ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ද හැඳින්වේ. දූපතක් වන ශ්‍රී ලංකාව වටා පවත්නා මුහුදු තීරය නිසා මෙරටට ලැබුණු ආකර්ෂණය මෙන්ම දායාදයන් අතිමහත්ය. එහෙත් එම ආකර්ෂණය එලෙසම පවතිද්දී දැන් දැන් තත්ත්වය වෙනස් වෙමින් තිබෙන්නේ රට වටකොට ඇති මෙරට මුහුදු තීරය නිසා වර්තමානයේ ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වෙමින් පවතියිදෝ යන සැකය ද නිසාය.
ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදන ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉරානය වැනි රටවල සිට මත්ද්‍රව්‍ය බෙදාහැරෙන ප්‍රධානම මාර්ගයක් වන මුහුදු මාර්ගයේ ශ්‍රී ලංකාව ද පිහිටා තිබීම මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම තිප්පොළක් වීමට බොහෝ සේ බලපා ඇති බව පෙනෙන්නට ඇත.
කෙසේ හෝ මෙරටට මත්ද්‍රව්‍ය කිලෝ සියදහස් ගණනින් රැගෙන එන ජාවාරම්කරුවන්ට එරෙහිව නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීම් නිසා පසුගිය වසර පහක පමණ කාලය තුළදී මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
එලෙස මෙරටට රැගෙන ඒමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කැස කවන මත්ද්‍රව්‍ය තොග වැටලීමට වර්තමානය වන විට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කලාපයේ අප රටට ආසන්න රටවල් වන ඉන්දියාව සහ මාලදිවයින වැනි රටවල නාවික හමුදා සහ වෙරළාරක්ෂක බළකාය සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් සූක්ෂ්ම දැලක් එලා තිබීමද සුවිශේෂීය.
එලෙස ඉන්දීය නාවික හමුදාව සහ මෙරට නාවික හමුදාව එක්ව බුද්ධි තොරතුරු හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ධජය සහිතව අරාබි මුහුදේ ගමන් කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ඉකුත් නොවැම්බර් 24 සහ 25 යන දිනයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.
එහිදී එම යාත්‍රාවල තිබී රසායනික විෂ මත්ද්‍රව්‍යයක් වන වර්තමානයේ තරුණයන් දැඩි සේ ඇබ්බැහිවීමක් දක්නට ඇති ක්‍රිස්ටල් මෙතැම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355යි ග්‍රෑම් 828ක් තිබී සොයා ගැනීමට හැකි විය. ඉකුත් 2 වැනිදා එම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රි ලංකා නාවික හමුදාවේ ගජබාහු නෞකාව මඟින් කොළඹ වරායට රැගෙන එන ලදි.
මේ මත්ද්‍රව්‍යවල දල වීදී වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 3380ක් පමණ බව සඳහන් වේ. එම මත්ද්‍රව්‍ය තොගය සමඟ එම බහුදින යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 11 දෙනෙකු ද ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා ඉන්දීය නාවික හමුදාව විසින් ඉකුත් නොවැම්බර් 29 දා ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමෙන් පසු ගජබාහු නෞකාවෙන් මෙරටට රැගෙන ඒම සිදු විය.
දෙසැම්බර් 2 දා එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් කොළඹ වරායට රැගෙන ඒම නිරීක්ෂණය කරමින් මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මෙන්ම මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් එම්. ආනන්ද් ද එක් විය. ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණද එක්වූ අතර මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 11 දෙනා ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීම ද එහිදී සිදු විය.
වර්තමානය වන විට මෙරට දකුණු වෙරළ තීරය මුල්කොට ධීවර කටයුතුවල නිරත වන මුවාවෙන් ඇතැම් ධීවරයෝ ඉන්දීය සාගරයේ අන්තර්ජාතික මුහුදු සීමාවට බහුදින යාත්‍රාවලින් ගොස් මේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරති. එහිදී එම ධීවරයන් විදේශීය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් විශාල නෞකාවලින් ගෙනෙන හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සිය ගණනින් බහුදින ධීවර යාත්‍රාවලට පටවාගෙන ගොඩබිම ආසන්නයට ගෙනැවිත් අනතුරුව ඩිංගි බෝට්ටු මාර්ගයෙන් වෙරළට ගෙන ඒමෙන් පසු රට තුළට ගෙන යාම සිදු වේ. ඒ සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ධීවරයන්ට රුපියල් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරන බවත් මේ වන විට නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධරයන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම වැටලීමට කැපව සිටින ආරක්ෂක අංශ සාමාජිකයෝ හඳුනාගෙන සිටිති.
ඒ සියලු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන්නේ ඩුබායි ඇතුළු විදෙස් රටවල සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානින් බව ද සැල වේ. එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරටට ගෙන ඒමට තැත් කරන ලද මෙකී අයිස් මත්ද්‍රව්‍ය තොගය සුදු පැහැති ප්ලාස්ටික් ඇසුරුම් 295ක ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබිණි. අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකෙන් මත්ද්‍රව්‍ය තොගය තිබූ යාත්‍රාවේ වයස අවුරුදු 24ත් 49ත් අතර පසුවූ පුද්ගලයන් පස්දෙනෙක් සිටියහ. එම සැකකරුවන් දෙවුන්දර, ගන්දර සහ මොනරාගල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගත් සෙසු බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් සයදෙනා වයස අවුරුදු 32ත් 54ත් අතර පසුවන අතර ඔවුහු දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෝය.
එම ධීවරයන් කලක් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයන් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ලක්ෂ ගණන් මුදල් ඔවුන්ට ලබා දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කරගෙන ඇති බව ද හෙළි වේ.
එලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට මුහුදු තීරයට ආසන්න රාජ්‍යයන්හි නාවික හමුදා සහ වෙරළාරක්ෂක බළකායන් සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් දිව රෑ නොබලා අඛණ්ඩව මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම මර්දනය කිරීමට මෙහෙයුම් දියත් කරන බව නාවික හමුදාව සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් නොවැම්බර් 23 වැනිදා ද මෙරට නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළාරක්ෂක බළකාය අතර සිදුවූ සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙස අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 344ක තොගයක් සහ මිලෙන් අධික කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 124ක ප්‍රමාණයක් ද මාලදිවයින් වෙරළාරක්ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඒ මෙරටට අයත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 5 දෙනෙක් ද ඒ අතර විය.
එලෙස නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමට සිටින ප්‍රධාන කණ්ඩායම් එක්ව පසුගිය දින කීපය තුළදී සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් කීපයකි. ඒ අතර මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ගාල්ල, නාගොඩදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 294ක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය වටරැකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 87ක්ද නාවික හමුදාවේ මැදිහත් වීමෙන් මෙවර ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355 සහ මාලදිවයින් වෙරළාරක්ෂක බළකාය අත්අඩංගුවට ගත් කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 468 සමඟ සමස්ත මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1204කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ මර්දනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය කදිමට විදහා පාමිනි.
අමිල මලවිසූරිය