සමාජ විද්‍යාඥයන් කවර අන්දමේ විග්‍රහ ඉදිරිපත් කළත් ශ්‍රී ලංකාවේ මිනිසුන් එකම හුයකින් බැඳුණු සංස්කෘතික මිනිසුන්ය. වෙසක්, පොසොන්, නත්තල්, ජනේරු, සිංහල හින්දු අලුත් අවුරුදු, ඔවුන් සියල්ලන්ටම පොදුය. අපේ දරුවෝ මේ සියල්ල එක්ව සමරති. එක්ව අත්විඳිති. එවන් භාග්‍යයක් රටකට උරුම කරගත හැකි නම් එය අසිරිමත් දේශයකි. වසරාන්තයේ මේ දිනවල බැලු බැලූ තන්හි පාර පුරා, නගර පුරා, ගම් දනව් පුරා අප දකින්නේ නත්තල් අසිරියයි.
නත්තලට සැරසිලි කළා, නත්තල් ගස් හැදුවා, ගවලෙන් හැදුවා, විදුලි පහනින් ආලෝක කළා කියා මේ රටේ කිසිවකු උදහස් වන්නේ නැත. අනෙක් පැත්තෙන්
වෙසක් පොහොය නිමිත්තෙන් සැරසිලි කරන්නට, වෙසක් කූඩු හදන්නට කවර ආගමික මත දැරුවත් දරුවන් එකට එකතු වන එකම රට ලංකාවය. දළදා පෙරහර බලන්නට දරුවන් කැටුව යාමේදී මවුපිය වැඩිහිටියන්ට ආගම් භේදයක් නැත. දළදා පෙරහර අපේය. නත්තල ද, වෙසක් උත්සවය ද, දීපවාලිය ද අපේය. නෝම්බි අවුරුද්දේ මුස්ලිම් පල්ලියකින් ලැබෙන කැඳ කෝප්පයක රස නොබැලූ පුරවැසියකු ශ්‍රී ලංකාවේ වෙතොත් ඒ අතිශය කලාතුරකිනි.
සෑම ආගමක මෙන්ම සෑම ජාතියකම මේ සංස්කෘතික බැඳියාව ඉවසිය නොහැකි අන්තවාදීහු අතළොස්සක් සිටිති. ඔවුහු සියවසකට වැඩි කාලයක් තිස්සේ මේ සමගිය බිඳීමට වෑයම් කළහ. පසුගිය කාලයේ එම වෑයමෙහි පෙරමුණ ගත්තේ මෙරට පාලන බලයේ සිටි දේශපාලකයෝය. ජාතිවාදී, අන්තවාදී දේශපාලකයන් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී දේශපාලනයෙන් අතුගෑවී ගිය අන්දම පසුගිය ජනාධිපතිවරණයේදීත් පසුව එළැඹි මහ මැතිවරණයේදීත් අපි අත්වින්දෙමු. ජනතාව එම ප්‍රාතිහාර්ය සිදු කළේ සර්වජන ඡන්ද බලයේ මහිමයෙනි.
ශ්‍රී ලංකාව විප්ලවීය දේශපාලන බල පෙරළියක විලිරුජාවෙන් පෙළෙන බව ප්‍රථමයෙන් හඳුනා ගත්තේ හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහු 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මඟහැර යාමට අනීතික ප්‍රයත්න දැරුවේය. රට මූල්‍ය අර්බුදයක ගිලී තිබූ වකවානුවක එම ප්‍රයත්නයන් නිසා මහජන මුදල් කෝටි 72 ක් නිරපරාදේ වතුරේ ගියේය. එම නාස්තිය පිළිබඳව හිටපු ආණ්ඩුව කිසිදු සහකම්පනයක් දැක්වූයේ නැත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බල තුලනය මුළුමනින්ම කණපිට හැරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට හිමි බලය භාවිතයේ යොදමින් පාර්ලිමේන්තුව විසුරවා හැර මහ මැතිවරණය පැවැත්වීමෙනි. එකම පක්ෂයකින් මන්ත්‍රීවරු 159 පත්කර එවීමෙන් පුරවැසියන් තුළ වූ පීඩනය විද්‍යමාන වේ.
