Home » සජිත් අලියා පිටේ නඟී ද?

සජිත් අලියා පිටේ නඟී ද?

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

2025 නව වසරේ දේශපාලන ක්ෂේත්‍රයේ කටයුතු සිදු කෙරුණේ බොහෝ උනන්දුවකිනි. නව රටක් ගොඩනැඟීමේ බලාපොරොත්තුවෙන් ආණ්ඩුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ නව වසර ආරම්භ කළ අතර, විපක්ෂය නව වසරේ වැඩ ආරම්භ කළේ ඉදිරියේදී විපක්ෂයක් ලෙස පුළුල් සන්ධානයක් ගොඩනැඟිය යුතු බව ප්‍රකාශ කරමිනි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමඟ ජනපති නව වසරේ වැඩ අරඹයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථක කරගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රිය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (1) පැවති උත්සවයට එක් වෙමිනි.

නව දේශපාලන සංස්කෘතියක් ගැන ජනපති කී දේ

“අපේ රටට මේ වසර උදා වන්නේ නව දේශපාලන සංස්කෘතියක ආරම්භයත් එක්ක. අපි මේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන පදනම සකස් කරමින් තිබෙනවා. දේශපාලන සංස්කෘතිය, නාස්තිය, පවුල්වාදය බලය අසීමිත ලෙස ජනතාවට එරෙහිව උපයෝගි කරගැනීම, ජනතාවට උඩින් ඉන්න දේශපාලකයෙක් නිර්මාණය වී තිබීම. මේ සියල්ල අහෝසි කර ජනතාවගේ වුවමනාවන් පෙරදැරි කරගත් ඒ වුවමනාවන් එක්ක පෙළගැසුණු නව දේශපාලන සංස්කෘතියක් අපි ආරම්භ කොට තිබෙනවා, මේ නව වසරේ අභියෝග ජයග්‍රහණය කිරීම වෙනුවෙන්.”

සැමට එක නීතියක්

“අපේ රටේ දීර්ඝ කාලයක් නීතියේ ආධිපත්‍යය නොසලකා හරින කාරණයක් බවට පත් වෙලා තිබුණා. විශේෂයෙන්ම අපරාධකරුවන් නීතියේ උඩින් ඉන්නවා. දූෂිතයන් නීතියට වඩා උඩින් ඉන්නවා. දේශපාලන අධිකාරීන් තමන්ට අවශ්‍ය හිතූ හිතූ පරිදි නීතිය උල්ලංඝනය කරනවා; ව්‍යවස්ථාව කඩනවා. අපේ රටේ හිටපු ජනාධිපතිවරුන් අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාවේ නීති කඩා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දී තිබෙනවා. රටේ ඉහළම පුරවැසියා ව්‍යවස්ථාව කඩන රාජ්‍යයක නීතියේ විධානයේ ආධිපත්‍යය ගැන කවර කතාද? කියා මා ඔබගෙන් අසනවා. ඒ නිසා අප මේ නීතියේ, විධානයේ ආධිපත්‍යය යළිත් සහ තහවුරු කිරීම සඳහා විශාල වෙහෙසක් දරමින් ඉන්නවා.” යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ක්ලීන් ශ්‍රී ලංකාට ඉහළ ප්‍රතිචාර

පරිසරය, නීතිය, වංචාව, දූෂණය ඇතුළු අංශ රැසකින් රට ක්ලීන් කිරීම හෙවත් ශ්‍රී ලංකාව පිරිසිදු කිරීම සඳහා නව වසරේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලද පළමු වැඩසටහන මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අලුත් වැඩසටහන ඉතා යහපත් එකක් බව මෙරට පමණක් නොව විදේශ රටවල රාජ්‍යතාන්ත්‍රික සේවාවලින් ද පැසසුම් ලැබීම විශේෂත්වයකි. මෙරට සිටින විදේශ රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රධාන උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ එය ඉතා හොඳ වැඩසටහනක් බවයි. මීට අමතරව විදෙස් රටවල කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩ­ිකාවන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අගය කිරීම කැපීපෙනේ.

විදේශ විනිමය ඉක්මනින් ඉපයීමට විජිතගේ දැඩි අවධානයක්

2025 වසරේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ රාජකාරි ඇරඹීමේ උත්සවය අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු විය. නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, අමාත්‍යාංශ ලේකම්තුමිය, අතිරේක ලේකම්වරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු උත්සවයට සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය සලකා විදේශ විනිමය රටට හැකි ඉක්මනින් ඉපයීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි.

