සමඟි ජන බලවේගය තුළ ගැටලුකාරි තත්ත්වයක් මතු වී ඇති බව බොහෝ දෙනා පවසනවා. ඔබ ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස මේ තත්ත්වය දකින්නේ කෙසේද?
සාමාන්‍යයෙන් පරාජයකට පත් වූ පසු ඕනෑම දේශපාලන පක්ෂයක් තුළ විවිධ අදහස් මතවාද වාද විවාද ඇති වෙනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. පරාද වූ පසු විවිධ අය කියනවා, මෙහෙම කළා නම් දිනන්න තිබුණා කියලා. දිනුවා නම් කවුරුත් ඔහොම කතා කරන්නේ නැහැ නේ. ඒ නිසා මම පෞද්ගලිකව කල්පනා කරන්නේ සිදු වූ පරාජයන් පිළිබඳ හරි විමර්ශනයක් හා දේශපාලනික අධ්‍යයනයක් කර, පක්ෂයේ ප්‍රතිසංවිධානවලට යා යුතු බවයි.
සජබ නායකත්වය ගැන නිරන්තර ප්‍රශ්න කිරීම් සිදු වෙනවා. පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු මතු වෙලාද?
පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් නැහැ. එහෙත් බහුතරයක් ප්‍රතිසංවිධානයන්ට යා යුතුය යන මතයේ ඉන්නවා.
සමගි ජන බලවේගය තුළ සහයෝගයක් නැති බවත්, නායකත්වය වෙනසකට ලක් විය යුතු බවත්, එහි හවුල්කාර පක්ෂ පවසනවා. ඔබ කොහොමද මේ තත්ත්වය දකින්නේ?
මම මුලින්ම කිවුවා මෙන් අපේ පක්ෂය තුළ ඒ සම්බන්ධ සාකච්ඡාවක් සිදු වී නැහැ. පොදුවේ පක්ෂය ප්‍රතිසංස්කරණය කළ යුතුය යන අදහසේ හැමෝම ඉන්නවා. අප ගමනක් යනවා නම් ප්‍රතිසංස්කරණවලට ලක් කර, අඩුපාඩු හදාගෙන යා යුතුය යන මතයේ බහුතරයක් ඉන්නවා. එහෙම නැතිව නායකත්වය සම්බන්ධයෙන් කතාවක් මතු වී නැහැ.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුත්තේදීවත් නායකත්වය පිළිබඳ ප්‍රශ්න කරන්නේ නැතිද?
තාම ඒ පිළිබඳ සාකච්ඡා සිදු වී නැහැ.
පක්ෂය තුළ තවත් ප්‍රබලයන් රැසක් ඉන්නවා. ඔවුන්ටත් මෙහි නායකත්වය දිය යුතු යැයි ඔබ සිතන්නේ නැතිද?
හැම පරාජයක්ම නායකයාට පමණක් භාර කිරීම සාධාරණ නැහැ. වගකීම පක්ෂය විසින් සාමූහිකව භාරගත යුතු බව මගේ අදහසයි. ඉදිරි ජයග්‍රහණ සඳහාත් අපි සාමූහිකව වගකීමෙන් වැඩ කළ යුතු වෙනවා. නායකත්වයට පමණක් දොස් කීම කිසිසේත් සාධාරණ නැහැ.
ඉදිරි මැතිවරණයන් දිනන්න නම් පක්ෂය තුළ මේ වෙනස ඇති කරන්නේ කෙසේද?
පරාජයන්ට හේතු වූ කාරණා පිළිබඳ යම් අධ්‍යයනයක් කළ යුතුයි. ඒ සමඟයි ප්‍රතිසංස්කරණවලට යා යුත්තේ. අපේ මතවාදයන් පිළිබඳ ගැටලුවක් පවතීද? සමාජයේ නව වෙනස්වීම්වලට අපේ පක්ෂය හැඩ ගැසී තිබේද? යන්න සැලකිය යුතුයි. 2022 ජනතා නැඟිටීමක් ආවා. ඒ නැඟිටීම සමඟයි ජනතා විමුක්ති පෙරමුණට බලය ගත හැකි පරිදි පසුබිම සැකසුණේ. එදා සමගි ජන බලවේගය මේ නැඟිටීම තේරුම් ගත්තද නැද්ද යන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා නිසි දේශපාලන අධ්‍යයනයකින් අනතුරුවයි පක්ෂයේ ප්‍රතිසංවිධානයක් සිදු විය යුත්තේ.
ඉදිරි මැතිවරණ ජයග්‍රහණ කිරීම පක්ෂයට අභියෝගයක් වෙයිද?
