Home » ආණ්ඩුව ශක්තිමත් වගේම විපක්ෂයත් ශක්තිමත්

ආණ්ඩුව ශක්තිමත් වගේම විපක්ෂයත් ශක්තිමත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ඔබ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. ශක්තිමත් ආණ්ඩුව හමුවේ විපක්ෂයට විශාල කාර්යභාරයක් පවතිනවා. විපක්ෂයේ කාර්යභාරය හා ඔබට ඇති වගකීම ගැන සඳහන් කළොත්…?

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මම බලාපොරොත්තු වෙනවා, සමගි ජන බලවේගයත් එසේම විපක්ෂයේ සෙසු පක්ෂ නියෝජිතයනුත් සමඟ එකමුතුව වැඩකටයුතු කරන්න. විපක්ෂයක් ලෙස ජනතාව අපට දුන් වගකීමක් පවතිනවා. ඒ වගකීම උපරිමයෙන් කණ්ඩායම් හැඟීමෙන් යුතුව ඉටු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. විපක්ෂයේ පක්ෂ ගණනාවක් තියෙනවා. මේ පක්ෂවලට කතා ලැයිස්තු සකස් කිරීමේදීත් සාධාරණ කාලයක් ලබා දෙමින් පවතින සුළු කාලය බෙදාහදාගෙන සියලු දෙනාට අවස්ථාව ලබා දෙනවා. එසේම විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා කටයුතු නියෝජනය කිරීම, ඒ අය සමඟ සාකච්ඡා කරමින් කාලය සාධාරණව බෙදා හදා ගනිමින් ලබාදුන් වගකීම ඒ ආකාරයෙන්ම ඉටු කරනවා. විවිධ මත, ප්‍රතිපත්ති දරන පක්ෂ 12ක් විපක්ෂයේ සිටිනවා. ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව අති විශාල සේම විපක්ෂයක් ලෙස එහිත් විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නවා. ආණ්ඩුව බොහෝ ශක්තිමත්. එවැනි තත්ත්වයක් අපි දැක්කේ බොහෝ කාලයකින්. ඒ නිසා සංඛ්‍යාත්මකව ආණ්ඩුව ශක්තිමත් සේම විපක්ෂයත් ශක්තිමත්. අපි හැම විටම උත්සාහ කරන්නේ එක කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමටයි.

පසුගිය කාලයේ අපි දැක්කේ සාම්ප්‍රදායික විපක්ෂයක්. ඒ තත්වයෙන් මිදෙන්න ඔබ කටයුතු කරන්නේ කෙසේද?

අපි පැහැදිලිවම ආණ්ඩුවට ලැබුණු ජනවරම අවතක්සේරු කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ඉටු කිරීමට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම ජනතාවගේ අපේක්ෂා විශාල නිසායි කවදාවත් නොවූ විරූ ආකාරයෙන් ජනවරමක් දුන්නේ. ඒ නිසා ජනතාවට දුන් පොරොන්දු, ජනතාව වෙනුවෙන් ඉටු කරන කාරණාවලදි, හොඳ දේවල්වලදි අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. එවිට කිසිසේත් සාම්ප්‍රදායික විපක්ෂයක් වෙන්නේ නැහැ. මහජනතාවට දුන් පොරොන්දු ආණ්ඩුවට මතක් කරදීම, වැරදි පෙන්වා දීම අපේ කාර්යභාරයයි.

මහ මැතිවරණයක් අවසන්ව මාසයකට ආසන්නයි. තවමත් පක්ෂයේ ජාතික ලැයිස්තුව පත් කිරීම දෙගිඩියාවක ද තියෙන්නෙ?

තවමත් ජාතික ලැයිස්තු පත් කිරීමේ කටයුතු අවසන් වෙලා නැහැ. එය නිසි වේලාවට නුදුරු දිනයකදි පත්වීම් සිදු කරයි.

පක්ෂයේ බලධාරීන් නම් කියන්නේ ජාතික ලැයිස්තුවට ඇති ඉල්ලුම වැඩි නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ කියලා.. මේ ඉල්ලීම් කරන අය කවුද කියලා දැනගන්න ජනතාව කැමැති ඇති?

වෙන්න පුළුවන්. ඒත් මම මේ දේවල් දන්නේ නැහැ. එය පක්ෂයේ නායකයා මෙන්ම මහලේකම්වරයාගේ වගකීමක්. ඒ අය කිසියම් ක්‍රමවේදයක් මේ පත්කිරීම් සඳහා අනුගමනය කරනවා ඇති. වඩාත්ම සුදුසු පරිදි අවශ්‍ය පුරප්පාඩු පිරවීමට ඔවුන් ඉතා ඉක්මනින් කටයුතු කරාවි. ඒ සඳහා නිසි සැලසුමක් තියෙනවා.