“අද ඔබ කවුරුත් දන්නවා රට ආර්ථික වශයෙන් ඉතා අමාරු තැනක තියෙන්නේ. ඉතිහාසය තුළ ප්‍රතිපත්තිමය අඩුපාඩුවල ප්‍රතිඵලයක් ලෙස, අද අපි රටක් විදිහට ආර්ථික වශයෙන් අමාරු තැනක ඉන්නවා. එහෙම නම් අපි හැමෝටම අධිෂ්ඨානයක් තිබිය යුතු වෙනවා මේ වැටිච්ච තැනින් නැඟිිටලා මේ රට ගොඩගන්න. රට ගොඩනැඟීමේ සිහිනය අප හැමෝම තුළ තිබිය යුතු වෙනවා. පෞද්ගලික ජීවිතයේ සිහින වගේම රාජකාරී ජීවිතයේ සිහින වගේම රට පිළිබඳ අනාගත සිහිනයත් සැබෑ කරගැනීමේ අධිෂ්ඨානය අපි සියලුදෙනා තුළම තියෙනවයි කියන එක මම දන්නවා. එහෙමනම් ඒ අනාගත සියලු සිහින සැබෑ කරගැනීම සඳහා වෙච්ච ධෛර්යවත්, ශක්තිමත් නව ගමනකට අද අප පා තබන්න ඕනෑ. අන්න ඒක තමයි 2025 අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්න අප සූදානම් වෙනවා කියලා කියන්නේ. එතනදි විදේශ අමාත්‍යාංශය විදිහට අපට විශාල වගකීමක් පැවරිලා තියෙනවා.

“මේ ආර්ථිකය කඩාවැටිච්ච නිසා තමයි අපිට, රටට විදේශ විනිමය උපයන්න ඉක්මන් ක්‍රියාමාර්ගවලට යන්න වෙලා තියෙන්නේ. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කරනවා නම් වඩාත්ම තිරසර ක්‍රමවේදය තමයි නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් මේ රට තුළ ස්ථාපිතකරණය කිරීම. ඒකට යම් කාලයක් යනවා. ඒ නිසාම මේ තියෙන තත්ත්වයෙන් යම් ප්‍රමාණයකට එළියට එන්න මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ක්‍රමවේදයන් අවශ්‍ය වෙනවා. ඒ ක්‍රමවේදයන් තමයි මේ දිනවල ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ.” යනුවෙන්ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

චෝදනාවට නලින්දගෙන් පිළිතුරු

“මාලිමාවේ මැතිඇමැතිවරුන් දැන් ෆෝන් එකටවත් එන්නේ නෑ.” මේ මාධ්‍යවේදින් නඟන චෝදනාවකි. “එන්නේ නෑ නෙවෙයි, එන්න බෑ. ඒ ගොල්ලන්ගෙන් අහන්න තියෙන ප්‍රශ්නවලට ඒගොල්ලන්ට රෙදි ඇඳගෙන උත්තර දෙන්න පුළුවන්ද?” සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර එහෙම කිවුවේ කුරුණෑගල පැවති පාක්ෂික හමුවකදීය.

“ඔය චෝදනා බොරු. අපි කොහොමත් වොයිස් කට් පොලිටික්ස් කරන්නේ නෑ. අපි කාටවත් ප්‍රයිවට් ඇජෙන්ඩා නෑ. එක ප්‍රතිපත්තියයි, එක ඇජෙන්ඩා එකයි. අපි රටට කියන්න ඕනෑ දේ මීඩියා කැඳවලා කියනවා.” ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත එහෙම කිව්වේ මිතුරන් සමඟ කරපු සුහද කතාබහකදීය. ‍ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද කියා තිබුණේ ඒ හා සමාන අදහසකි:

“අපි මාධ්‍යයට වාරණ පනවන්නේ නෑ. අපේ ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් කාර්යබහුලයි. ඒ අයට කරන්න වැඩ තියෙනවා. ඒ වැඩ ටික කරගෙන යනවා.” ඇමති නලින්ද ජයතිස්ස පිරිසත් සමඟ එසේ කියා තිබිණි.

