Home » ගුරු විභාගය සමත් උපාධිධාරින්ට පත්වීම් දෙන්නේ කවදාද?

ගුරු විභාගය සමත් උපාධිධාරින්ට පත්වීම් දෙන්නේ කවදාද?

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

දකුණු පළාත් ගුරු පත්වීම් ලබා දීමේදී සිදු වූ අක්‍රමිකතා හා අකටයුතුකම් හේතුවෙන් දැනට ගුරු විභාගය හා ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුවත් ගුරු පත්වීම් අහිමිව අසාධාරණයට පත්ව සිටින උපාධිධාරීන් පිරිසක් සිටී.

ගිය වසරේ පැවැත්වුණු ගුරු විභාගය සඳහා මේ වසරේ මැයි මස සිට සුළු වශයෙන් විටින් විට පත්වීම් ලබා දීම සිදු වූයේ පාසල් සංවර්ධන නිලධාරින් විසින් ගුරු විභාගය සමත් පිරිසට ගුරු පත්වීම් ලබා දීමට එරෙහිව නඩුවක් ගොනු කර තිබීම හා මැතිවරණ සමය හේතුවෙනි. මෙම සිදුවීම් හේතුවෙන් අපගේ වටිනා කාලයෙන් විශාල ප්‍රමාණයක් වැය වී ගැසට් පත්‍රය කල් ඉකුත්වන කාලයටද කෙමෙන් කෙමෙන් ළංව ඇත.

දකුණු පළාත තුළ පැවැත්වුණු ගුරු විභාගයෙන් හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් පසුව මෙම ගුරුවරුන් බඳවා ගැනීම සිදු වූයේ දකුණු පළාතට පමණක් ආවේණික වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රමයටය. එහෙයින් ඉහළ ලකුණු ලබා ගත්තත්, තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුරප්පාඩු නොමැති නම් ඒ කිසිදු අයෙකුට පත්වීම් හිමි වූයේ නැත. නමුත් අවම ලකුණු ප්‍රමාණය වන 90 ලබා ගත් පිරිසටත් තමාට හිමි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුරප්පාඩු තිබුණේ නම් පත්වීම් ලැබුණි. මෙය දකුණු පළාත තුළ ගුරු පත්වීම් ලබා දීමේදී සිදු වූ විශාල අසාධාරණයක් නිසා ඉතිරි උපාධිධාරින් හට ගුරු පත්වීමක් ලබා ගැනීමට නොහැකි විය.

එමෙන්ම පසුගිය ආණ්ඩු සමයේදී ගුරු පත්වීම් ලබා දෙන විට හිතවත් අයට ප්‍රමුඛත්වය දීම තුළින් ද අනෙක් ගුරු විභාගය සමත් උපාධිධාරීන් ද අසාධාරණයට ලක්විය.

තවද, දකුණු පළාත් ගුරු විභාගයට අදාළ ගැසට් පත්‍රයේ පහතින් දක්වා ඇති දුර්වලතා තිබීම ද මෙම අසාධාරණයට ප්‍රධානතම හේතුවක් විය.

මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එක් එක් විෂයන්ට තිබූ පුරප්පාඩු ප්‍රමාණය සඳහන් නොකිරීම, ලිඛිත විභාගය සමත් අය අතුරින් දකුණු පළාත තුළ පවතින එක් එක් විෂයට අදාළ පුරප්පාඩු ප්‍රමාණය මෙන් තුන් ගුණයක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් ව ඇති නමුත් විභාගය සමත් සියලු දෙනා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම.

ඉහත කරුණු සම්බන්ධව මෙම වසරේ මැයි මස සිට මේ වන තෙක්ම අප විසින් වගකිවයුතු සියලු අංශ දැනුම්වත් කළත් කිසිදු සාධාරණයක් ඉටු වූයේ නැත.

එමෙන්ම දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමා සහ සහකාර අධ්‍යාපන ලේකම්තුමිය විසින් පවසන පරිදි දකුණු පළාත තුළ ගුරු පුරප්පාඩු නොමැති නම් ජනාධිපතිතුමන් විසින් ඉදිරියේදී ලබා දීමට නියමිත ගුරු පුරප්පාඩු සඳහා දකුණු පළාත අයත් වන්නේ නැතිද?

ඉහත සඳහන් කළ අක්‍රමිකතා හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයවන අප හට සාධාරණයක් ඉටු කරන්නේ කවදාද?

දකුණු පළාත් ගුරු විභාගය සමත් පත්වීම් නොලද උපාධිධාරී සංගමය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division