Home » ප්‍රේක්ෂකයන් හඳුන ගත්තේ රංගන ශිල්පියෙක් විදිහට වුණත් හැමදේම මට ලැබුණෙ සංගීතය නිසා

ප්‍රේක්ෂකයන් හඳුන ගත්තේ රංගන ශිල්පියෙක් විදිහට වුණත් හැමදේම මට ලැබුණෙ සංගීතය නිසා

by thanushika
November 30, 2024 12:30 am 0 comment

අනුහස්, ඒ සැවොම දන්නා ඔහුට පටබැඳි නාමයයි. ගායන ශිල්පියකු ලෙස කලාවට පිවිසි රවීන් කණිෂ්ක ප්‍රේක්ෂකයන් වඩාත් හොඳින් හඳුනා ගත්තේ දෙවනි ඉනිම ටෙලි නිර්මාණයේ අනුහස් ලෙසිනි. ගායන ශිල්පියා අභිභවා යමින් රංගන ශිල්පියා ඉස්මතු වීම නිසාදෝ ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වූවේ රංගන ශිල්පියා යැයි කීමේද වරදක් නැත. දඩිබිඩි සංගීතය හරහා හතු පිපෙන්නා සේ බිහිවන ගීත අතරට සුභාවිත ගීතයක රසය එක්කළ ඔහුට එය අසාධාරණයක් වූවා යැයි සිතුන වාරද අනන්තය. ඒ ලයාන්විත හඬට සම වැද දැහැන්ගත නොවන්නෙක් වේ නම් ඒ ඉතා අල්පය. ගෘහස්ථ ප්‍රසංගයට ඔහු නැතුවම බැරි ගායකයකු වී ඇත්තේද එබැවිනි. ගායනය, නර්තනය, රංගනය, නිවේදනය ආදී කලාවේ සියලු පරාසයන් ස්පර්ශ කරමින් සිටින ඔහු ප්‍රේක්ෂක ආදරය ද නොඅඩුවම විඳින්නෙකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණි සිනමාපටය හරහා සිය කුලුඳුල් සිනමා රංගන අත්දැකීම ලැබූ ඔහු නුදුරේදී තිරගතවීමට නියමිත සෝලෝ ටවුන් සිනමාපටය ඔස්සේ නැවතත් රිදී තිරයේ දිස්වනු ඇත. මේ පසුගිය දා ඔහු හමුවූ සොඳුරු මොහොතක ආවර්ජනයයි.

සෝලෝ ටවුන් කියන්නේ ඔබේ දෙවැනි සිනමා අත්දැකීම. කොහොමද ආරාධනා ලැබෙන්නේ?

චතුරංගන ද සිල්වා කියන්නේ මං ගොඩක් කාලෙක ඉඳන් දන්න හඳුනන සමීප චරිතයක්. ඔහු අවුරුදු 25/30 ක්ම සංගීතයත් එක්ක ගැවසුණු කෙනෙක්. සංගීතමය වැඩසටහන්වලදී වගේම ගීත නිර්මාණවලදී අපි කාලෙක ඉඳන් හමුවුණා. මල්ලි මෙහෙම වැඩක් තියෙනවා කරමුද කියලා ඇහුවම මට ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තිබුණෙ නැහැ. සම්බන්ධ වෙන අනිත් අයත් හුරුපුරුදු දක්ෂයින්. ඒ නිසා තිර පිටපත කියවන්නත් කලින්ම මං වැඩේට කැමැති වුණා. ඊට පස්සේ අපි හමුවෙලා, කතා කරලා, වැඩේ පටන් ගත්තා. මේක ඔහුගේ කුළුඳුල් සිනමා අත්දැකීම වීමත් විශේෂත්වයක්. ලබන දෙසැම්බර් 5 වැනිදා දිවයින පුරා සිනමාහල්වලදී සෝලෝ ටවුන් තිරගත වෙනවා.

එහි ප්‍රධාන භූමිකාව හරහා ඔබත් එක්ක රංගනයෙන් එකතු වෙන්නේ රංගනයට නවකයින් හතර දෙනෙක්. ඒක ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම ඔවුන් ගැන කතා කළ යුතුමයි. හරිම දක්ෂ තරුණයින් හතරදෙනෙක්. නුදුරේදීම ඔවුන්ට ක්ෂේත්‍රයේ හොඳ තැනක්, හොඳ ස්ථාවරත්වයක් ලැබෙනවා කියන එක නම් ස්ථිරයි. ගායනය, නර්තනය වගේම රංගනයත් උපරිම මට්ටමක තිබුණා. මට හිතෙනවා ඔවුන්ට ලංකාවේ සැලකිය යුතු වෙනසක් කරන්න හැකි වේවි කියලා. මගෙන් යම්කිසි උදව්වක් ඔවුන්ට වෙන්න තියෙනව නම් ඒකත් මම නොපිරිහෙලා ඉටු කරන බවත් මම ඔවුන්ට කිව්වා.

