Home » උතුම් ගණ දෙවිඳුගේ පිහිට ලැබෙන බලගතු පූජාව පවත්වන්නේ මෙහෙමයි

උතුම් ගණ දෙවිඳුගේ පිහිට ලැබෙන බලගතු පූජාව පවත්වන්නේ මෙහෙමයි

by Mahesh Lakehouse
November 30, 2024 12:32 am 0 comment

ජ්‍යෙතිෂ යනු මායාකාරි බලයක් ඇති ඉන්ද්‍රජාලයක් නොව තමා මෙලොවට ජනිත වන ඒ අසිරිමත් මොහොතේ ග්‍රහ ලොවේ නව ග්‍රහයන් කේන්ද්‍රයේ පිහිටි ආකාරය නිවැරැදිව බලා කියන උතුම් ශාස්ත්‍රයකි.

දක්ෂ ජ්‍යෙතිෂවේදියා ඕනෑම ජන්මියකුගේ කේන්ද්‍රය අනුව කර්මානුරූපව ජීවිත කතාවම එළි දක්වන්නේ ඉතාම සාර්ථකවය. කර්මය අනුව අපේ ජීවිත කාලයේ සමහර අවස්ථාවල දුක, කඳුළ, උරුම වේ. නමුත් ජීවිතේ පින්, පව් වෙනස් කළ හැක්කේද විශාල ලෙස පින් දහම්හි යෙදීමෙන් පමණි.

ඕනෑම දරුවෙකු කීකරු කර යහපත් මාර්ගයට ගත හැකි සුවිශේෂිම වන්දනාවක් අද ඔබ වෙත ඉදිරිපත් කරමි. ජීවිතයම දිනන්නට මේ සුවිශේෂී වත්පිළිවෙත් ඔබට උපකාර වනු නොඅනුමානය.

තිස්තුස් කෝටියක් දෙවි දේවතාවුන් අතර වඩාත්ම නුවණැති, බුද්ධිමත් දෙවියන් ලෙස සඳහන් වන්නේ උතුම් ගණ දෙවිඳුය. ඔබගේ ඕනෑම දුකක් හෝ කරදරයකදී ප්‍රබල හාස්කම් සහිතව උන්වහන්සේ ඔබට පිහිට වේ.

ඔබ කේතු මහ දශාවක් අන්තර් දශාවක් ගෙවනවා විය හැකිය. ඒ දශාවේදී ගණ දෙවිඳු වන්දනාව ඒ සියලු අපල දුරු කර ඔබ ඉහළටම ඔසවා තබන්නේ ඉතා විෂ්මයජනක ලෙසය.

උතුම් ගණ දෙවිඳුගේ මව පාර්වතී (කාලි) මෑණියන්ය. පියා ශිව දෙවිඳුය. එලෙසම උතුම් කතරගම දෙවිඳුගේ සහෝදරයාය. ගණ දෙවිඳු දිනපතා නිවැරැදිව වන්දනා මාන කරන අයට කාලි මෑණියන්ගේ, ශිව දෙවියන් සහ කතරගම දෙවියන්ගේ පිහිට නිතැතින්ම හිමිවේ.

ගණ දේව ආශිර්වාදයෙන් දරුවන්ට සේම සියලු දෙනාටම උන්වහන්සේගේ උතුම් පිහිට ලැබීම නම් සත්‍යයකි.

•ගණ දෙවියන් වෙනුවෙන් පවත්වන මේ පූජාව වැදගත් වන්නේ.

• සියලුම විභාගවලට පෙනී සිටින දරුවන්ට, වැඩිහිටි අයට.

• රැකියාවේ උසස් වීම්, දියුණුව අපේක්ෂිත අයට.

• විශේෂයෙන් ණය බරින් නිදහස් වීමට.

• ජීවිතයේ බලවත් අපල උවදුරුවලට මුහුණ දී සිටින අයට.

• ඉතිරි කිරීම්, ගේ දොර, යාන වාහන ඇතිව සැප සම්පත් බලාපොරොත්තුවන අයටයි.