තාත්තයි පුතයි මාරු වුණු මන්ත්‍රී කවුද?

මාලිමාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන්නේ විශේෂඥ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වන්නේද ඔහුය. ඔහුගේ පුත් චතුරංග අබේසිංහ ද මාලිමාවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. සිලින්ඩරෙන් පාර්ලිමේන්තු පැමිණි බදුල්ල දිස්ත්‍රික්කයේ චාමර සම්පත් දසනායකට පාර්ලිමේන්තුවේදී ලොකු වැරැද්දක් විය. ඒ මන්ත්‍රී චතුරංග අබේසිංහගේ පියා ගැන කීමට යෑමේදීය.

“පාර්ලිමේන්තුවේ දැනුත් නෝනලා මහත්තයලා ඉන්නවා, තාත්තලා පුතාලා ඉන්නවා. චතුරංග අබේසිංහගේ තාත්තා මහාචාර්ය අනිල් ජයන්ත” චාමර කීවේය. මුළු පාර්ලිමේන්තුවම සිනා සයුරක ගිලී ගිය අතර, මාලිමාවේ මන්ත්‍රීවරු චාමර සම්පත් නිවැරදි කළහ. “සමාවෙන්න, සමාවෙන්න. මට වැරදිලා.” කියමින් චාමර සම්පත් සමාව ඉල්ලුවේය.

අලියාද? දුරකතනයද?

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල යම් යම් කතාබස් සිදු වෙමින් පවතින අතර, පාර්ශ්ව දෙකේම සැලකිය යුතු පිරිසක් මේ සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරන බවද වාර්තා වේ.

අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර මේ සාකච්ඡා අවසන් කළ යුතු බවට දෙපාර්ශ්වයේම පිරිස් එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අතර සාකච්ඡා පැවැති අතර, ඔවුන් එහිදී එකඟතාවකට පැමිණ ඇත්තේ කවුරුන් සමඟ එක් වුවත් ඕනෑම මැතිවරණයකට තරග කළ යුත්තේ අලියා ලකුණින් බවයි.

පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීම නිසා ජාතික ලැයිස්තුවට ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දෙකද එක්සත් ජාතික පක්ෂයට අහිමි වූ බවද, මින් පසු එවැනි තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට අනිවාර්යයෙන්ම අලියා ලකුණින් තරග කළ යුතු බවද එජාප සභාපති වජිර අබේවර්ධන පෙන්වා දුන්නේය.

විපක්ෂයේ ෂැඩෝ කැබිනට් එක කෝ?

ලබන පෙබරවාරි මැද සිට මාර්තු මැද දක්වා ආණ්ඩුව අය වැය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. සාමාන්‍යයෙන් ආණ්ඩුව අය වැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්‍ෂයද ඊට සූදානම් වීමක් කරයි. එහෙත් මේ වන තුරුම සජබ තුළ තවමත් එවැනි සූදානමක් නැති බව වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය වැනිම සෙවණැලි කැබිනට් එකක් විපක්ෂයේ තිබේ. අමාත්‍ය මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම හා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ මේ සෙවණැලි කැබිනට්ටුවටයි. මේ වන තුරුම සජබ මෙම සෙවණැලි කැබිනට්ටුව සකසා නැත. එහෙයින් මේ මස 7 දා වන විට කඩිනමින් මෙම සෙවණැලි කැබිනට්ටුව පත් කර ඒ ඒ විෂයයන් බෙදා දී අවශ්‍ය අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාවක් දෙන ලෙස සජබ මන්ත්‍රීවරුන් නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර තිබේ.

පෙබරවාරියට තව වැඩි කාලයක් නැති බවත්, මෙම ආණ්ඩුව වෙනත් ආණ්ඩුවක් වගේ උඩින් පල්ලෙන් අතගාන්නෙ නැති නිසා ඔවුන් හා කරන සටනේදී මැනවින් සූදානම් වීමට ගැඹුරු අධ්‍යයනයන්හි නියැළීමට ඇති අවශ්‍යතාවත් මොවුන් වැඩිදුරටත් නායකයාට පෙන්වා දී තිබේ.

රනිල් නේපාල අගමැති සමඟ පැයක් කතා කළේ මොනවාද?

