Home » මලයාලම් සිනමාවේ දැවැන්තයින් සමඟින් MMMN ලංකාවේදී වැඩ අරඹයි

මලයාලම් සිනමාවේ දැවැන්තයින් සමඟින් MMMN ලංකාවේදී වැඩ අරඹයි

by thanushika
November 30, 2024 12:30 am 0 comment

ඉන්දියාවේ දැවැන්තම මලයාලම් සිනමා නිර්මාණයක් ලංකාවේ රූගත කිරීමේ පුවත මේ වන විට ලංකාව පුරා සීඝ්‍රයෙන් පැතිර ගොස් අවසන්. මලයාලම් සිනමාවේ දැවැන්තයන් ඒ සඳහා දායක වී තිබීමත් විශේෂත්වයක්. ලංකාවේ රූගත කරන මේ දැවැන්ත කටයුත්ත ගැන සොයා බැලීමේ අදහසින් අපි ද ඔවුන් ගැන සොයා බලන්නට උත්සුක වීමු. තාක්ෂණයෙන් ඉහළ අතිදැවැන්ත සිනමා කර්මාන්තයක් හිමි ඉන්දියාව වැනි රටක් අපේ මේ පුංචි ලංකාව ඔවුන්ගේ දැවැන්ත නිර්මාණයක් සඳහා යොදාගැනීම සිතාගත නොහැකි කරුණකි. අනෙක් අතින් මෙය මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තම ව්‍යාපෘතිය ලෙස ද හැඳින්වේ. මම්මුට්ටි සහ මෝහන්ලාල් යනු මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ අති දැවැන්තයන් බව නොදන්නා කෙනෙකු නැති තරම්ය. ඔවුන් දෙදෙනා වසර 20ට පසුව හමුවන මෙම සුවිශේෂී අවස්ථාව මලයාලම් සිනමා කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යයක් ද විය හැකිය. එමෙන්ම මහේෂ් නාරායනන්ගේ නිර්මාණයක් අපේ රටේ රූගත කිරීම ද විශ්මයට කරුණකි.

තාක්ෂණයේ හිණිපෙත්තේ සිටිමින් සිනමා නිර්මාණ බිහිකරන ඉන්දියාව හා සසඳා බලන විට අප සිටින්නේ බොහෝ දුරකින් බව අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍යයකි. එවන් වටපිටාවක මේ දැවැන්ත නිර්මාණය ලංකාවේ රූගත කෙරෙන්නේ කොහේද? ඒ කොහොමද? අවසර ලබාදී ඇත්තෙ කවුද? මේ පිටුපස සිටින්නේ කවුද? ලංකාව තෝරගන්න හේතුව කුමක්ද අපේ අයත් මේ සඳහා රංගනයෙන් දායක වෙනවාද? ආදි වශයෙන් මතුවූ දහසකුත් එකක් ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට අපද පෙළඹුණෙමු.

මේ පිළිබඳ වැඩිදුර විස්තර සොයා බැලීමේදී මෙම චිත්‍රපටය රූගත කිරීම අයින්ගරන් මීඩියා සොලූෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් සම්බන්ධීකරණය වන වැඩක් බව දැනගන්නට ලැබිණි. ලංකාවේ රූගත කෙරෙන බොහෝ ඉන්දීය සිනමා නිර්මාණ සඳහා සම්බන්ධීකරණය සපයන්නේ ඔවුන් බව ප්‍රකට කරුණකි. ඔවුන් ලබාදෙන සුවිශේෂී සේවාව නිසාම බොහෝ ඉන්දීය නිර්මාණකරුවන් දෙවරක් නොසිතාම ඔවුන්ගේ සහාය ලබා ගැනීමට පෙලඹෙන බවත් නොරහසකි. අයින්ගරන් ආයතනයේ හිමිකරු කාර්තික් නඩරාජා මේ කටයුත්ත සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සිනමා තරු පිළිගන්නා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ මේ වන විටත් දැක ඇතුවාට සැකයක් නැත. එමෙන්ම මෙම නිර්මාණයේ ලයින් ප්‍රඩියුසර් ලෙස කටයුතු කර ඇත්තේද ඔහුය.

