Home » ස්ක්‍රිප්ට් එක කියවලා මට විඳගන්න බැරි නම් මං ඒක බාර ගන්නෙ නෑ

ස්ක්‍රිප්ට් එක කියවලා මට විඳගන්න බැරි නම් මං ඒක බාර ගන්නෙ නෑ

කළණ ගුණසේකර

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

– මංකි මෑන් කියලා නම දැම්මේ ස්ක්‍රිප්ට් එක ලියල ඉවර වෙලා
– මම විඳින්නෙ නැතුව කොහොමද ප්‍රේක්ෂකයා විඳගන්නේ

තරිඳු දේශප්‍රියගේ මංකි මෑන් සිනමාපටය ගැන තොරතුරු සෙවීමට මේ දිනවල බොහෝ දෙනෙක් වෙහෙසෙති. මංකි මෑන් කියන්නේ මිනිහෙක් ද? එහෙම නැත්නම් වානරයෙක්ද? නම ඇසූ පමණින් මෙවන් සිතුවිලි ඔබ සිතට නැඟෙනු නො අනුමානය. එහි ප්‍රධාන භූමිකාවට පණ පොවන කළණ ගුණසේකර මේ දිනවල ටෙලි ප්‍රේක්ෂකාගාරයේ ආදරය ද උපරිමයෙන් විඳින ජනප්‍රිය තරුවකි. රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නිර්මාණයේ වෛද්‍යවරයකුගේ භූමිකාවෙන් ඔබ හමුවට එන ඔහු කූඹියෝ ටෙලි නිර්මාණයෙන් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වීය. එමෙන්ම පොදු, ගිනි අවි සහ ගිනිකෙළි ද අමතක කළ නොහැක. අද ඔහු අප හා කතාබහට එක්වන්නේ ඉදිරියේදී තිරගත විමට නියමිත මංකි මෑන් සිනමාපටය ගැන අදහස් බෙදාගැනීමේ අරමුණෙනි.

මංකි මෑන්, නම ඇහුව ගමන්ම ටිකක් අමුතු කතාවක් වගේ. ඒ සඳහා ඔබේ දායකත්වය ගැන කතා කළොත්?

කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නම ඔස්සේ ලියවුණු කතාවක් කියලත්. ඇත්තම කිව්වොත් ස්ක්‍රිප්ට් එක ලියල ඉවර වෙලා තමයි මේකට නම දැම්මේ. මේක තරිඳු දේශප්‍රියගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය. ඔහුගෙන් තමයි මට ආරාධනා ලැබෙන්නේ. ඔහු මාව හමුවෙන්න ඇවිත් මේ වගේ චිත්‍රපටයක් කරනවා මෙන්න මේ වගේ අයිඩියා එකක් තමයි තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ අපි දෙන්නා යම්කිසි හැඩතල ටිකක් කතා කළා. මගේ චරිතය ගත්තොත් නගරයේ බෝඩිමක ඉන්න කොල්ලෙක්. සාමාන්‍යයෙන් ජීවිතයට එන ආර්ථික ගැටලු විසඳගෙන ජීවත් වෙන්න උත්සාහ කරද්දී ඕනෙම කෙනෙකුට පොඩි පැන්ටසියක් තියෙනවා සල්ලි තියෙන මනුස්සයෙක් ඇවිත් කවදහරි ඒ මනුස්සයගෙ ජීවිතේ ගොඩදාවි කියලා. ඒ වගේ පැන්ටසියක ඉන්න චරිතයක්. හදිසියේම ඔහුට හමුවෙනවා තමන්ගෙ ජීවිතේ ගොඩදාන ජාතියෙ දැවැන්ත සල්ලිකාරයෙක්. මගේ චරිතයත් එක්ක එයාලට ඕන වෙනවා මේකට වඳුරෙක්ව ගේන්න. එතැනින් එහාට වෙනදේ දැනගන්න ‘මංකි මෑන්‘ සිනමාපටය බලන්න කියලා මං ඔබට ආරාධනා කරනවා.

වඳුරෙක්වම යොදාගන්න හේතුවක් තිබුණ ද?

නෑ. විශේෂ හේතුවක් තිබුණෙ නෑ. ඒත් කතාව ඇතුළට මොකක්හරි විශේෂ දෙයක් ඕන වුණා. අද සමාජයේත් සිදුවෙන දෙයක් මේක. “මුළු සමාජයේම වඳුරෝ දැන් ඉන්නෙ මල්ලි“ කියල කියන තැනක් තියෙනවා. ඒ වගේම “මම ඩාවින්ව පිළිගන්නෙ නෑ මල්ලි. දැන් වානරයාගෙන් මිනිහා පරිණාමය වෙනව නෙවෙයි. මේ මොහොතෙ මිනිහගෙන් වානරයා පරිණාමය වෙනවා“ කියලත් කියනවා. මංකි මෑන් කියන්නේ ඒ වගේ හරි ලස්සන දෙබස් තියෙන ෆිල්ම් එකක්. මම, ලක්ෂ්මන් මෙන්ඩිස්, මනෝජා, සංජීව දිසානායක, ලසන්ත පුමුදිත සිල්වා ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මගේ අලුත්ම චිත්‍රපටය ‘මයි සිම්බා‘ කියන්නෙත් සිංහයො දෙන්නෙක් යොදාගෙන කළ සිනමා නිර්මාණයක්. එහිදී රොෂාන් රණවන, නයෝමි තක්ෂිලා ඇතුළු පිරිසක් මාත් එක්ක රංගනයෙන් දායක වෙනවා. එය ළමා චිත්‍රපටයක් වගේ වුණත් පවුලේ හැමෝටම එකට ඉඳන් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.