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි මහත්වරුන් අතර හමුවක් කත්මණ්ඩු නුවරදී පසුගියදා (2) පැවැත්විණි. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර නේපාලයේ සංචාරයකටද ගියේය. නේපාල අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ නේපාලයට දරුණු භූමි කම්පාවකට මුහුණ දෙන්නට සිදු වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවෙන් ලද උපකාර පිළිබඳ කෘතඥ වන බවයි. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඉදිරියේදී තව දුරටත් ද්විපාර්ශ්වික සබඳතා තර කරගැනීමට අපේක්‍ෂා කරන බවද ඔහු එහිදී කියා ඇත.

ප්‍රතිසංවිධාන සඳහා සජිත්ට දැඩි බලපෑම්

සමගි ජන බලවේගය තුළ කඩිනමින් ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව පෙන්වමින් විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාසට පක්ෂය අභ්‍යන්තරයෙන් දැවැන්ත බලපෑමක් එල්ල වෙමින් පවතී. පක්ෂයේ සියලු නිලතලවලට සුදුස්සන් පත්කරන්න. ඔවුන්ට වගකීම් දෙන්න. ඔවුන්ට වැඩ කරන්න කියන්න. ඒ කරන වැඩවලින් පක්ෂ යන්ත්‍රණය ශක්තිමත් කරන්න වශයෙන් මේ බලපෑම් එල්ල වේ.

සජබ සමඟ පසුගිය කාලයේ කටයුතු කළ විශාල පිරිසක් මේ වන විට සජබ සියලු කටයුතුවලින් දුරස් වී පැත්තකට වී සිටින තත්ත්වයක් ඇති වී ඇති බවද මේ බලපෑම් එල්ල කරන කණ්ඩායම පෙන්වා දෙයි. විශේෂයෙන්ම සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට නිකන්ම නිකන් ගෙවල්වලට වී සිටින නමුත් පක්ෂ නායකත්වය ඔවුන්ට නැවත කැඳවීමක් කරන බවක් නොපෙනෙන බව පැවසේ. ඔවුන් හිටපු මන්ත්‍රීවරුන් වුවද ඔවුන්ට කිසියම් වගකීමක් පැවරුවොත් ඔවුන් එය මැනවින් ඉටු කරනු ඇති බව බලපෑම් කරන කණ්ඩායම කියයි.

බලපෑම් කරන කණ්ඩායම කෙලෙසින් කරුණු දැක්වුවද සජිත් ප්‍රේමදාස විවිධ හේතු දක්වමින් දවසින් දවස කල්මරමින් සිටි. පස්සේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තියමු, කළමනාකරණ කමිටු රැස් වෙමු, කියමින් සජිත් මේ කටයුත්ත කල් දමමින් සිටියද ඉම්තියාස් බාකීර් මාකාර්ගේ ලියුමත් සමඟ ඔහු මඳක් සලිත වී ඇත. එහෙත් තවමත් ඔහු කිසිවක් කිරීමට සූදානමක් ඇති බවක් නොපෙනෙන බව සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

විපක්ෂයෙන් නව සන්ධානයක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වෛරී දේශපාලනයට මුහුණ දීමට විපක්ෂයේ පක්ෂ සමූහයකින් යුතු ඒකාබද්ධ පෙරමුණක් නව වසරේ සංවිධානය කරන බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි. මේ සන්ධානයට සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි විපක්ෂයේ පක්ෂ ගණනාවක් එකතු වීමට නියමිතය. මේ අතර කඳුකරයේ ඇති දේශපාලන පක්ෂ වන ලංකා කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ, ජාතික කම්කරු කොංග්‍රසය වැනි පක්ෂ එක් වී ඉන්දීය සම්භවයක් සහිත පුරවැසි පෙරමුණ නමින් පක්ෂයක් හදාගෙන එළඹෙන මැතිවරණවලදී තරග කිරීමේ සූදානමක් ඇති බවද වාර්තා වෙයි.

හරින් ගේම ඉල්ලුවේ කාගෙන්ද?

