අක්මා බද්ධය, වකුගඩු බද්ධය මෙන්ම ඇටමිදුලු බද්ධය ගැනද අපි අසා ඇත්තෙමු. ඒ සඳහා උදාහරණද ඕනෑ තරම්ය. ඇටමිදුලු බද්ධය ගැන දැන් දැන් ශ්‍රී ලංකාවෙන්ද අසන්නට ලැබේ. ඇටමිදුලු බද්ධය කියන්නෙ මොකක්ද? ඒ සැත්කම කරන්නෙ කොහොමද? සිතට නැඟෙන ගැටලු රාශියකි. ‘දැන් ඉන්දියාවෙ ගෙනියන්න ඕනැ නෑ, ළමා රෝහලෙත් ඇටමිදුලු බද්ධය කරනවා.’ මේ, පසුගිය දා අප වෙත ලැබුණු සුබ පණිවිඩයකි. අපි වහ වහා එහි සත්‍යතාව සොයා බැලීමු.
කතාව සත්‍යයකි. ඇය වයස අවුරුදු 13ක දියණියකි. හිටිහැටියේ ඇති වුණු උණ ගතිය දින ගණනක් පැවතීම මෙන්ම ඇඟට පණ නැති ගතිය හේතුවෙන් කළ රුධිර පරීක්ෂාවකදී ඇයගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අසීමිත අයුරින් පහළ බැස ඇති බව දැනගන්න ලැබී ඇත. වහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවද තත්ත්වයේ වෙනසක් නොවීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇය වහා බොරැල්ල ළමා රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
එලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙනා සඳමිණී රුවන්දිකා දියණියගේ ජීවිතය බේරාගත් අයුරු අප හා පැවසුවේ ඇයගේ පියා වන රංජිත් ප්‍රේමලාල් මහතාය:
“ඇත්තටම දුවට ලොකු අමාරුවක් තිබුණෙ නැහැ. ඇඟට පණ නැති ගතිය තිබුණා. දවස් 4ක් විතර උණ තිබුණ නිසා අපි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලේ පරීක්ෂාවක් කළා. ප්ලේට්ලට් ගොඩක්ම අඩු වෙලා තිබුණා. ඩෙංගුවලටවත් මේ තරම් අඩු වෙන්න හේතුවක් නෑ කියල තීරණය කළ ඔවුන් පුළුවන් තරම් ඉක්මනින් ICU එකක් තියෙන රෝහලකට ඇතුළත් කරන්න කියලා කිවුවා. අපි ඉක්මනින්ම කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළත්, ඔවුන්ටත් තත්ත්වය පැහැදිලිව හඳුනාගන්න බැරි වුණ නිසා ළමා රෝහලට මාරු කළා. ළමා රෝහලේදී කළ පරීක්ෂණවලින් තමයි හොයාගත්තේ දුවට ‘ඒප්ලාස්ටික් ඇනීමියා’ (Aplastic Anaemia) කියන රෝගි තත්ත්වය තියෙනවා කියලා. ඒකට එකම විසඳුම වුණේ ඇටමිදුළු බද්ධය විතරයි.