ඔවුන් සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් විදිහට ගායනය, නර්තනය ප්‍රගුණ කරල තිබුණට රංගනයට ඔවුන් ආධුනිකයි. ඔවුන් හා ගැටෙද්දී ඔබට ගැටලුවක් මතු වුණේ නැද්ද?

කොහෙත්ම නැහැ. ෆිල්ම් එකට කලින් වර්ක් ෂොප් කිහිපයක් හරහා ඔවුන්ට රංගනය පිළිබඳ මූලික දැනුමක්, අවබෝධයක් ලබාදෙන්න අධ්‍යක්ෂවරයා වගේම නිෂ්පාදක කණ්ඩායම කටයුතු කරල තිබුණා. එහෙම පෙරහුරුවක් දීල තිබුණ නිසා වැඩේ අපහසු වුණේ නැහැ. මුල ඉඳන් වැඩේ යන විදිහ තේරුම් අරන් මැදක් යද්දි අත්දැකීම් සහිත පළපුරුදු අය වගේ ඔවුන් හරි ලස්සනට වැඩේට අනුගත වුණා.

ඔබට තිබුණේ ඔබේම චරිතය ප්‍රතිනිර්මාණය කිරීමක් කියල කිව්වොත්?

යම්තාක් දුරකට මට එදිනෙදා ජීවිතේ කරන කියන දේවල්ම මගේ චරිතයට එකතු කරන්න වුණා. ගායනය, රංගනය මට කොහොමත් සුපුරුදු දේවල්නේ. නර්තනය විතරයි ටිකක් හරි නුපුරුදු. සමස්තය ගත්තම සාමාන්‍ය චරිතයට එහා ගිහින් වෙනත් මානයන්ට යන්නත් සිදු වුණා. ඒ නිසා සැහැල්ලුවටම ගන්නත් බෑ.

එකම වයස් කාණ්ඩවල සෙට් එකක් එකට වැඩ කරනවා කියන්නෙ වෙනමම කතාවක්. ඒ අත්දැකීම ගැන කතා කළොත්?

ගොඩක්ම රූගත කළේ කොළඹ අවට. ඇත්තම කිව්වොත් විහිළු කරගෙන, හිනා වෙලා, හරිම විනෝදෙන් ගත කරපු කාලයක්. තරුණම පිරිසක් නිසා ටිකක් කන්ට්‍රෝල් කරන එකත් අපහසු වුණා කියලත් හිතෙනවා. සමහර අවස්ථා තිබුණා අපි වැඩේට ෆෝකස් වෙනකල් අධ්‍යක්ෂවරයාට බලාගෙන ඉන්න වුණු. ඔහු සංයමකින් අපිව ඉවසුවා කිව්වත් හරි. මට සාමාන්‍යයෙන් හිනා යන්න ගත්තම හිනා වෙලා ඉවර කරන්නම ඕන. එහෙම නැත්නම් අතරමැද හිනා යනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්න ඇති මම මූලික වෙලා අලුත් අයව කන්ට්‍රෝල් කරගෙන වැඩේ කරාවි කියලා. ඒත් සිද්ධ වුණේ ඒකෙ අනිත් පැත්ත. මම මැදට පැනල වැඩේ දෙක කළා ද මන්දා.

නවක අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරද්දි කොහොමද දැනුණේ?

චතුරංගන අයියා කියන්නේ දක්ෂ සංගීතඥයෙක්. මට මගේ ජීවිතේ හමුවුණු දක්ෂයන් අතරින් කෙනෙක්. ඔහු සංගීත විෂයයේ දක්ෂයෙක්. අවුරුදු 25/30 විතර සංගීත ක්ෂේත්‍රයේ පළපුරුදු කෙනෙක්. මගේ ගමන පටන් ගත්ත මුල් කාලෙ ඉඳන්ම නොයෙක් වැඩවලදී, නිර්මාණවලදී මට ඔහුව අවස්ථා රැසකදී හමුවුණේ සංගීතඥයෙක් විදිහට. මෙතැනදි තමයි පළමුවරට අධ්‍යක්ෂ භූමිකාවෙන් හමුවෙන්නේ. මෙතැනදිත් ඔහු හොඳින් අධ්‍යයනය කරලා, හොඳ හැදෑරීමක් ඇතුව හොඳ අත්දැකීම් ටිකකුත් එක්කයි ඇවිත් තිබුණේ. කොයි වෙලාවකවත් මල්ලි මට මේක මෙහෙමයි වෙන්න ඕන කිව්වෙ නෑ. සාමූහික විදිහට කතාබහ කරලා කරපු වැඩක්. ඒ වගේම කැමරා අධ්‍යක්ෂ සහන් අයියවත් මතක් කරන්න ඕන.