හරින් ප්‍රනාන්දු කවදත් පුවත් මවන ආන්දෝලනාත්මක දේශපාලන චරිතයකි. ගැටුමට ප්‍රිය හරින්ට ඒ සඳහා තැනක් නොතැනක් නැත. ඔහු ඊයේ පෙරේදා කොළඹ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩාංගණයක පිහිටි අවන්හලකට ගියේ මිතුරන් පිරිසකගේ ආරාධනයෙනි. කටගැස්මද යහමින් තිබූ සාද මේසයේ කටගැසුම බවට ඉක්මනින්ම පත් වූයේ රටේ දේශපාලන තත්ත්වයයි. “පැරදුණා නම් ගෙදරට වෙලා හිටපන්.” පිටිපස්සෙන් පැමිණි අයකු හරින්ට ප්‍රකාශ කළේ උරහිසට වැරෙන් පහරක්ද එල්ල කරමිනි. පුටුව පෙරළාගෙන හරින් නැඟිට්ටේ ප්‍රතිප්‍රහාරයකටය. එහෙත් ඒ වන විටත් ප්‍රහාරකයා බොහෝ ඈතට ගොස් සිටියේය. හරින් ඔහු සිටින දෙසට යෑමට උත්සාහ කළේය. එහෙත් මිතුරෝ ඔහු බදාගත්හ. තමාට වූ අවමානය නිසා හරින් සිටියේ දණ්ඩෙන් පහර කෑ සර්පයෙක් පරිද්දෙනි. මිතුරන් යන්ට නොදෙන නිසා ඔහුගේ ආවේගය පිට වූයේ රළුපරළු වචනවලිනි.

ගාල්ලේ මාධ්‍යවේදීන් වජිරගෙන් ඉල්ලුවේ මොනවාද?

නව වසර වෙනුවෙන් සුබපැතීමටත්, රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත් එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මාධ්‍ය හමුවක් පසුගිය අඟහරුවාදා ගාල්ල එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී සූදානම් කර තිබිණි. මාධ්‍යවේදීන් සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් වජිරගෙන් කළ ඉල්ලීමක් අනුව වජිර මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කර තිබිණි.

එජාප ක්‍රියාකාරීන් කියා සිටියේ රට තුළ මේ වන විට උද්ගත වී තිබෙන සහල් අර්බුදය වගේම කෘෂි ගැටලුව පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසයි. මේ ඉල්ලීමට අනුව අඟහරුවාදා උදෑසනම ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින මාධ්‍යවේදීන් කැඳවා මාධ්‍ය හමුවක් පැවැත්වීමට වජිර වගබලා ගත්තේය. මේ අනුව උදෑසනම ගාල්ල එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයට මාධ්‍යවේදීන් පැමිණ තිබූ අතර, වජිර මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කළේය:

“ප්‍රථමයෙන් ශ්‍රී ලාංකික මහජනතාවට මේ 2025 වර්ෂය සුබ නව වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. කෙසේ වෙතත් වර්ෂය ආරම්භයේ සිටම සමස්ත මහජනතාව විශාල පීඩනයකින් සිටන බව අපට පෙනෙන්න තිබෙනවා. එක අතකින් රටේ සහල් හිඟය, අනෙක් පැත්තෙන් වන සතුන් හේතුවෙන් වගාවන්ට වන හානිය. මේ සියල්ලකින්ම අවසානයේ දුක් විඳින්න සිදු වන්නේ රටේ ජනතාවට.

ඒ නිසා මේවාට මුහුණ දිය යුත්තේ කෙසේද කියා එක්සත් ජාතික පක්ෂය මේ වන විට සොයා බලමින් සිටිනවා.

“මෙවැනි තත්ත්වයක් ඇති වන බව දන්න නිසා තමයි 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගටම ප්‍රකාශ කළේ රටක් ඉදිරියට ගෙනියන්න නම් පළපුරද්ද, අත්දැකීම් සහ කළමනාකාරීත්වය ඉතා වැදගත් කියලා. ඒ නිසාම එතුමා කිව්වා පළපුරුද්ද තියන අය පාර්ලිමේන්තුවට යවන්න කියලා. ඒත් බහුතර ශ්‍රී ලාංකික පුරවැසියන් තීරණය කළා රට ඉදිරියට ගෙනියන්න කිසිදු පළපුරුද්දක් අවශ්‍ය නැති බව. ඒ නිසා ඔවුන් රටේ වගකීම පළපුරුද්දක් නැති කොට්ඨාසයකට භාර දුන්නා. මෙය ඉතා භයානක තත්ත්වයක්. සමහර අය මේ පළපුරුද්ද ගැන කතා කරන කොට එය විහිළුවකට භාජනය කළා.