මුලදි අපිත් බය වුණා. ඒත් දරුව බේරගන්න නම් ඒ දේ කරන්නම වෙනවා කියන එක අපට තේරුණා. ඒ වගේම ළමා රෝහලේම දැන් ඒ සැත්කම කරනවා කියලත් දැනගන්න ලැබුණා. ඒක ගැන තවම ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ. ඉන්දියාවට ගෙනියන්න විශාල මුදලක් ඕන කියන එක අමුතුවෙන් කියන්න ඕනැ නෑ නේ. ලංකාවේ කරන්න පහසුකම් නැති සමහර පරීක්ෂණ සඳහා විතරක් රුධිර සාම්පල ඉන්දියාවට යැවුවා. මේ සැත්කමේ වැඩිම පිරිවැයක් දරන්නේ ළමා රෝහල. රෝගියාගේ සහ ඇටමිදුලු (රුධිර සෛල) දෙන කෙනාගේ රුධිරයේ ගැළපීම පරීක්ෂා කරන්න ඕනෑ. ඒකට කරන පරීක්ෂණය ලංකාවේ ලේ බැංකුවේ කළත් ඒ දවස්වල මැෂින් එක කැඩිල තිබුණ නිසා දුවගේ වගේම මගේ අනෙක් දරුවන් දෙදෙනාගෙම සාම්පල් ඉන්දියාවට යවන්න වුණා. ගොඩක්ම ගැළපීමක් තිබුණේ පුතාගේ. ඒ අතරේ දුවට ඇති වුණු සංකුලතා මඟහැරිලා, සැත්කමට සුදුසු තත්ත්වයට පත් වෙන්නත් මාස 6-7ක් ගියා. දුව විෂබීජවලින් ආරක්ෂා කරන එක තමයි ලොකුම අභියෝගය වුණේ.
ඇත්තටම ඒ වගේ තත්ත්වයක් හඳුනාගත්තට පස්සේ ඒ රෝගියා අනෙක් රෝගීන්ගෙන් වෙන් කරල තියන්න වෙනම තැනක් නැති එක ලොකු අඩුපාඩුවක්; ඒ වගේම අවදානමක්. එතනදී ගොඩක් දුරට රෝගයෙන් වන හානියට වඩා විෂබීජවලින් වන හානිය වැඩි බව අපට තේරුණා. විශේෂඥ වෛද්‍ය ශානිකා විතාරණ මැඩම් වගේම කාර්ය මණ්ඩලයත් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනැ. එතුමිය මගේ දුවගේ ජීවිතය බේරාගන්න ලොකු වෙහෙසක් ගත්තා.
රුධිර සෛල දුන් පුතා දුවට වඩා බාලයි. එතනදි වෛද්‍යතුමිය තීරණය කළා තියටර් එකට අරන් මැෂින් එකක් හරහා පුතාගේ ඇටමිදුලුවලින්ම සෛල අරන් දුවට දෙන්න. ඇයගේ දක්ෂතාව සහ අත්දැකීම් බහුලත්වය නිසා අවදානමකින් තොරව සැත්කම සාර්ථකව නිම වුණා.”
මේ වන විට සැත්කම සිදු කර මාස 6ක් ගත වී ඇත. දියණියගේ ප්‍රතිශක්තීකරණය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට වසර දෙකක් පමණ ගත වන බව වෛද්‍ය මතය බව පැවසූ රංජිත් මහතා ඉන් පසුව ඇයට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙන බවද පැවසුවේය.
සඳමිණී දියණියගේ ඇටමිදුලු බද්ධය ලංකාවේදී සාර්ථකව සිදු වීම අතිශයින්ම සතුටට කරුණකි. එහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ විශේෂඥ වෛද්‍ය ශානිකා විතාරණටය. බොහෝ දෙනා තවමත් නොදන්නා ළමා රෝහලේ සාර්ථකව සිදු වන ඇටමිදුළු බද්ධය ගැන අපි විශේෂඥ වෛද්‍ය ශානිකා විතාරණගෙන් විමසුවෙමු.
“මුලින්ම කියන්න ඕනැ කාරණය තමයි ඇටමිදුලු බද්ධය කියන්නෙ සැත්කමක් නෙවෙයි කියන එක. ගොඩක් අය හිතනව මේක සැත්කමක් කියලා. පරිත්‍යාග කරන්නාගෙන් අවශ්‍ය ස්‍රාවය එහෙම නැත්නම් රුධිර සෛල ලබාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දායකයා සිහි නැති කරලා ඇටමිදුලුවලින්ම ඒ ස්‍රාවය (සෛල) එකතු කරගන්නවා. එහෙම නැත්නම් රුධිරය ගන්න ලයින් එකක් වගේ දාලා මැෂින් එකෙන් ගන්නවා. ස්‍රාවය නොට් පැක් එකකට දාලා රෝගියාට දෙන්නේ රුධිරය දෙන ක්‍රමයට. එහෙම නැතුව සැත්කමක් විදිහට නෙවෙයි. රෝගියාට සිහිය නැති කිරීමක් කරන්නේ නැහැ.