ජාතික ලැයිස්තුව ගැන මුලින් සාකච්ඡා කර නිසි සූදානමක් ගෙන නොතිබූ නිසාද මේ ආරවුල ඇතිවුණේ?

ජාතික ලැයිස්තුව මැතිවරණයට පෙර සකස් කළා. පුරප්පාඩු 4 ක් පමණයි සම්පූර්ණ කරන්න තිබුණේ. මේ පත්වීම් සම්පූර්ණ කිරීම ඉදිරි දිනයකදි සිදුවෙයි. මේ තත්ත්වයට බලපෑ හේතු ගැන මම දන්නේ නැහැ. ඒ ගැන විමසිය යුත්තේ නායකතුමාගෙන් හා මහ ලේකම්තුමාගෙන්. ඔවුන් මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන සියලු දෙනාත් සමඟ සාකච්ඡා කර ගැටලුව ඉක්මනින් නිරාකරණය කරයි.

පසුගිය වරක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් පත්වීමට මාස 11 ක් පමණ ගියා. මේ දකින්නේ එම පූර්වාදර්ශයද?

එක් එක් පක්ෂ අනුගමනය කරන ආකාරය අපිට අදාළ වන්නේ නැහැ. එදා ඒ තීරණය ගත්තේ එක්සත් ජාතික පක්ෂය. සමගි ජන බලවේගය තීරණයක් ගන්නේ අනිකුත් පක්ෂ ගත්තු තීරණ දෙස බලා නෙමෙයි. මේ පක්ෂයට අවශ්‍ය තීරණ ගන්නවා මිස වෙනත් පක්ෂයක් මාස 11 ක් තීරණය කළ එක අපිට වැදගත් වෙන්නේ නැහැ. අපේ අය ස්වාධීනව හා වැඩිකල් නොගොසින් මේ තීරණය ගන්න බව පැවැසිය යුතුයි.

ජාතික ලැයිස්තු ප්‍රශ්නයෙන් ගැලවෙන්නට සජබ නායකත්වයට විශාල වෙහෙසක් කරන්නට සිදුවන බවත් වාර්තා වෙනවා?

එතුමාගේ පුරුද්දක් තියෙනවා, ප්‍රශ්නයක් ඇත්නම් සියල්ල සමඟින් සාකච්ඡා කිරීම. ඒ ආකාරයෙන් තේරුම් ගෙන ප්‍රශ්න ඇති නොවන පරිදි සිදුකළ යුතු නිසයි කාලයක් ගත වන්නේ. මේ පත්කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වන්නේ නැහැ. කොහොමත් පත්කිරීම් හතරයි, සිදු කරන්න පුළුවන් වෙන්නේ. ඉල්ලුම්කරුවන් යම් ප්‍රමාණයක් සිටිද්දි පත්කිරීම් 4 ක් තිබෙන නිසයි, මේ ගැටලුව. ඉල්ලුම් කරන අය කවුද යන්න දන්නේ පක්ෂයේ මහලේකම් ඇතුළු පිරිසයි.

ආණ්ඩුවට හොඳ ජන වරමත් ලැබුණා. වර්තමාන ආණ්ඩුවේ ගමන් මඟ ඔබ දකින්නේ කෙසේද?

ආණ්ඩුවට ලැබුණු ජනවරම අවතක්සේරු කරන්නේ නැහැ. එය සුවිශේෂි ජනවරමක්. අද පාර්ලිමේන්තුව දෙස බලන විට විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ආණ්ඩුව සතුව ඉන්නවා. පාර්ලිමේන්තු භෝජනාගාරයට ගිය පසු විශාල මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව සතු බව පෙනෙන්න තියෙනවා. ඔවුන්ට ඕනෑම තීරණයක් ගැනීමට, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනතාවට සහන දීමට තීරණයක් තිබේ නම් හෝ IMF කොන්දේසි පිළිගන්නේ නැහැ යන කතාවට අවශ්‍ය කටයුතු කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් ඔවුන්ට ලැබිලා තියෙනවා. දැන් ඔවුන්ට ඒ අභිලාෂයන් ඉටු කිරීමේ අභියෝගය තියෙනවා. අපි බලාගෙන සිටිනවා, ඔවුන් ඒ අභියෝග ජයග්‍රහණය කරන්නේ කෙසේද කියා. ඔවුන් වේදිකාවේ කියූ ප්‍රධාන දෙයක් වුණේ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ඇතිකර ගත් එකඟතා පිළිනොපදින බව. නමුත් ආණ්ඩුව අද ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර පසුගිය ගමන් මාර්ගයේම යනවා. ආර්ථිකමය වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ගිය ගමන් මාර්ගයේමයි යන්නේ. ඔවුන් එදා දේශපාලන වේදිකාවේ කිව්වේ වෙනත් කතා. විදුලි බිල අඩු කිරීම්, තෙල් මිල අඩු කිරීම් සහන ගැන ජනතාව විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මන්ද ජනතාව ඔවුන්ට දුන්නේ අසීමිත බලයක්. ඒ නිසා හැම පැත්තෙන්ම කියූ දේ ඉටු කරන බවට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආණ්ඩුවට බලයක් නැහැ කියන්න බැහැ. ඉල්ලුවටත් වඩා ජනවරමත් ලැබිලා තියෙනවා. සහන දෙන්න, බදු ප්‍රශ්න විසඳන්න, වැට් අඩු කරන්න IMF කොන්දේසි වෙනස් කරන්න බලය තියෙනවා.