සෝලෝ ටවුන් කියන්නේ සංගීතමය සිනමාපටයක්. එහි ගීත නිකුත් කිරීම කලින්ම සිදුවුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?

සෝලෝ ටවුන් කියන්නේ ගීත රැසක් අඩංගු සංගීතමය චිත්‍රපටයක්. සෝලෝ ටවුන් කණ්ඩායමේ තරුණයින් හතර දෙනාගේ සින්දු කිහිපයක්ම තියෙනවා. මගේ එකකුත් තියෙනවා. ෆිල්ම් එක පුරාම ආකර්ෂණීය නර්තන අංග සහිත ගීතවලින් සෝලෝ ටවුන් වර්ණවත් වෙලා තියෙනවා. කතාවත් එක්ක ගීත රස විඳීම වෙනස්ම අත්දැකීමක් කියලයි මට දැනුණේ. කතාව ගලාගෙන යද්දි ඊට අනුගත වෙලා ගීත අහද්දි අමුතුම රසයක් තියෙනවා. ප්‍රේක්ෂකයන්ටත් ඒ වෙනස දැනේවි කියලා හිතනවා. එන්න ඇවිත් බලලම ඒ වෙනස අත්විඳින්න කියලා මං ආරාධනා කරනවා.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණි සිනමාපටයෙන් අභියෝගාත්මක කුළුඳුල් සිනමා රංගන අත්දැකීම ලැබූ ඔබ දෙවැනි සිනමා අත්දැකීම විදිහට නැවතත් සුපුරුදු ඔබේම චරිතයට සමාන අත්දැකීමක් ලබනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

මහාචාර්යතුමාගෙන් ලැබුණු ඒ අත්දැකීම කලා ජීවිතේ මට ලැබුණු පළමු සහ අභියෝගාත්මකම අත්දැකීම කිව්වත් හරි. මම අවුරුදු ගාණක්ම රංගනය කියන කාරණාවේදී කළේ මගේ සැබෑ චරිතයට සමාන සාමාන්‍ය ජීවිතේ හැසිරෙන විදිහටම තියෙන චරිත. ඒත් ක්ෂීර සාගරයේ රංගනය ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමක් වුණා. බලපු අයට ඒක හොඳින්ම වැටහෙන්න ඇති. කතන්දරය සම්පූර්ණයෙන්ම වෙනස්. මම ලබල තිබුණු අත්දැකීම්වලින් ගොඩක් එහාට ගිය එකක්. ඒ සියලු අත්දැකීම් අරන් දෙවැනි සිනමා නිර්මාණයට යද්දි නැවතත් මට මගේ සාමාන්‍ය ජීවිතේට එන්න වුණා වගේ හිතුණා. හැබැයි රංගන ශිල්පියෙක් කියන්නේ තමන්ට සමීප චරිත නිරූපණය කිරිමම නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඔහුගේ දක්ෂතාව කියන්නේ ඉන් ඔබ්බට ගිහින් වෙනස් වෙනස් පැතිකඩ නිරූපණය කිරීම. මමත් කැමතියි මාවත් ඒ වගේ එක එක මානවලට තල්ලු කරන නිර්මාණ ලැබෙනවා නම්. ඒ වගේ නිර්මාණ වෙනුවෙන් මං බලාගෙන ඉන්නවා.

පුංචි තිරය පැත්තට ගියොත් රවීන් තාමත් අනුහස්ගේ භූමිකාව රඟනවා. මෙගා නාට්‍යයකම දිගුවට නැවත එකතු වීම එකම චරිතයකට කොටුවීමක් කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. මම සිනමා නිර්මාණවලටත් සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ සංගීත වැඩවලට ලොකු කාලයක් ගත වෙනවා. අනෙක් රංගන ශිල්පීන් එක්ක බැලුවම මගේ කතන්දරේ වෙනස්. මගේ කාලය වැඩිපුරම ගතවෙන්නේ සංගීත ප්‍රසංග, වැඩසටහන්, ගීත නිර්මාණ එක්ක. ඒ නිසා වෙනත් නිර්මාණවලට දායක වෙන්න කාලයක් නැති තරම්. සමහරු හිතනවා රවීන් වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමැති නෑ කියලා. ඇත්තම කතාව කිව්වොත් මගේ සංගීත වැඩ ටික කරල එද්දි මට දෙවනි ඉනිම කරගන්නත් අමාරුයි. එහෙම නැතුව වෙන ප්‍රඩක්ෂන්වලට කැමති නැත්තෙ නෑ. ඕක තමයි ලොකුම ගැටලුව, ලොකුම හේතුව සහ එකම හේතුව. වෙන කිසිම කාරණාවක් නෙවෙයි.