මේ අතිදැවැන්ත සිනමා නිර්මාණය සඳහා පසුතලය ලෙස යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක හමුදා කඳවුරය. මෙය අධිආරක්ෂිත කලාපයක් වීම මෙන්ම මින් පෙර කිසිම නිර්මාණයක් සඳහා අවසර නොලත් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය මෙහි පසුතලය ලෙස යොදා ගැනීමත් විශේෂත්වයකි. පසුගිය නොවැම්බර් 17 වැනිදා එහි මුහුරත් උලෙළ පැවැතියේ විශේෂ පූජාවකින් අනතුරුව සිදු කෙරුණු පළමු රූගත කිරීම ද සමඟිනි. කිසිවකුටත් ඇතුළු වීමට අවසර නොලද මෙම අධි ආරක්ෂිත කලාපයේ මලයාලම් සිනමාවේ දැවැන්තයින් ලෙස සැලකෙන මම්මුට්ටි, මෝහන්ලාල්, ෆහාද් ෆාසිල් (ෆාෆා), කුන්චක්කෝ බෝබන්, නයන්තාරා, දර්ශන් රාජේන්ද්‍රන් ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ රංගන දායකත්වයෙන් රූගත කෙරෙන මෙම සිනමා පටය MMMN ලෙස මේ වන විට නම් කර ඇති අතර පසුව එය වෙනස් විය හැකි බවද පැවසේ. මහේෂ් නාරායනන්ගේ අධ්‍යක්ෂණයක් වන MMMN ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරික ඇන්ටෝ ජෝසප්ගේ(Anto Joseph Film Company) නිෂ්පාදනයකි.

ගුවන් හමුදා නිලධාරී පිරිසකගේ ජීවිත අත්දැකීම් පාදක කරගෙන නිර්මාණය කෙරෙන MMMN සිනමාපටයේ රූගත කිරීමේ පළමු අදියර පසුගිය නොවැම්බර් 17 වැනිදා සිට 23 වැනිදා දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අධි ආරක්ෂිත කලාපයේදී රූගත කෙරුණු අතර එහි දෙවැනි අදියර සඳහා මේ වනවිටත් ඔවුන් ඩුබායි දේශය බලා පිටත්ව ගොසිනි. MMMN සිනමාපටයේ පළමු භාගය රූගත කිරීමේදී අප රටෙන් ලබාදුන් සහාය හේතුවෙන් තවත් අදියරක් ශ්‍රී ලංකාවේම රූගත කිරීමට ඔවුන් තීරණය කර තිබිණි. එය ලාංකේය අප කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නත් ලෙස හැඳින්විය හැකිය. එනයින් ලබන ජනවාරි මස අග භාගයේ ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ නුවර, ගාල්ල, යාපනය වැනි ප්‍රදේශවල රූගත කිරීම් සිදු කරනු ඇත. මෙය අප රටට විදේශ විනිමය ඍජුවම ලැබෙන ක්‍රමවේදයක් නොවන්නේද? එමෙන්ම ඔවුන් හා පැමිණෙන විශාල පිරිස හේතුවෙන් සංචාරක කර්මාන්තයට ද අත්වැලක් සපයනු ඇත. ශ්‍රී ලංකා-ඉන්දීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන්නට ද හේතු විය හැකිය. ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට දැනුම සම්ප්‍රේෂණය වීමක් සිදු නොවන්නේයැයි කාට නම් කිව හැකිද?

අප හා සම්බන්ධ වෙමින් වැඩිදුර තොරතුරු ලබාදෙන්නට කටයුතු කළ අයින්ගරන් මීඩියා සොලූෂන්හි කාස්ටින් මැනේජර් ලෙස කටයුතු කරන ශමාලී රන්ගම MMMN සිනමා අත්දැකීම සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි.