ඔබ මේ දවස්වල ටෙලි තිරයේ ජනප්‍රියම තරුවක්. ඒ ගැනත් කතා කරමු?

මේ දවස්වල පුංචි තිරයේ දකින්නේ රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නිර්මාණයේ කුසල්ගේ චරිතයෙන්. කුසල් කියන්නේ වෛද්‍යවරයෙක්. ඇත්තටම මමත් පුදුම වුණා මට වෛද්‍යවරයකුගේ චරිතයක් දුන්නම. හිතුවෙ නැති විදිහට ඒ චරිතය ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තා.

සාමාන්‍ය කතා විලාසයෙන් ඔබ්බට ගිහින් දේශපාලනමය තත්ත්වයක් ආරෝපණය වුණු නිර්මාණයක් කිව්වත් හරි නේද?

සමහර වෙලාවට වාමාංශික මුහුණුවරකින් ප්‍රශ්න කරන තැන් තියෙනවා. ධනේෂ්වර ඇතුළේ සිද්ධ වෙන සිස්ටම් එක ගැනත් කතා වෙනවා. හැබැයි පශ්චාත් නූතනවාදී තත්ත්වයක් ඇතුළේ රටක සංස්කෘතිය තුළ කොහොමද තාරුණ්‍යය පවතින්නේ කියන එක ගැන දරුණුවටම කතා වෙනවා කිව්වත් හරි. ඒකම තමයි මේ සඳහා ෆෝකස් වෙලා තියෙන්නෙත්.

එතකොට කළණ ගුණසේකර කියන ජනප්‍රිය රංගන ශිල්පියාගේ බිහිවීම සිදුවෙන්නේ කොහොමද?

වේදිකාවෙන් ටෙලි තිරයට එන්නේ මේ වසන්ත කාලය ටෙලි නිර්මාණයෙන්. ගොඩක් ටෙලි නිර්මාණවලට දායක වෙලා නැති වුණත් මං දායක වුණු නිර්මාණ ප්‍රේක්ෂකයන්ට මතක තියෙන නිර්මාණ බවට පත්වුණා. විශේෂයෙන්ම කූඹියෝ ගොඩක්ම ජනප්‍රිය වුණා. ඒ වගේම පොදු ටෙලි නාට්‍යය. ගිනි අවි සහ ගිනි කෙළි. මේ දවස්වල රීකන්ඩිෂන් කෙල්ල. මේ කාලය පුරාවම මං ටෙලි නිර්මාණ 12කට විතර සම්බන්ධ වෙලා ඇති. ප්‍රතික්ෂේප වුණු සංඛ්‍යාව වැඩියි. ස්ක්‍රිප්ට් එක කියවලා මට විඳගන්න බැරි නම් මං ඒක භාරගන්නෙ නෑ. මොකද මම විඳගන්නෙ නැතුව කොහොමද ප්‍රේක්ෂකයා විඳගන්නේ. ඊට වඩා හොඳයි මම ඒක නොකර ඉන්නවා. මම අදටත් ඉන්නේ ඒ මතයේ.

කළණ ගුණසේකර කියන රංගන ශිල්පියාගෙන් මඳක් ඔබ්බට ගිහින් කළණ ගුණසේකර කියන සැබෑ චරිතය ගැන කතා කළොත්?

මගේ ගම කහතුඩුව. මං ඉගෙන ගත්තේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ. කලාවට පිවිසීම සිදුවෙන්නේ මුතුහර ළමා සමාජය හරහා. ප්‍රේම කුමාර කරුණාරත්න ගුරුතුමා යටතේ රංගනය ගැන ඉගෙන ගෙන වේදිකා නිර්මාණ ඔස්සේ විවෘත වේදිකාවට පිවිසුණා. ගොඩක්ම දායක වුණේ වේදිකාවට. 2005 වසරේ රුවන් මලිත් පීරිස් එක්ක එකතු වෙලා අධ්‍යක්ෂණය කළ ‘දාස මල්ලිගෙ බංගලාව‘ වේදිකා නිර්මාණයට හොඳම අධ්‍යක්ෂණය ඇතුළු රාජ්‍ය සම්මාන 7ක් හිමි වීම මගේ කලා ජීවිතේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත්වුණා.

කළණ කියන්නේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරන චරිතයක්. කළණගෙ ආදරය ගැන කතා කළොත්?

මම හරිම කැමැතියි හැම මනුස්සයෙක්ම තම තමන්ගේ ආදරය අනෙක් අයත් එක්ක බෙදා ගන්නවට. මනුස්සයෙක් විදිහට මේ ජීවත් වෙන පුංචි කාලේ තමන්ගේ පැන්ටසිය සපුර ගන්න පුළුවන් ලස්සන ජීවිතයක් ගත කරන්න ඕන. ඒ වෙනුවෙන් පොදුවේ මං ඕනෙම දෙයක් කරනවා. ලස්සනට ජීවත් වෙලා අවසන් හුස්මත් සතුටෙන් හෙළන්න ඕන කියලා මං විශ්වාස කරනවා.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division