– යුරෝපයට ඉලෙක්ට්‍රික් බයික් අපනයනයට දකුණු ආසියාවේ අනෙකුත් රටවලට හැකියාව නැත
– ලංකාවේ නිපදවූ ඉලෙක්ට්‍රික් පාපැදි යුරෝපයට අපනයනය කළේ ඇගේ මඟපෙන්වීමෙනි
එංගලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වූ මාග්‍රට් තැචර්ට කිවුවේ Iron Lady කියාය. සමහරු එය සිංහලයට වර නැඟුවේ ‘යකඩ ගැහැනිය’ ලෙසය. සික් බළකොටුව සමඟ සටන් වැදුණු ඉන්දියාවේ බීජේපී ත්‍රස්තවාදය සමඟ යුද වැදුණ ඉන්දිරා ගාන්ධිටත්, ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත් පසුකාලීනව මෙම ‘යකඩ ගැහැනිය’ යන නම ආරෝපණය කරන ලදී.
අපට පසුගියදාක යකඩ සමඟ හැප්පෙන එවැනි යුවතියක් හමුවූයේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් නිෂ්පාදනාගාරයකදී. කර්කෂ යකඩ සියුමැලි ලෙස නම්මවා ලංකාවේදීම ඉලෙක්ට්‍රික් බයිසිකල් නිපදවන්නේ ඇගේ අධීක්ෂණය යටතේය . ඇය නමින් කේ.ඩී. රේශිකා උදේශානි පෙරේරාය.
“මගේ උපන් ගම කඩුවෙල. අම්මා ගුරුවරියක්. තාත්තා නම් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධයි. පවුලේ මට බාල මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මම පාසල් ගියේ දේවි බාලිකා විදුහලට තමයි.”
පාසල් ගමන හමාර කිරීමෙන් පසු රේශිකා එක්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයටය. ඇය එහිදී ඉංග්‍රීසියෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ගෞරව විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව සමත් විය. ඉන්පසු ඇය පශ්චාත් උපාධිය සමත් වන්නේ සංචාරක ආර්ථික විද්‍යාව විෂයෙනි. මේ අතර ඇය සංචාරක මණ්ඩලයේ SITHM ආයතනයේ චීන භාෂාව පිළිබඳ ජාතික සංචාරක මාර්ගෝපදේශ පළමු පාඨමාලාවට එක්වන ඇය එහි පැවැත් වූ අවසාන පර්යේෂණයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්වූවාය.
රේශිකාට භාෂා ගැන ඇත්තේ හසළ දැනුමකි. චීන, හින්දි, ඉංග්‍රීසි, දෙමළ, ස්පාඤ්ඤ, ප්‍රංශ, සිංහල භාෂාව ගැනත් ඇය ප්‍රවීණත්වයක් උසුලයි.
“මම කොතලාවල ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේදී ධර්මාචාර්ය විභාගය සමත් වුණා. මට ‘පාලි’ භාෂාව ගැන විශිෂ්ට සාමාර්ථයක් තියෙනවා.”
අප අසා ඇත්තේ ෂඩ් භාෂා පරමේෂ්වර හිමිවරුන් ගැනය. ‘ෂඩ්’ කියන්නේ හයටය. ඒ හිමිවරු ඒ කියන්නේ දැන සිට ඇත්තේ භාෂා 6කි. ඒත් රේශිකා හසුරුවන්නට දන්න භාෂා ගණන 8කි. දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පාසලේ විවාද කණ්ඩායමේ නායිකාව වූ ඇය පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකාවක ද වූවාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු ඇය එහිම කථිකාචාර්යවරියක් ලෙස වැඩ භාර ගත්තේ චීන භාෂාව සහ සංචාරක ව්‍යාපාර විෂය මාලාවන් සඳහා දේශන පැවැත්වීමටය. රේශිකා ග්‍රන්ථ කතුවරියක් බවට පත් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේදීය.
කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රකාශයට පත් කළ ‘ප්‍රජාමූල සංචාරක ව්‍යාපාරයේ මූලධර්ම’ පිළිබඳ අත්පොත ඇගේ මුල්ම කෘතියයි. ඉන්පසු ඇය චීන බසින් ග්‍රන්ථයක් රචනා කරන ලද්දේ ‘My Chines Book’ යනුවෙනි. එය සැලකෙන්නේ චීන භාෂාව ඉගැන්වීමේ අත්පොතක් ලෙසය. එය ප්‍රකාශයට පත්කරන ලද්දේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසිනි.
2019 දී රේශිකා චීනය කරා ගුවන්ගත විය. චීනයෙන් ලංකාවට වාහන අමතර කොටස් අපනයනය කරන චීන සමාගමක විධායක අධ්‍යක්ෂවරිය වූ රේෂිකා චීනයේ නිපද වු එම වාහන අමතර කොටස් ජාලය මුළුමනින්ම මෙහෙයවන ලද්දේ චීනයේ සිටය. මේ අතර ඈ ඇෙමරිකාවේ මෙඩිකල් ටුවරිසම් ආයතනයක රාජකාරි භාර ගන්නේ ඔන්ලයින් ක්‍රමයටය.
මාස 8කට පසු චීන සමූහාණ්ඩුව විදේශිකයකුට ලෙහෙසියෙන් ලබා නොදෙන ‘Chines Work VISA’ රේශිකාට ලබා දුන්නේය.
“චීනේ ඉන්න ජනගහනයට චීනයේ තියෙන රස්සාවලුත් මදි. ලංකාවේ කෙනෙක්ට එහෙම තියෙනකොට Work VISA එකක් ගන්න පුළුවන් කලාතුරකින් තමයි.”
රේශිකා මේ අතර 2023 දී චීනයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය නිෂ්පාදන සමාගමකට සම්බන්ධ වන්නේ ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානියා ලෙසයි. මෙම ව්‍යාපෘතිය ඉලක්ක කොට තිබුණේ අමෙරිකාව, එංගලන්තය, ස්වීඩනය, ජර්මනිය වැනි රටවල සහ ලංකාව, ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල රෝගීන් චීනයට ගෙන්වා මුදල් අයකොට ප්‍රතිකාර කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියකි.
“මම ඒ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කළා. මම කැමති වුණේ නෑ ලංකාවේ සල්ලි චීනයට අදිනවට. මට ඕන වුණේ ලංකාවට ඩොලර් ගේන විදිහක්.”
චීනයේ තම Work VISA අවලංගු කොට ලංකාවට පැමිණීමට රේශිකා තීරණය කරන්නේ මේ අතරතුරය.
“මම කොළඹ විශ්වවිද්‍යාලයේ චීන භාෂාව උගන්වන කාලේ චීන ශිෂ්‍යයන්ට චීන භාෂාවෙන් ඉංග්‍රීසි ඉගැන්වුවා. මං ලංකාවට ආවම දැක්කා මේ වන විට සේවය කරන KD RISE Electrical Motors ආයතනයේ වේකන්සි එකක්. ඒකේ ඉල්ලල තිබ්බ හැම සුදුසුකමක්ම මට තිබ්බා. චීන භාෂාව ඇතුළු භාෂා දැනුම සහ ඉල්ලල තිබ්බ රටවල් එක්ක මගේ ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රායෝගිකව තිබ්බ නිසා මම තනතුරට ඔන්ලයින් ඉල්ලුම් කළා.”
රේශිකාගේ ජීව දත්ත වාර්තාවට විනාඩි ගණනදී ප්‍රතිචාර ලැබී ඇය වහාම එම ආයතනයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණියාය. ඉන්පසු රේශිකා යොමු කෙරෙන්නේ නවගමුවේ පිහිටි එම ආයතනයේ කර්මාන්ත ශාලාවටය. කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඇත්තේ එම ආයතනය ලංකාවේ ප්‍රථම හා එකම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් නිෂ්පාදන ආයතනය බවය. ලංකා ඉතිහාසයේ මුල්වරට චැසි අංක කොටන නැති නම් නිරේකනය කරන යන්ත්‍රයක් ඇෙමරිකාවෙන් ආනයනය කොට ලංකාවේ චැසි අංකයක් මුලින්ම කොටා ඇත්තේ ද මෙම ආයතනයේය.