“මම්මුට්ට්, මෝහන්ලාල් සහ මහේෂ් නාරායනන් එක්ව කරන මේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරගන්න විශේෂම හේතුව විදිහට ඔවුන් සඳහන් කළේ අයින්ගරන් මීඩියා සොලූෂන් ආයතනය ලබාදෙන සේවය. මීට කලින් අපිත් එක්ක වැඩ කරපු අය අපේ සේවය ගැන පැහැදුණු නිසා ඔවුන් හරහා ඉන්දියාවේ තවත් චිත්‍රපට නිෂ්පාදන ආයතනය අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න කැමැත්ත ප්‍රකාශ කරල තිබුණා. අපේ ආයතන ප්‍රධානී කාර්තික් නඩරාජා තමයි MMMN සිනමාපටයේ ලයින් ප්‍රඩියුසර් විදිහට කටයුතු කරන්නෙත්. මම එහි ලංකාවේ කාස්ටින් මැනේජර් විදිහට කටයුතු කරනවා. මේ ප්‍රඩක්ෂන් එකට ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් කිසිවකු යොදාගෙන නැහැ. අතිරේක ශිල්පීන් පිරිසක් විතරයි යොදාගත්තේ. ඔවුන් අපට ලොකු සහායක් ලබාදුන්නා. ඒ ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. අතිරේක ශිල්පීන් වුණත් හමුදා සෙබළුන් ලෙස ඔවුන් කොණ්ඩය, රැවුල කැපිය යුතුයි. එතැනදි ජීවීතේටවත් කොණ්ඩෙ, රැවුල කපන්නෙ හිතුවෙ නැති අය මේ වෙනුවෙන් කොණ්ඩය, රැවුල කපලා අපට ලොකු සහායක් ලබා දුන්නා. අනිත් පැත්තෙන් අපිට ගොඩක් වෙහෙසෙන්න වුණේ පසුතල සඳහා අවසර ලබාගන්න. ඒ වගේම ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශය අපට ලබාදුන් සහයෝගය ගැනත් සිහිපත් කරන්න ඕන. කිසිවකුට ඇතුළු විය නොහැකි අධිආරක්ෂිත කලාපයේ රූගත කිරීමට අවසර ලැබීමම අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. මීට මාස තුනකට කලින් තමයි අපි මේකෙ ෆී ප්‍රඩක්ෂන් පටන් ගත්තේ. MMMN කණ්ඩායම මින් පෙර දෙවතාවක් ලංකාවට ඇවිත් ගියේ පසුතල නිරීක්ෂණය කරන්න. මුලින්ම මේ නිර්මාණයේ එක ෂෙඩියුල් එකයි ඔවුන් ලංකාවේ කරන්න ප්ලෑන් කරල තිබුණේ. ඒත් අපේ සේවය ගැන ඇති වුණු පැහැදීම නිසා ලබන ජනවාරි අග තවත් ෂෙඩියුල් එකක් ලංකාවේම රූගත කරන්න ඔවුන් තීරණය කළා. මුල් ෂෙඩියුල් එක නොවැ. 17–23 දක්වා තිබුණා. දෙවැනි එක ඔවුන් ඩුබායිවල ප්ලෑන් කරල තිබුණේ. නැවතත් ඔවුන් ලබන ජනවාරි අග මාස එකහමාරක විතර කාලයක රූගත කිරීමක් සඳහා ලංකාවට එනවා. ඒ වගේම මුහුරත් උලෙළ සඳහා පවත්වනු ලැබූ පූජාව වුණත් සාමාන්‍යයෙන් ඔවුන් ඉන්දියාවෙන් පිට කරන්නෙ නෑ. සිනමා නිර්මාණයේ ප්‍රධානත්වය ලංකාවට දීලා ප්‍රධාන ලොකේෂන් එක ලංකාව කරලා ඔවුන්ගේ සිනමාවේ දැවැන්තයින් ලංකාවට ගෙනැල්ලා ඔවුන් අපේ රටට ලොකු වටිනාකමක් දුන්නා කියලයි මට හිතෙන්නේ. ඔවුන්ගේ ඒ විශේෂ පූජාවත් කටුනායක ගුවන් හමුදා කඳවුරේම සිදු කරලා එදාම පළමු රූගත කිරීම් අරඹන්නත් උනන්දු වුණා. ප්‍රධාන ලොකේෂන් එක ශ්‍රී ලංකාව වුණා වගේම නිර්මාණයේ භාගයක්ම දැන් රූගත කෙරෙන්නෙත් ලංකාවේ වීම ඔවුන් අප රට කෙරෙහි තැබූ විශ්වාසයට සහතිකයක් කියන්නත් පුළුවන්.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division