදෙකලා වුණා. ඒ වනවිටත් මට ලැබුණු සියලු අවස්ථා මගේ දෛවය විසින් වළකා දමා තිබූ නිසා ජීවිතය බොහොම අමාරුවෙන් ගෙවන්න අදටත් මට සිදු වෙලා තියෙනවා. ගායන තරග විනිශ්චය කටයුතුවලට මට අදටත් ආරාධනා ලැබෙනවා. යම් මුදලක් මට එයින් ලැබෙනවා. සුළු විශ්‍රාම වැටුපක් මට හිමියි. කොහොම හරි මගේ දරුවෝ දෙන්නාව මම හොඳින් හදා ගත්තා. ලොකු පුතා විවාහ වෙලා සතුටින් ඉන්නවා. පොඩි පුතා මා එක්ක ඉන්නවා. එයා ගායනයටත්, රංගනයටත් යොමු වෙලා ඉන්නවා. අදටත් මට ආදරණීය බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි මගේ දෛවය ගීතයෙන් ලියූ බන්දුල නානායක්කාරවසම් මහතාටම කියලා අලුත් ගීතයක් ලියාගෙන ගායනා කරලා මගේ ආදරණීය රසික පිරිසට තිළිණ කරන්න. නමුත් අද කාලේ හැටියට එච්චර ලොකු දෙයක් කරන්න මට ආර්ථික ශක්තියක් නැහැ. ඒක හීනයක් විතරයි.”