ඔවුන්ට ඒ සඳහා තවමත් ප්‍රමාණවත් කාලයක් නැහැ නේද?

ඔවුන්ට සකල විධ ප්‍රශ්න විසඳන්න කාලය නොවුණත් අඩිතාලම දමමින් ප්‍රශ්න විසඳන්න හැකියාව තියෙනවා.

ජනතාව ඉල්ලුවේ වෙනසක්. දැන් ඒ වෙනස ඇති වී ඇත්දැයි ඔබ සිතනවද?

ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතිව ඡන්දය දුන්නේ. ජනතාවට අවශ්‍ය නැති දේ මහජන නියෝජිතයන්ට අවශ්‍ය නැහැ කිව්වා. රාජ්‍ය සේවකයන් විශාල වරමක් දුන්නා. ඔවුන්ටත් බලාපොරොත්තු තියෙනවා. බලයට පත් කිරීමට කවදාවත් නැතිතරමට පෙළගැසුණා. ඔවුන් ආණ්ඩුවට වරම දුන් නිසා ඒ බලාපොරොත්තු ඉටුකළ යුතුයි. මාසයෙන් ප්‍රශ්න විසඳිය නොහැකියි. අපි දේශපාලන කුහකයෝ වෙන්නේ නැහැ. සුබවාදීව බලනවා. ඒ නිසා එකින් එක ඉටුකළ යුතුයි. මෙහිදී අපි අනිවාර්යයෙන් පෙනී සිටිනවා. මෙවර ජනතාව මන්ත්‍රීවරු තෝරා පත්කර ගැනීමේදි හොඳට තෝරා බේරා දුන්නා. සියලුදේට විරුද්ධ වුණා වගේ නෙමේ, ආණ්ඩුවක් කරගෙන යද්දි. අද ජනතාවට ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුවට කිසිම අඩුපාඩුවක් නැහැ. ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන තෙක් ජනතාව බලාගෙන ඉන්නවා. අපිත් විමසිල්ලෙන් ඉන්නවා. හොඳට කළොත් හොඳයි. ජනතා අභිලාෂයන් ඉටු නොවුණොත් ජනතාව තීන්දු කරයි.

නමුත් විපක්ෂය චෝදනා කරනවා ජජබ මන්ත්‍රිවරු අත්දැකීම් අඩු පිරිසක් බව?

මේ අයට ලැබුණු ජනවරමත් සමඟ අවශ්‍ය දේ කළ හැකි විය යුතුයි. ආණ්ඩුව කියනවානේ දුන් ජනවරමට කටයුතු කළ හැකි බව. දැන් අවශ්‍ය වැඩ පෙන්වන්න.

සජබයත් යූ ඇන් පීයත් එක්වුණා නම් ගමන වේගවත් කියා සිතෙන්නේ නැද්ද?

විවිධ බලවේග එකතු වෙයි. යම් කාල සීමාවක් තුළදි එකඟතා දැකිය හැකිවෙයි.

සමගි ජන බලවේග පක්ෂ නායකත්වයේ වෙනසක් ගැනත් ජනතාව කතා කරනවා?

පක්ෂ අභ්‍යන්තරයේ එවැනි සාකච්ඡාවක් නැහැ. ඒ නිසා අවශ්‍ය වන්නේ ප්‍රතිසංවිධානයයි. අපිට වැරදුණු තැන් අලුත් විය යුතු තැන් ගැන පුළුල් සාකච්ඡාවකට ගොස් පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයි.

ඉදිරියේදි අලියා ලකුණින් තරග කරනවා බලාගත හැකි වෙයිද?

ඒ ගැන දැන්ම අදහසක් දෙන්න විදියක් නැහැ. දේශපාලනයේ සිදුවන, සිදු නොවන දේ ගැන අනාවැකි කියන්න බැහැ. මෙවැනි ප්‍රශ්න ගැනත් එහෙමයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණ සූදානම කෙබඳුද?

අපි හොඳ, ගමේ පාලනයට ජනප්‍රිය කණ්ඩායමක් යොමු කළොත් සාර්ථක ප්‍රතිඵල දැකිය හැකි වෙයි. ජනාධිපතිවරයා ජයගෙන දින 32 කින් අපි ඇල්පිටිය ඡන්දයෙන් කොට්ඨාස 2ක් ජය ගත්තා. ඒ නිසා හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා සාර්ථකව මුහුණ දෙනවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division