ජයග්‍රහණය අභියෝගයක් වෙන්නේ නැහැ. ජාජබට දිනන්න අමාරු වුණේ නැහැනේ. ඕනෑම පොරොන්දුවක් දී දිනන්න පහසුයි. අභියෝගය තමයි ආණ්ඩුව කරන්නේ කොහොමද කියන එක. බලය ගන්න අමාරු නැහැ. ජාජබ වේදිකාවේ නොයෙකුත් දේ කිවුවා. අයි එම් එෆ් කොන්දේසි, බදු, තෙල් මිල, විදුලි බිල ගැන නොයෙකුත් දේ කිවුවා. දැන් කරපු කතාවලට ප්‍රතිවිරුද්ධ දිසාවටයි ගමන් කරන්නේ. ජනතාවට දුන් පොරොන්දු මත නෙමෙයි ගමන් කරන්නේ. පොරොන්දු දීලා බලය ගන්න පුළුවන්. ගැටලුව ආණ්ඩුව පවත්වා ගෙන යෑමයි. ඔවුන්ට ඇති ලොකුම ගැටලුව එයයි. මුලින් අයිඑම්එෆ් පිළිගන්නේ නැහැ කිවුවා. පස්සේ කිවුවා එය පිළිගන්නවා කියලා. ගිවිසුම් වෙනස් කරනවා කිවුවා. දැන් ඒ මුකුත් වෙලා නෑ. ආර්ථික සහන දෙනවා කිවුවා. අද කිසිවක් වෙලා නැහැ. දැන් තේරෙනවා ඇති කියපුවා කරන්න බැහැ කියලා. කරන්න පුළුවන් නම් මෙතෙක් කල් නොකර ඉන්නේ නැහැනේ.
ඔබ පවසන්නේ සජබය දුන්නේ කළ හැකි පොරොන්දු බවද?
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කළ නොහැකි දේ කිවුවේ නැහැ. කළ හැකි දේ පමණයි කිවුවේ. රටේ ආර්ථික ගැටලුවත් සමඟ පොරොන්දු රාශියක් දී රට කළ නොහැකි බව අප දැනගත්තා. ඒ නිසා අපි ලොකු පොරොන්දු දුන්නේ නැහැ. එහෙත් ජාජබ ජනතා සහන ගැන පොරොන්දු රාශියක් දුන්නා. ඒත් දැන් ඔවුන්ටම තේරී තියෙනවා, මහ භාණ්ඩාගාරයේ සියල්ල කරන්න මුදල් නැති බව. ඒ නිසා යම් හිර වීමක් වෙලා තියෙනවා.
ඔබ පවසන්නේ ඒ තත්ත්වය ඉදිරි මැතිවරණවලදි විපක්ෂයට වාසිදායක වෙයි කියලද?
ඔවුන්ගේ වැඩ පිළිවෙළේ දීර්ඝ කාලීන හා කෙටිකාලීන සැලසුම් තියෙනවා. දීර්ඝකාලීන සැලසුම් කරන්න කල් තියෙනවා. ඒත් කෙටි කාලීන ඒවාට පිළිතුරු දී නැහැ. ඔවුන් දිගටම මේ විදිහට ගියොත් ජනතා විශ්වාසය කඩ විය හැකියි. ඒ ජනවරමට අනුව වැඩ කරන්න අපොහොසත් වුණොත් ජනතාව වෙනත් විකල්පවලට යා හැකියි.
ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී පක්ෂයේ හවුල්කාර පක්ෂ වෙනමම තරග කිරීමේ සූදානමක් පවතිනවාද?
2023දී නාමයෝජනා එකට හා වෙන වෙනම දුන්නා. මේ මැතිවරණයේදීත් එහෙම වෙන්න පුළුවන්. එක්කෝ අපත් එක්ක එකතු වී හෝ නැත්නම් වෙනම හෝ තරග කරාවි. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන්න අපට මෙන්ම ඔවුන්ටත් අපේක්ෂකයන් ඉන්නවා. එක් කණ්ඩායමක් ලෙස තරග කරද්දී විශාල පිරිසක් එළියට විසි වෙනවා. ඒ නිසා තරග කරන්න අවස්ථාවක් නැති වුණොත් පක්ෂය තුළ අර්බුද ඇති වෙනවා. මේ නිසා සමහර තැන්වලදි අපි එකතු වීත්, සමහර තැන්වලදි වෙන්වීත් තරග කරනවා.
වත්මන් පාලනාධිකාරිය පිළිබඳ විපක්ෂය විවිධ මත පළ කරනවා. ඔවුන් මැතිවරණ වේදිකාවේ කියූ දේ දැන් ඉටු නොවන බවට මත පළ වෙනවා?