“කෙසේ වෙතත් මේ සියල්ලෙන්ම සිදු වුණේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියම විශාල පීඩනයකට ලක් වීමයි. අපි දැන් බැලිය යුත්තේ 2025 වර්ෂයේදී මේ රටේ ජනතාව ඒ විශාල පීඩනයෙන් මුදාගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහජන පරමාධිපත්‍යය බලගන්වන්නේ කෙසේද කියලා.” යනුවෙන් වජිර පැවසීය.

ජනවාරි 8 චම්පික කරන්න යන දේ

2015 ජනවාරි 8 දා රටේ සිදු වූ දේශපාලනය පරිවර්තනයට වසර 10ක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන 2025 ජනවාරි 8 දා වැඩසටහනක් සූදානම් කර තිබේ. මේ වැඩසටහන පිටුපස සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකය. මෙහි ආරාධිත දේශනය ලෙස ජනවාරි 8 පරිවර්තනයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ මලිත් ජයතිලක විශේෂ කතාවක් කිරීමට නියමිත අතර, මේ මොහොතේ රටේ ආර්ථිකය පිළිබඳ මිනිසුන්ට තේරෙන සරල භාෂාවෙන් කතා කරන තරුණ ආර්ථික විශ්ලේෂකයකු වන ධනනාත් ප්‍රනාන්දු ද මෙහි දේශනයක් කිරීමට නියමිතය.

කථික ලැයිස්තුවේ සිටින අනෙක් විශේෂිත පුද්ගලයා වන්නේ රාජපක්ෂ රෙජීමයේ අතිශය කිට්ටු හිතවතකු වන ජගත් වැල්ලවත්තය.

කොළඹ පදනම් ආයතනයේ මේ වැඩසටහන පැවැත්වෙන අතර, මහජන සභාව යන නමින් මෙය කැඳවනු ලැබේ. මහජන සභාව යනු චම්පික රණවකගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක සිවිල් සංවිධානයකි. මේ සඳහා විශාල පිරිසකට ආරාධනා කර ඇති අතර, වියත් මඟේ සිටි මහාචාර්ය චරිත හේරත් වැන්නන්ට ද ආරාධනා කර තිබේ. මේ වන විට රටේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලත්වයත් සමඟ විසිරී ගිය දේශපාලන කණ්ඩායම් එක තැනකට එකතු කර ගැනීමට චම්පික දරන පොඩි උත්සාහයක් ලෙස මේ අර්ථකථනය කර තිබේ.

සජිත් නව වසරේ වැඩ අල්ලයි

පසුගිය සතියේ නව වසරට වැඩ ආරම්භ කිරීම සදහා උත්සවයක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සංවිධානය කර තිබිණි. සර්වාගමික ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මේ උත්සවය ඉතා චාම් අයුරින් සංවිධානය කර තිබිණි. පටු අරමුණු පසෙකලා රට ගොඩනඟන ජාතික මෙහෙයුමට මුලපුරන බවත් විනිවිදභාවයෙන් හා පාරදෘශ්‍යභාවයෙන් යුක්තව රටටත් ජනතාවටත් වගවෙන, වගකියන ප්‍රශස්ත සේවාවකට නායකත්වය දෙන බවත්, දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය සේවකයන්ද එකට එකතු වී එය වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේය.

පොදු ජනතාවට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රශස්ත ප්‍රබුද්ධ කාර්යක්ෂම හා කාර්යශූර ජනතා සේවාවක් ඉටු කරනවා සේම සදාචාරාත්මකභාවය සුරකිමින් විනයගරුකව රාජ්‍ය දේපොළ හා සම්පත් අවභාවිතයට ඉඩ නොතබමින් ඒවා හොඳින් නඩත්තු කරමින් කාර්යක්ෂමව රටට සේවාව ඉටු කළ යුතු බවත්, පුද්ගල ලාභයට වඩා රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා සාමූහිකව කටයුතු කිරීමට එක් වන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලත, හර්ෂණ රාජකරුණා, හර්ෂ ද සිල්වා, ජේ.සී. අලවතුවල, නලින් බණ්ඩාර සහ තවත් මන්ත්‍රීවරු පිරිසක් මේ චාම් උත්සවයට සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division