ඉලෙක්ට්‍රික් බයිසිකල් නිෂ්පාදනාගාරයක් සම්බන්ධයෙන් තරුණියක් ලංකාවේ කාර්මික අධ්‍යාපනයක් ලැබුවේ කෙසේදැයි අපට ඇති වූයේ ප්‍රශ්නයකි. ඊටත් වඩා මේ තරම් සේවක පිරිසක් පාලනය කරන්නට ඇය මෙම ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් නිෂ්පාදනයේ යාන්ත්‍රික පසුබිම අනිවාර්යයෙන් දත යුතුය. අද වන විට ඇය six sigma black Belt පාඨමාලාවේ අවසන් අදියර හදාරමින් සිටී.
“මට මේක අලුතින් ඉගෙන ගන්න දෙයක් තිබ්බේ නැහැ. මට වාහන Spare Part බිස්නස් එකේ අත්දැකීම් තිබුණ නිසා ඒවා අඳුනගන්න එක අලුත් අත්දැකීමක් වුණේ නැහැ. මට ඕන වුණේ රටට ඩොලර් ගේන බිස්නස් එකක් හදන්න. දැනටමත් මේ ඉලෙක්ට්‍රික් බයික් ඉතාලියට – මාලදිවයිනට – ඩුබායිවලට අපනයනය කරනවා.”
රේශිකා කියන්නේ තමන් අධ්‍යාපනය ලැබුවේ නිදහස් අධ්‍යාපනයෙන් බවය. ඇය පවසන්නේ ඇය දේවි බාලිකා විදුහලට අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී බවය. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට ඇයට පිහිට වූයේ මහපොළ ශිෂ්‍යාධාරය බවයි ඇය පවසන්නේ. විදේශයන්හි ඕනෑතරම් ඇයට රැකියා සඳහා ආරාධනා තිබුණද ඇය කැමති ලංකාවේ කර්මාන්තයක් දියුණු කොට ලංකාවට ඩොලර් ගෙන එන ව්‍යාපෘතියකට බවයි. ලංකාවට විදේශයන්ගෙන් ඉලෙක්ට්‍රික් බයිසිකල් ලෝකයේ ඉතාම බාල ඒවා ගෙන එද්දී රේශිකා මෙහෙයවන මෙම ආයතනයේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ලංකාවේ වෙළෙඳපළේ ජයග්‍රාහී නිෂ්පාදනයක් බවට පත් කරන්නට ඇය සමත්ව සිටී.
“මම මේ කර්මාන්තශාලාවට 2024 ජනවාරි මාසයේදී ISO 09001, මාර්තු මාසයේදී CE,ජූලි මාසයේදී ISO 14001 හා ISO 45 සහතිකය අරගත්තා. CE සහතිකය ඒ කියන්නේ යුරෝපියන් සර්ටිපිකේට් එකගත්තා. මේ නිෂ්පාදනය දැන් ලෝකේ ඇෙමරිකාව, ප්‍රංශය, ස්වීඩනය, ජර්මනිය වගේ රටවලට වුණත් එක්ස්පෝට් කරන්න පුළුවන්.”
රේශිකාගේ අධීක්ෂණය යටතේ මෙම කර්මාන්ත ශාලාවේ වැඩකරන සේවකයින් ගණන 120කට අධිකය. සේවා මධ්‍යස්ථාන 24ක් සහ බයිසිකල් අලෙවි ප්‍රදර්ශනාගාර 300ක් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇගේ අප්‍රතිහත ධෛර්යයෙන් මෙහෙයවනු ලබයි.
රේශිකාගේ අධීක්ෂණය යටතේ මේ ඉලෙක්ට්‍රික් බයිසිකල්වල ප්‍රධාන ගැනුම්කාරියන් වන්නේ තරුණියන් හා ගෘහිණියන්ය. ඇය පවසන්නේ පෙට්‍රල් ස්කූටි මෙන් මෙම ඉලෙක්ට්‍රික් බයිසිකල්වල එන්ජින් රෙපයාර් නැති බවය.