කෝවිල්වල ගණ දෙවිඳු දෙපස සිටිනුයේ කලාවට අධිපති සරස්වතී දෙවඟනත් ධනයට, සෞභාග්‍යට අධිපති ලක්ෂ්මි දෙවඟනත්ය.

උදේ සවස ඉතා භක්තියෙන් ගණ දෙවිඳු පුදන අයට උතුම් සරස්වතී දෙවඟනගේත් ලක්ෂ්මි දෙවඟනගේත් බලගතුම පිහිට ලැබෙනු ඇත.

•පූජාවට අවශ්‍ය දේ

• තමන් කැමති ගණ දේව පිළිමයක්

• ‘ලඩ්ඩු’ 7ක් සහ තවත් කැවිලි වර්ග 06ක්

• පලතුරු වර්ග 7ක්, රතු සපත්තු මල් 07ක්

• ඉතාම සුවඳැති හඳුන්කූරු සහ සුවඳ ධූප

• පිච්ච මල් මාලයක් සහ සින්දූර් කුඩු ටිකක්

• පිරිසිදු පොල්තෙල්, ගිතෙල්, අබතෙල් මිශ්‍ර පහනක්

• පැන් බඳුනක්

පුර පස බදාදා දිනෙක ගණ දෙවිඳු නිවසට වඩම්මා පූජාව පටන් ගැනීම තුළින් ප්‍රබල හාස්කම් ලැබේ. පූජාව තැබීමට ප්‍රථම නිවසේ මකුළු දැල් කඩා, වත්ත පිටිය නිවෙස පිරිසිදු කර දෙහි සහ කහ දියරින් සෝදා ගන්න. නිවෙසේ අස්සක් මුල්ලක් නෑර කට්ට කුමංජල් සහිත සුවඳ දුම් අල්ලන්න.

හැකි නම් ජ්‍යෙතිෂවේදියා ලවා බලගතු නැකතකින් නිවසේ ඇතුළු වන ද්වාරයට එක එල්ලේ පෙනෙන සේ ඉණට තෙක් උස් ආසනයක දෙවිඳු තැන්පත් කරන්න. තෙල් වර්ග තුන මිශ්‍රිත පහන ගණ දෙවියන්ට කැප කර ඉතා භක්තියෙන් එය දල්වන්න. සුවඳ දුම් අල්ලා හඳුන්කූරු පත්තු කරන්න. මල් මාලය පලඳවමින් එක එල්ලේ දෙවිඳු දෙස බලමින්

“ඕම් ශ්‍රීම් හ්රීම් ක්ලීම් ග්ලෝම්…
ගම් ගණපතයේ වර වරද…
සර්වජන මේ වසමානයේ ස්වාහ! ”

යන ශ්ලෝකය තෙවරක් කියා භක්තියෙන් ගණ දෙවිඳුට ඉතිරි සියල්ල පූජා කරන්න. මේ දෙවිඳුට ලම්බෝදර, විග්නේෂවර, විශ්ව රාජ යන ප්‍රබල නම්වලින් ආමන්ත්‍රණය කරමින් දකුණු අතේ මැදඟිල්ලෙන් ඉතා භක්තියෙන් සින්දුර් කුඩුවලින් දෙවිඳුට තිලක තබන්න.

එම අතින්ම පවුලේ සැමගේද තිලක තබන්න. භාරවීමට අවශ්‍ය අය රතු රෙදි කැබැල්ලක දෙහි සහ කහවලින් සේදු පඬුරක් ගැට ගසා, කාරණය සිතා සත්‍ය ක්‍රියා කර මුරුතැන් පූජාවකට භාර වන්න.

“ඕම් ගනේෂාය රෑ නම්
චිත්ති වරේන්‍යම්
හූම් නමහා පත් නමහා”

7 වරක් ඉතා භක්තියෙන් කියා පින් දෙන්න. ගණ දෙවියන් ඔබට ඉතාම ඉක්මනින් පිහිට වනු නොඅනුමානයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති 
ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division