රවීන් කණිෂ්ක කියන ගායකයා සැඟවිලා ද කියලත් හිතෙනවා?

ඔව්. මෙතෙක් කල් මගේ රංගන කටයුතු නිසා ගායකයාට තැනක් දෙන්න බැරි වුණා. ඒ නිසා ඉදිරි කාලය මං සම්පූර්ණයෙන්ම සංගීතය වෙනුවෙන්ම වැය කරනවා. මට හිතෙනවා දැන් කාලය හරි ආයෙත් මියුසික් පැත්තට යොමු වෙන්න. මං මියුසික් ඇරුණම අනෙක් ඔක්කොම කළා. ඉදිරි කාලය පූර්ණ කාලීනව සංගීත කටයුතුවලට යොමුවේවි. රංගනය පැත්තෙන් ගත්තොත් මම සිනමාවේ දකින්න ලැබුණොත් ඇරෙන්න පුංචි තිරයේ දකින්න ලැබෙන එකක් නැහැ.

ඔබ මේ වෙද්දි ගීත කීයක් විතර නිර්මාණය කරල තියෙනවද?

මේ වෙද්දි මගේම කියලා ගීත තිහක් විතර නිකුත් කරල තියෙනවා. ඊට අමතරව තවත් ගීත 15ක් විතර එළියට නොදාපු ඒවත් තියෙනවා. ඒවත් එළියට දාලම වැඩේ පටන් ගන්නවා. මම සුභාවිත ගීතයත් එක්ක බැඳුණු කෙනෙක් නිසා ලංකාවේ දැන් පවතින ට්‍රෙන්ඩින් සෙටින් එකත් එක්ක යන එක ටිකක් අභියෝගාත්මක කාරණාවක් වෙනවා. ඒ හැඩතලත් එක්ක මගේ ශෛලිය හරියන්නේ නෑ. එතැනදි මාධ්‍ය ආයතන එක්ක එක් වෙලා ජනතාව අතරට ගෙනයෑමේදී ලොකු අභියෝගයක් තියෙනවා. ඒක මට ඉස්සර ඉඳන්ම තිබුණු ගැටලුවක්. එහෙමයි කියල මං අතාරින්නෙත් නෑ. මගේ ශෛලියටම යන තවත් පිරිසක් ඉන්නවා. ඔවුන් එක්ක එක් වෙලා මොකක් හරි යහපත් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා.

වැඩිපුරම විදෙස් සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ලබන ගායන ශිල්පියා රවීන් කණිෂ්ක කියල කිව්වොත්?

ඔව්. මමත් හිතන්නේ ජ්‍යෙෂ්ඨ ගායකයන් හැරුණු කොට වැඩිපුරම ආරාධනා ලැබෙන ගායකයා මම වෙන්න ඇති. මේ වෙද්දි රටවල් 27කට විතර ගිහින් තියෙනවා. ඒ රටවලටත් එක වතාවකට වැඩි වාර ගණනක් ගිහිල්ලත් තියෙනවා. ඔස්ට්‍රේලියාවට විතරක් මං 25 වතාවක් ගිහින් තියෙනවා. මම ජනප්‍රිය වුණේ ප්‍රේක්ෂකයන් හඳුනගත්තේ රංගන ශිල්පියෙක් විදිහට වුණත් මේ හැමදේම මගේ ළඟට එන්න ගත්තේ සංගීතය නිසා. ඒ දෙකෙන්ම මට වුණේ හොඳක්.

පවුලේ තොරතුරු ටිකකුත් කියමු?

මට ඉන්නේ අම්මායි, තාත්තායි, නංගීයි, මල්ලියි. එයාලත් එක්ක සතුටින් ගත කරන්න ආසාවෙන් ඉන්නවා. ඒත් මට ලැබෙන කාලයත් එක්ක ඒ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒ හතර දෙනා දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. මේ වැඩත් එක්ක

මම ඉන්නෙ එළියෙමයි. එක්කෝ ලංකාවෙන් පිට. කවුරුහරි ඇහුවොත් එයාලත් කියන්නේ අපිත් එයාව දකින්නේ ටිවී එකෙන් කියලා.

නාමලි ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division