මිත්‍රත්වය අබිබවා ගිය සහෝදරත්වයක් වෙනුවෙන් ඔවුන් අත්වැල් බැඳ ගත්තේ ජාතියේ වගකීම ඉටු කරන්නටය. ජාතිය වෙනුවෙන් වගකීම් ඉටු කරන්නන් අතරින් ඔවුන් සිය දෙඅත් එස වූයේ තවත් භාර දූර කර්තව්‍යයක් වෙනුවෙනි. ඒ, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ලොවක් වසඟ කරන්නා වූ සුන්දර ශ්‍රී ලංකාව තවත් සුන්දර කිරීමේ අරමුණිනි.
Spin Riders යනු සහෝදරත්වයේ අත්වැල් බැඳගත් තරුණ සමාජයකි. යතුරු පැදි , මෝටර් රථ, පිළිබඳ ආසාව ඇති සියල්ලන්ගේ එකතුවෙන් ඇරඹි මේ Spin Riders තරුණ සමාජයේ නිර්මාතෘ වන්නේ සජින සිත්මාල් ය. වසර 12කට වැඩි ඉතිහාසයක් ඇති මේ සමාජය තුළ දීප ව්‍යාප්ත සාමාජිකයන් 5000ට වැඩිය.
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා තවත් සමාජ සත්කාරයක් වෙනුවෙන් අත්වැල් බැඳගත් ඔවුහු දීප ව්‍යාප්ත Spin Riders එකට එක් වූයේ ‘පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම‘ වෙනුවෙන් සිය දායකත්වය දැක්වීමටය.
Spin Riders කණ්ඩායම පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අරමුණු කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පසුගිය 26 වැනිදා පිරිසුදු කිරීමේ වැඩසටහනක් පැවැත් වූයේ ලංකාවේ ස්ථාන 15ක් මුල්කර ගනිමිනි. සංචාරක ආකර්ෂණය වැඩි දෙහිවල මුහුදු තීරය, ගාලු කොටුව, යාපනය නගරය, කාත්තන්කුඩි මුහුදු තීරය, හලාවත මුහුදු තීරය, දඹුලු විහාරය , අනුරාධපුර පූජා නගරය මෙන්ම පූගොඩ, ගම්පහ, කෑගල්ල , මිනුවන්ගොඩ, ජාඇල, වේයන්ගොඩ නගර මෙන්ම රත්නපුර හොරණ බස්නැවතුම්පළ ඊට අයත් විය. ප්‍රජාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තරුණයන්ගේ සංවිධානය ශක්තියෙන්, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් දවස පුරා මේ කටයුතු සිදු වූයේ අවසානයේ අති සාර්ථකත්වයක් ඉස්මතු කරමිනි.
වර්තමානයේ තරුණ පරපුර නොයෙක් සමාජ සත්කාර මෙන්ම රටට හිතැති ව්‍යාපෘති ගණනාවක නියැළෙයි. Spin Riders නම් යතුරුපැදිකරුවන්ගේ සමාජය ද එවැනි කටයුතුවලට මුල පුරන්නේ එහි නිර්මාතෘ සඡින සිත්මාල්ගේ සංකල්පයක් යටතේය. ඔවුන් ආරම්භ කළ තවත් එක් ව්‍යාපෘතියක් වන මෙය පසුගිය 26 වැනිදා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි “ලස්සන ශ්‍රී ලංකාවක් “වෙනුවෙන් ක්‍රියාත්මක වූයේ මහජනතාවට අපහසුතාවක් ඇති කරන, ජලය එක්රැස් වන, අවහිර වූ කාණු පද්ධති වැනි ඔවුන් ජීවත්වන නගරයේ අපිරිසුදු ස්ථාන රැසක් පිරිසුදු කිරීම වෙනුවෙනි.
ඒ ඒ පළාත්වල පිරිසුදු කිරීමේ වැඩ සටහන්වලදී ඒ ඒ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ හා කොට්ඨාසය භාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙන්ම අදාළ නගර සභා බලධාරීන්ගේ නායකත්වය යටතේ මෙම වැඩ සටහනට මහජනතාවගෙන් ලැබුණේ ද නොමසුරු සහයෝගයකි. Spin Riders තරුණ සමාජය ආරම්භ කළ මෙම “ලස්සන ශ්‍රී ලංකාව” ව්‍යාපෘතිය සමස්ත ජනතාවගේම ව්‍යාපෘතියක් බවට අවසානයේ පත් වූයේ ඉදිරියටත් මෙවැනි කටයුතු සිදු කරන්නට රටේ ජනතාවගේ නොමඳ ආශීර්වාදය ලබා ගනිමිනි.
සුභාෂිණි ජයරත්න