මේ ආණ්ඩුව විශාල ජනවරමක් ලැබිලා බලයට පත් වූ ආණ්ඩුවක්. ඒ ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන ඡන්දය දුන්නේ. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් තියෙනවා ඒ ජනවරමට අනුව වැඩ කරන්න. ඒ වගේම ආණ්ඩුව බලයට ඇවිත් ගත වුණේ තවමත් මාස තුනක කාලයක් පමණයි. ඒ නිසා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති කරුණු මෙන්ම පොරොන්දු ඉටු කිරීමට යම් කාලයක් අවශ්‍යයයි. පැය 24න් කිසිවක් කරන්න බැහැ කීම සාධාරණයි. ඒ වගේම ඔවුන්ට ක්ෂණිකව කළ හැකි දේ තියෙනවා. අනිත් පැත්තට සමහර දේ මෙතරම් ලොකු බලයක් තියාගෙන නොකර සිටීමත් ගැටලුවක්. මම දෙපැත්තක් දකිනවා. එනම් දීර්ඝකාලීනව කළ හැකි දේ හා කෙටිකාලීනව කළ හැකි දේ. කෙටිකාලීනව කරන යම් යම් දේත් මේ වන විට ඔවුන් අතපසු කර තියෙනවා.
ඔබ පවසන්නේ කෙටිකාලීනව කළ යුතු දේත් ආණ්ඩුව ඉටු කර නැති බවද?
ඔව්. උදාහරණයකට හාල් ප්‍රශ්නය ගන්න. ආණ්ඩුව හාල් කිලෝ එකකට රුපියල් 65ක බද්දක් ගසන එක සාධාරණ නැහැ. මේ බද්ද අඩු කළ හැකියි. ජනතාවට සහනයක් දිය යුතුයි. බඩු මිල වැඩියි, ජනතාවට සහන දිය යුතුයි කියලා ආණ්ඩුවම පිළිගන්නවා. විශාල සහන පැකේජ ගැන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවැසුවා. ඒ ගමන්ම ක්ෂණිකව හාල් කිලෝග්‍රෑමයට ගසන මේ බද්ද අඩු කරන්න පුළුවන්. මේ විදිහට අඩු කළා නම් ජනතාවට යම් සහනයක් සලසා දිය හැකියි. මේ සහල් ආනයනය මාර්තු මුල දක්වා යන දෙයක්. එතෙක් හාල් ආනයනය කරන්න වෙයි. ඒ නිසා බදු අය කිරීම සාධාරණ නෑ.
ජනතාව ඉල්ලුවේ වෙනසක්. දැන් ඒ වෙනස ඇති වී ඇතැයි ඔබ සිතනවාද?
ආණ්ඩුව ඡන්ද කාලයේදි කිවුවා අත්‍යවශ්‍ය භාණ්ඩවල වැට් බදු අඩු කරන බව. පැය 24කින් ඉවත් කරන බව වේදිකාවල කිවුවා. අත්‍යවශ්‍ය දේවල බදු ඉවත් කර ජනතාවට සහනයක් දිය යුතුයි. මේ තීන්දු ගැනීමත් ඉතා ප්‍රමාදයි. ඒ නිසා අප අහන්නේ කෙටිකාලීනව කළ හැකි දේ නොකර ඉන්නේ ඇයි කියලයි.
එහෙත් විපක්ෂය චෝදනා කරනවා ජාජබ මන්ත්‍රීවරුන් අත්දැකීම් අඩු පිරිසක් බවට?
අපට පේනවා කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඉන්නේ පළමුවරට පාර්ලිමේන්තුවට ආ උදවිය. ඒ අය කැබිනට් ඇමැතිවරුන් ලෙස පත් වූ පසු යම් කාලයක් මේ ගැන ඉගෙන ගන්න යයි. රැකියාවකට ගියත් මුලින්ම අහන්නේ අත්දැකීම්. ඒ නිසා අත්දැකීම් අත්‍යවශ්‍ය දෙයක්. ජාජබේ සමහරු කයිවාරු ගහනවා, අත්දැකීම් ඕන නැහැ කියලා. අද සමහර අමාත්‍යාංශවල වැඩ කෙරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති නිසා. මේ අයට මේ සිස්ටම් එක ගැන ඉගෙනගන්න කාලයක් යයි. ඒ නිසා සමහර අමාත්‍යාංශවල බලාපොරොත්තු වූ තරමට වැඩ කෙරෙන්නේ නැහැ.
සුභාෂිණි ජයරත්න