සියල්ල අවසානයේ ආගමික හා ජාතික සංහිඳියාව සහතික කළ රටක් ඉතුරුව තිබීම ලාංකේය ජාතියේ භාග්‍යයකි. සියලු ආකාරයේම වාද භේද දුරලා ජාතියේ දියුණුව පතා එක්සත්ව නැඟී සිටින්නට හැකි දේශපාලන නායකත්වයක් බලයට ගෙනාවේ යෝධ ජන පවුරක් සේ පෙළ ගැසුණු ජනතාව විසිනි. 2024 ඉතිහාසයට එක් වූයේ නිදහස් සාධාරණ මැතිවරණ දෙකක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය උරගා බැලූ විශිෂ්ටතම වර්ෂය ලෙසිනි.
තවත් දෙදිනකින් පසුව එළඹෙන රාත්‍රියක රට පුරා පල්ලිවල නැඟෙන ඝණ්ටා නාදයත් සමඟ අසිරිමත් නත්තල උදාවනු ඇත. පසුගිය පසළොස්වක පොහෝ දින පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයේ සිට සිරිපාහිමයට කරඬුව වැඩම කිරීමත් සමඟ සිරිපා සමය ඇරඹුණි. සමනල කන්ද නඟින, තලවිල පල්ලි යන, මඩු පල්ලි යන, දළදා වඳින, කෝනේශ්වරම් සහ කතරගම දෙව් බැතියෙන් වන්දනාවේ යන එපමණක් නොව තිරුපති දෙවියන් වැඳ ආශීර්වාද ලබා බුද්ධගයාව නමදින ජනතාවක් සිටින එකම රට ලංකාවය.
ප්‍රශ්නය මේ සාමයික එක්සත්කම ශ්‍රී ලංකාවේ ජාතික අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමට පසුගිය වසර 76 තුළ රට පාලනය කළ දේශපාලන නායකයන් අපොහොසත් වීමය. මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ඉන්දියාවට ගොස් තිරුපති දෙවොල වඳින්නේ, සිරුරේ බරට දෙවියන් පුදන තරාදියේ වාඩිවී පඬුරු පූජා කළේ දෙවියන් පිළිබඳ විශ්වාසය නිසාම පමණක් නොවේ. රටේ ජනතාව තුළ පවතින විශ්වාසයන් උපයෝගී කර ගනිමින් පුරවැසියන්ගේ ඡන්ද, පෙට්ටියට දමා ගැනීමටය.
මිනිසුන්ගේ සංස්කෘතික වටිනාකම් ප්‍රයෝජනයට ගෙන ඔවුන් රවටා ගැනීමට දේශපාලකයෝ දනිති. ආගම, ජාතිය පෙරට දමා පපුවට තඩි බා ගත්විට
එවැනි දේශපාලකයන්ට රැවටී ඡන්දය දෙන්නට මේ රටේ මිනිස්සු සංස්කෘතික වශයෙන් අහිංසක වීම ජාතික ඛේදවාචකයකි. ඒ නිසා නැඟුණු ජාතිවාදී රැලි හේතුවෙන් හා ආගම්වාදී රැලි හේතුවෙන් අවස්ථා ගණනාවකදී රටට මහත් විපත් සිදුවී තිබේ. මනුෂ්‍යත්වයේ අසිරිය පාගා දමා තිබෙන්නේ අන්තවාදී දේශපාලකයන් විසිනි.
ජාතියේ ඉදිරි ගමන මෙහෙයවීමට හැකියාවක් නැති නායකයන් අතට සුක්කානම ගිය නිසා අපේ රට බංකොලොත් රටක් බවට පත්විය. වර්තමානයේ එයින් වඩාත් පීඩා විඳින්නේ දරුවන් නොව වැඩිහිටියන්ය. කුටුම්භය තුළ සතුට අත්දකින්නට ඔවුන්ට ඉඩහසර නැත. ඉහළ ගිය ජීවන වියදම විසින් මිරිකා දමා සිටි පුරවැසියෝ දැන් සැනසුම් සුසුම් හෙළති. ලංකාවේ කොටස් වෙෙළඳපොළ ඉතිහාසයේ වැඩිම ඉල්ලුම සහතික කළේ මේ සතියේය. එක පිටේ එක ඉදිරියට පැමිණි ප්‍රශ්න ගණනාවකට වර්තමාන ආණ්ඩුව විසඳුම් ලබාදෙමින් සිටී.
ජාතික සමඟිය හා ආගමික සංහිඳියාව රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර තිබේ. මෙයින් ඉදිරියට කිසිවකුට මේ බිමේ ජාතිවාදය පැළ කරන්නට ඉඩ නොලැබෙනු ඇත. නිදහසින් පසු එළඹෙන 77 වන වසර ජාතියට සෞභාග්‍යය කැඳවන වසර ලෙස ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනු දැකීම පොදු ජන පරමාර්ථය වන්නේය.