විශේෂම කාරණය තමයි මේ ඇටමිදුලු බද්ධයට කලින් රෝගියාට කරන්න පරීක්ෂණ කිහිපයක් තියෙනවා. රෝගියාගේ සහ දායකයාගේ HLA (Human Leukocyte Antigen) කියන සාධකය 100%ක් ගැළපෙනවා නම් විතරයි දැනට අපේ ළමා රෝහලේ කරන්නේ. අපට තාම පහසුකම් තියෙන්නේ ඒ තත්ත්වයෙන් කරන්න විතරයි.
ඇටමිදුලු බද්ධයක් සිදු කිරීමට පෙර රෝගියකු සූදානම් කළ යුතු ආකාරය ගැනද වෛද්‍යවරිය පැහැදිලි කළාය:
“ඇටමිදුලු බද්ධය කරන්න කලින් ඉඳන්ම රෝගියා රෝහල්ගත කළ යුතුයි. අලුත් සෛල දීමට කලින් කීමෝ තෙරපි මඟින් රෝගියාගේ ඇඟේ රුධිර සෛල බින්දුව බවට පත් කිරීමෙන් පස්සේ තමයි දායකයාගෙන් ගන්නා අලුත් රුධිර සෛල රෝගියාට දෙන්නේ. රෝගියාගේ රුධිර සෛල බින්දුවක් වෙනවා කියන්නේ ප්‍රතිශක්තීකරණයත් බින්දුවයි. ඒ කාලෙට විෂබීජ එන්නේ තමන්ගේම ඇඟෙන් වෙන්න පුළුවන්. පිටින් එන විෂබීජ වළක්වන්න ළමා රෝහලේ කාමර දෙකකින් යුතු ඇටමිදුළු බද්ධ කිරීමේ විශේෂ ඒකකයක් තියෙනවා. ඒක හදල තියෙන්නෙත් බාහිරින් එන වාතය පවා පෙරිලා එන විදිහට. බබයි අම්මයි විතරයි ඉන්නේ. එළියෙන් කාටවත් එන්න දෙන්නෙ නෑ. වෛද්‍යවරුන් වුණත් පිරිසිදු වීමෙන් පස්සෙ තමයි ඇතුළට එන්නේ. රෝගියාට දෙන අලුත් සෛල වැඩෙන්න සති දෙකක් විතර යනවා. ඒ කාලයේ සියයට සීයක්ම විෂබීජවලින් ආරක්ෂා කළ යුතුයි. නැත්නම් ජීවිත හානි පවා සිදු වෙන්න පුළුවන්. මේ විදිහට තවත් දායකයකුගෙන් රුධිර සෛල අරන් ළමයින් සඳහා ඇටමිදුළු බද්ධය කරන ලංකාවේ එකම රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල විතරයි.”
ඇටමිදුළු බද්ධයෙන් පසුව සෛල වැඩෙන තුරු මාසයක් පමණ රෝහලේම සිටිය යුතු අතර, කිසිදු සංකූලතාවක් නැතිනම් පමණක් නිවෙසට යා හැකිය. එහිදී මුල් මාස තුන රෝහල ආසන්නයේ නවාතැනක සිටිය යුතු වන්නේ අවශ්‍ය ඕනෑම විටෙක රෝහල්ගත විය හැකි පරිදිය. මාස හයකින් පසු ළඟම රෝහලක ළමා රෝග පිළිබඳ විශේෂඥයකු හමුවීම ප්‍රමාණවත් බවත්, රෝගියා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ තත්ත්වයට පත් වීමට වසර දෙකක් පමණ ගත වන බවත් වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.