“මේ ඉලෙක්ට්‍රික් බයිසිකලය එක සැරයක් චාජ් කළාම කිලෝමීටර් 80 සිට 200කට වැඩිය යන්න පුළුවන්. කිලෝමීටරයට වියදම රු. 3/=ටත් අඩුයි. පෙට්‍රල් බයිසිකලයකට අවුරුද්දකට ගහන පෙට්‍රල්වල සල්ලිවලින් කොටසක් ගෙවල මේ ඉලෙක්ට්‍රික් බයිසිකලයක් ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් නිසා කිසිම දුමක් නැහැ; ශබ්දයක් නැහැ පරිසර හිතකාමීයි. ”
දේශීයව නිපදවන මෙම ඉලෙක්ට්‍රික් බයිසිකලේ තියෙන විශේෂත්වය රිවස් ගියරයක් තිබීමය. කාර්යබහුල ගෘහිණියට ආයාසයකින් තොරව මෙම බයිසිකලය භාවිත කිරීමට එම උපාංගය හඳුන්වා දී ඇත. මෙම රිවස් ගියරයේ අදහස ද රේශිකාගේය.
මෙම ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකලේ ප්‍රධාන අරමුණ කාන්තාවන්ට කාර්යාලයට යන්න, ෆුඩ්සිටියට යන්න, පොළට යන්න නැත්නම් දියණියක උපකාරක පන්තිවලට ඇරලවීමටය. පෙට්‍රල් එන්ජිමක කොටස් 1800ක් පමණ ඇතත් මෙම බයිසිකලයක ඇත්තේ කොටස් තුනකි. ඒ විදුලි මෝටරය, බැටරිය හා චාජරය පමණි. ගෙදරක ෆෝන් එකක් චාජ් කරන ප්ලග් එකකින් ගෘහිණියට මෙම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලය චාජ් කළ හැකිය.
රේශිකාගේ ජාත්‍යන්තර සබඳතා හේතුවෙන් පසුගිය සතියේ ඇය තම ආයතනයේ විදත් පාපැදි යුරෝපයට අපනයනය කරන්නට සුබ මොහොතින් පියවර ගත්තාය.
“දකුණු ආසියාවේ දැවැන්ත රටක් වන ඉන්දියාවටවත් හැකියාවක් නැහැ යුරෝපයට ඉලෙක්ට්‍රික් බයික් අපනයනය කරන්න. ඒකට CE සහතිකය තියෙන්න ඕන. මුළු දකුණු ආසියාවේම CE සහතිකය හා ISO තත්ත්ව සහතික සියල්ල තියෙන්නේ අපේ ආයතනයට විතරයි. ඉලෙක්ට්‍රික් බයික්වලට අපට ඉන්දියාවෙන් පවා ඇණවුම් ලැබිල තියෙනවා. ”
රේශිකාගේ විශේෂත්වය වන්නේ ඇය මුළුමනින්ම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් නිපදවීමට මෙන්ම එය නැවත ගලවා සවි කිරීමට තරම් කාර්මික දැනුමක් ඇත්තියක වීමය. ඇය පවසන්නේ මුළු ලෝකයම දැන් ගමන් කරන්නේ EV (Electric Vehicle) යුගයකට බවය. අප ඇගේ කර්මාන්තශාලාවට ගියේ චීනයෙන් ගෙනෙන කොටස් එකලස් කරනවා දැක බලා ගැනීමටය. එහෙත් කර්මාන්තශාලාවේ සියයට 50කට අධික කොටස් ලංකාවේම නිපදවනවා සියැසින් දුටු අප රේශිකාට සමුදුන්නේ මෙවන් ව්‍යාපාරයක් මෙහෙයවන යකඩ ගැහැනියකට සමුදෙන අයුරිනි.
ලංකාවේ වාහන එකලස් කිරීමට ආරම්භ කළ ව්‍යාපාරිකයා වූයේ උපාලි විජේවර්ධනය. ඒ උපාලි මැස්ඩා හා උපාලි ෆියට්ස් ය. එහෙත් උපාලි විජේවර්ධනගේ උපාලි මෝටර් කොම්පැනියටවත් යුරෝපීය වෙළෙඳපළට පිවිසීමට නොහැකි විය. තමාගේ අධීක්ෂණය යටතේ ඇති නිෂ්පාදන යුරෝපයට අපනයනයට හැකි වූ රේශිකා වැනි චරිත ඉතිහාසගත වන්නේ ඒ නිසාය.